ජයග්‍රහණ හඹා යන්නට උපන් හපන් වෘශ්චික ලග්න හිමියෝ

ඔක්තෝබර් 4, 2024

‍ඡ්‍යොතිෂය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. විටෙක එය අනාගතය, වර්තමානය මෙන්ම අතීතයට අදාළ සිදුවීම් හා පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විද්‍යාත්මක කලාවක් වනවා. එහිදී ලග්න පලාපල ගැනත් අප නිරන්තරයෙන්ම කතාබහ කරනවා. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ වෘශ්චික ලග්න හිමි ඔබ ගැනයි.

සාරවත් හිතක් ඇති වෘශ්චික ලග්න හිමියන් ඥානාන්විත මෙන්ම ධෛර්යයවන්ත පුද්ගලයන් වනවා. මේ අය තුළ උසස් ආඩම්බර ගති සුළු වශයෙන් තිබුණත් සෑම දෙයක් දෙසම විමර්ශනාත්මක බැලීමේ හැකියාව පවතිනවා. ආ ගිය තැන කැපී පෙනෙන ස්වාභාවයක් උත්පත්තියෙන්ම රැගෙන එන මොවුන් ඕනෑම දෙයක් හොඳීන් අවබෝධ කරගැනීමෙන් පසුව පිළිගන්නවා. මෙවන් ගති ලක්ෂණවලින් හෙබි වෘශ්චික ලග්නයෙන් ද ලොව ප්‍රකට ව්‍යාපාර, කලා, ක්‍රීඩා කේෂ්ත්‍රවල පුද්ගලයන් ජන්මය ලබා තිබෙනවා.

මිනිසුන් ධනවත් වීමට සිහින දකිනවා. එය සිහිනයක්ම නොවී යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැක්කේ කිහිප දෙනෙකුටයි. ඒ අතර අමෙරිකාවේදී 1955 ඔක්තෝබර් මස 28 වැනිදා වෘශ්චික ලග්නයෙන් ජන්මය ලැබූ බිල් ගේට්ස් ද වනවා. ලොව සාර්ථකම ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ට ද තම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට වෘශ්චික ලග්නයේ ආලෝකය ලැබූ බව නිසැකයි.

ඉන්දියානු සිනමාවේ කිංග් ඛාන් ලෙසින් හඳුන්වන ෂාරුක් කාන් ද 1965 නොවැම්බර් මස 2 වැනි දින වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලබා තිබූ බව ඔබ දැනගන්න කැමති ඇති. ලොව සිනමා රසික රසිකාවන්ගේ හදවත් දිනාගත් ෂාරුක් ඛාන්ට රංගන ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතේ බොහෝ කඩයිම් සාර්ථකව කර ගන්න්ට වාසනාව හිමිවුණා. තමන්ගේ ලග්නය එයට බලපෑ බව ඔහුගේ විශ්වාසයයි. ඔහුගේ ප්‍රබල රංගනයන් නිසාම ඔහු ප්‍රසිද්ධයට පත් චරිතයක් ද වනවා. එයින් වෘශ්චික ලග්න හිමියෙකු සතු උද්යෝගිමත් බව සහ දැඩි බව ඔහු තුළින් ප්‍රකට වන බවටයි ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ. ශාරුන් ඛාන් රඟ පෑ චිත්‍රපට ගැන අප ඔබට කිව යුතු නැතැයි සිතනවා.

දකුණු ඉන්දියානු ජාතික නළුවෙකු වූ කමල් හසන්ද 1954 නොවැම්බර් මස 07 වැනිදා වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලබනවා. මොහු චිත්‍රපට නිෂ්පාදකයකු, තිර රචකයකු ලෙසත් ප්‍රකටයි. කමල් හසන් ඉන්දීය චිත්‍රපට සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන රාශියක්ම දිනාගත් අයකු වනවා. ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ ඔහුගේ ජන්ම පත්‍රය ඉතාම බලවත් එකක් බවයි. කමල් හසන්ගේ ජන්ම පත්‍රයේ ඔහුගේ ළමා කාලයේ මෙන්ම වැඩිහිටි වියේත් අන් අය අතර කැපී පෙනෙන ග්‍රහ සංයෝග තිබෙන බවටයි සඳහන් වෙන්නේ. ඔහුගේ අතිශයින් සාර්ථක වූ චිත්‍රපට රැසක් ඔබ නරඹා තිබෙනවාට සැක නැහැ.

80 දශකයේ සිනමාවට පිවිස මහත් ජනප්‍රියත්වයට පත් වූ බොලිවුඩ් නිළියක වන ජූහි චවුලා 1967 නොවැම්බර් මස 13 වැනිදා වෘශ්චික ලග්නයෙන් ජන්මය ලබනවා. ඇය හින්දි, පන්ජාබ්, දෙමළ, කන්නඩ චිත්‍රපටවල රංගනයෙන් වගේම ගායනයෙන්ද සිනමාවට සම්බන්ධ වෙනවා. 1995 කර්මාන්ත හිමිකරුවකු වූ ජේ මෙහතා සමඟින් විවාහ වූ ජූහි චවුලාගේ ජීවිතය සාර්ථක කර ගන්නට වෘශ්චික ලග්නයේ වාසනාව ලැබී ඇති බවටයි ඇගේ විශ්වාසය. ජූහි චවුලාගේ සාර්ථක චිත්‍රපට ගැනත් ඔබට හොඳ අවබෝධයක් ඇති.

බොලිවුඩ් සිනමාවේ සුන්දරම තාරකාවක වූ ඓශ්වර්යා රායි 1973 නොවැම්බර් මස 01 වැනිදා උත්පත්තිය ලබන්නේ වෘශ්චික ලග්නයෙන්. 1994 වසරේ ලෝක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ ඇය ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය කාන්තාවක් බවට පත්වුණා. අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය ඉන්දීය සිනමාවේ දශක ගණනාවක සුපිරි නළු නිළි යුවළක් වූ අමිතාබ් බච්චන් හා ජයා භහදුරීගේ පුත්‍රයා වූ අභිෂෙක් බච්චන්ගේ ආදරණීය බිරිය වීමේ වාසනාව ලැබුවා. ඇගේ පෞද්ගලික ජීවිතේ මෙන්ම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය හඹා යාමට වෘශ්චික ලග්නයේ ආලෝකය ලැබී තිබෙන බව ඡ්‍යොතිෂ්‍යවේදීන් පවසනවා.

ලාංකීය ගුවන්විදුලි කේෂ්ත්‍රයට අමරණීය නමක් දායාද කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන් ද වෘශ්චික ලග්නයෙන් උපත ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ළමා ශිල්පියෙකු ලෙස තම මාධ්‍ය ගමන අරඹන එතුමා විවිධ පොත පත රචනා කරමින් සාහිත්‍යධරයෙකු ලෙස කටයුතු කරනවා. දක්ෂ හඬ කැවීම් ශිල්පියෙකු වන කරුණාරත්න මහතා වර්තමාන රූපවාහිනී මාධ්‍යජාලවල ද හඬ කැවීම් ශිල්පියකු ලෙස සේවය කරනවා. 70 දශකයේ සිට එන මුවන් පැලැස්ස නම් ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යයේ හඬනළු ශිල්පියකු ලෙස කටයුතු කළ ඔහු පසුව බොහෝ චරිතයවලට හඬ දුන්නා. කුඩා කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල ඡ්‍යොතිෂයේ ආලෝකය ලැබෙන්න ඇතැයි ඔහු සිතනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට අප කවුරුත් කැමතියි. කුඩා අවධියේ සිටම ක්‍රිකට් පිත්තට පෙම් බැඳී ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි 1988 නොවැම්බර් මස 5වැනිදා ජන්මය ලබන්නේ වෘශ්චික ලග්නයෙන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ආදර්ශමත්, අභිලාෂකාමී පිතිකරුවෙකු ලෙසටයි මොහු නම් දරන්නේ. විරාත් කෝලිගේ ජන්ම පත්‍ර පරීක්ෂා කළ ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ ඔහු තෝරා ගන්නා කේෂ්ත්‍රෙය් ඉහළටම යන බවයි. කුඩා කල සිටම සෑම දෙයක් දෙසම විමර්ශනාත්මකව බලන්නට විරාත් කෝලිට වෘශ්චික ලග්නයේ විමසුම් ඇසේ බලපෑම තිබූ බව ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

ඉතින් ඔබත් වෘශ්චික ලග්න හිමියෙකු නම් තමන් යා යුතු මාර්ගය හඳුනා ගැනීමට කිසිවිට පසුබට නොවන්න.

ඇසුරු කරන සමාජයේ මෙන්ම රටේත් ලෝකයේත් බලවත් වියතෙක්, ධනවතෙක්, කලාකරුවෙක් වීමට ඔබත් ප්‍රිය කරන්නේ නම් ඔබත් ඔබේ ලග්නයට හිමි විශේෂ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කර, තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම මඟින් ඒ ගමන ළඟා කරගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්න. එවිට ඔබ ගැනත් යම් දවසක පුවත්පත් පිටුවල සටහන් පළ වෙනු ඇති.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.