විශ්ව ශක්තියෙන් දේශපාලන ජය ලැබීම

ඔක්තෝබර් 4, 2024

නිවැරැදි ක්‍රමවේදය අනුගමන කළහොත් විශ්ව ශක්තියේ වැඩිම උපකාරය ලබා ගත හැක්කේ කෙනෙකුගේ දේශපාලන ගමන් මග උදෙසාය. මක් නිසා ද යත්, පුද්ගල කේන්ද්‍රීය හේතු මත වර්තමානයේ පොදුවේ අප්‍රසාදයට පත්ව තිබුණද, දේශපාලනය යනු කිසිසේත්ම ජනතාවට අහිතකර අසත් ධර්මයක් නොවන බැවිනි. දේශපාලනය යනු සමස්ත ජනතාවගේ භෞතික, ආධ්‍යාත්මික දිවි පෙවෙත වඩාත් උසස් තත්ත්වයට ගෙන එමින් මානව ශිෂ්ටාචාරය උදෙසා උදාර සංස්කෘතියක් ගොඩ නැඟීමට උපකාරී වන්නකි.

සමස්ත විශ්වයම අතැඹුලක් සේ වටහාගත් ශ්‍රේෂ්ඨ උතුමකු වූ ගෞතම බුදු රජාණන්වහන්සේ පවා උත්පත්තිය ලද්දේ දේශපාලනය තම රාජ කාර්යය බවට පත් රජ පවුලක කුමරකු ලෙසය. බෝ සතානන්වහන්සේ රාජ්‍යයකින් ඉටුකළ හැකි භෞතික දියුණුවට වඩා සිය දහස් වරක් උත්තරීතර ආධ්‍යාත්මික දියුණුවක් සොයා, මනුෂ්‍ය ආධ්‍යාත්මය පෝෂණය කරගත් දහමක් සොයා ගමන් ගත් බව ඇත්තය. එහෙත් භෞතික දියුණුව ඇසුරින් ජීවිතය පරිභෝජනය කරන්නන්ටද සියදිවි ගමන යහපත් කරගනු පිණිස මඟක් අවශ්‍යය. එමෙන්ම අපි මේ ලිපියෙන් කතා කරන ජීවිතයේ භෞතික දියුණුව උදෙසා විශ්ව ශක්තිය අවශෝෂණය කර ගැනීම පිළිබඳ වූ විෂයය පථය සඳහා ද මූලික පදනම සකසාගත යුතුව ඇත්තේ ද බුදු දහමේ, හින්දු ආගමෙහි මෙන් ම කිතු දහමේද ඇති අහිංසාවාදී මෛත්‍රී සහගත හැඟීම් මුල් කර ගනිමිනි. විශ්ව ශක්තියේ බල මහිමයෙන් ඔබ ජයග්‍රහණය සඳහා යන දේශපාලන ගමන ඇරඹිය යුත්තේ නිශ්චිත පියවර කීපයක් අනුගමනය කරමිනි.

ඉන් පළමුවැන්න නම් අපට කිසිදා හදාරා නිමකළ නොහැකි තරම් සියුම් රටාවකින් නිර්මිත විශ්වයේ මහා ශක්තිය කෙතෙක් ප්‍රබල ද යන්න පිළිබඳව සත්‍ය ලෙස අවබෝධ කර ගැනීමය. මේ ශක්තිය එක් පැත්තකින් භෞතිකව අපගේ පෘථිවියට හා සිරුරට දැනෙන ලෙසද, අනෙක් පසින් අපගේ ආධ්‍යාත්මයට දැනෙන ලෙසද පවතින බව මොහොතක් ඒ දෙසට සිත් යොමුකළ විට ඔබට පෙනී යනු ඇත. එය දිගු කතාවකි. විශ්ව ශක්තිය සර්වබලධාරී වුවද, එය සෑදී පැහැදී සිටින්නේ අප විනාශ කිරීම සඳහා නොවේ. නිසි අයුරින් විශ්වයත් සමඟ ගනුදෙනු කරන්නාට විශ්වය විසින් ආශීර්වාද කරනු ලබයි. එහෙත් ඒ ගනුදෙනුව කළ යුත්තේ දෙවියන් රවටා බාර හාර ඔප්පු කිරීමට පරණ පළතුරු පූජා කරන්නා සේ ව්‍යාජ ආකාරයට නොවේ. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හෘද සාක්ෂියේ පාරිශූද්ධතාවය මත ගොඩ නැඟුණු ගනුදෙනුවක් විය යුත්තේය. විශ්ව ශක්තිය පදනම් කරගනිමින් ධනාත්මක චින්තනය ගැන වටිනා ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ආචාර්ය නෝර්මන් වින්සන්ට් පීල් The Power of positive thinking  නැමැති කෘතියේ, තමාට මහ මඟ අයිනේ දක්නට ලැබුණු වෙළෙඳ දැන්වීමක් ගැන අවධාරණය කරයි. වාහනවලට යොදන ලිහිසි තෙල් වර්ගයක් පිළිබඳව වූ එම දැන්වීම මෙසේ ය. “පිරිසුදු එන්ජිමකින් නිරන්තරයෙන් බලය උපදී” ඒ අනුව දේශපාලනය හෝ වේවා වෙන යම් කරුණක් ඔස්සේ හෝ වේවා ඉදිරියට පිය නැඟීමට සූදානම් වන ඔබ පළමුවෙන්ම කළ යුතු කාරණය වන්නේ ඔබගේ මනස තුළ ඇති කුණු රොඩු ඉතා හොඳීන් පිසදා එය පවිත්‍රකර ගැනීම ය.

දවසේ වැඩ පටන් ගැනීමට පෙර, ඔබගේ මේසය හා කාමරය පිසදා පිරිසුදු කරන්නාක් මෙන් මේ කාරණයද ඔබ නොවරදීම අනුගමනය කළ යුත්තකි. ඉන් අනතුරුව ඔබ විසින් මෙසේ පස් වතාවක් ඔබටම පවසා ගත යුතුය. “අසමාන විශ්ව ශක්තියේ බල පරාක්‍රමයෙන් මම ජීවිතය අරභයා වූ සියලු සැක සංකා සහ බිය ආදී කරුණු මනසින් පළවා හරිමි, මගේ අනාරක්ෂිතභාවය එයින් තුරන් වනු ඇත.” ඉතා සන්සුන්ව හිතට එකඟව මේ ප්‍රකාශය තමාටම කියා ගැනීමෙන් අනතුරුව, එය මැනවින් සිතට ධාරණය වූවාට පසු නැවත පස් වතාවක් මෙසේ තමාට ම කියා ගන්න. “දැන් මාගේ සිතින් බිය, සැක, සංකා, සහ ජීවිතය පිළිබඳ අනාරක්ෂිත ස්වාභාවය පලා ගොසිනි. මගේ මනස නිදහස්ය, ශක්තිමත්ය” මේ ප්‍රබල ස්වයං යෝජනාව උදෑසන වැඩ ඇරඹීමට පෙරද, සවස විවේකය ලබා ගැනීමේදී ද රාත්‍රි නින්දට පෙර ද සිදු කරන්න. ලොව පුරා මනෝ විද්‍යා විශේෂඥයන් විසින් පවසනු ලබන්නේ රාත්‍රී නින්දට පෙර කරනු ලබන ස්වයං යෝජනා වඩාත් ප්‍රතිපලදායක බව ය. දේශපාලනයේ යෙදෙන පුද්ගලයා විසින් කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ හැකිතාක් මිනිසුන් දිනා ගැනීමය. මේ කාරණය මුදල් හෝ බලය තිබූ පමණින් කළ හැක්කක් නොවේ. මානව වර්ගයා කෙරෙහි උපන් අවංක ගෞරවයකින් තොරව ඔබ කොතෙක් මුදල් වියදම් කරනු ලැබුවද, කොතෙක් බලය ප්‍රකාශ කරනු ලැබුවද ඔබට මුණ ගැසෙන්නේ මූණිච්ඡාවට හිස නමන ජන සමූහයක් පමණි. කළ යුතුව ඇත්තේ ඔබගේ හදවත තුළ යහපත් සිතුවිලි ඇති කරන මෙන් මහා විශ්ව බලවේගයක් ඉල්ලා සිටීමය.

ඔබ ඒ සඳහා මේ අයුරින් සෑම උදැසනකම භාවනාවක යෙදෙන්න. “ගෞරවණීය විශ්ව ශක්තිය, මෛත්‍රියෙන්, සාමයෙන් හා ධෛර්යයෙන් මා මනස පුරවනු මැනවි. නිවැරැදි තීරණ ගැනීමටද මිනිසුන්ට මාගේ හදවතෙහි ශක්තිය දැනෙන ආකාරයට කටයුතු කිරීමටද, ඔවුන්ට ගෞරව කිරීමටද මා පොළඹවනු මැනවි” මෙය නිශ්චිත කාලයකට සීමා නොකර නිරන්තර ඔබ සමඟ පවතින සිතිවිල්ලක් බවට පත්කර ගන්න. ඊළඟට ඔබ කළ යුත්තේ අනන්‍යයන් ඇසුරු කිරීමේ දී සුහද ඇසුරක් සඳහා බාධා ගෙන දෙන ඔබ සතු දුබලතා හඳුනා ගැනීම ය. උදාහරණයක් වශයෙන් අන්‍යයන්ට නිසි පරිදි ගරු නොකිරීම ඇහුම්කම් දීමට ඇති අකැමැත්ත, වේලාවට වැඩ නොකිරීම, අනෙකාගේ මතයට හිස නොනමා කෙසේ හෝ තම මතය ජය ගැනීමට උත්සාහ කිරීම, සුළු දෙයකින් කෝපයට පත්වීම, ආදී කාරණා පෙන්වා දිය හැකිය.

ඉන්පසු ඔබේ හිතට අවංකව මේ සියලු කාරණාවලින් මිදීමට ආධාර කරන මෙන් විශ්ව ශක්තියෙන් ඉල්ලා සිටින්න. අප ඒ ගැන අවධාරණයකින් යුතුව කියා සිටින්නේ ඔබ කෙතරම් ගුණ යහපත් පුද්ගලයකු වුවද, මේ සමහර දුබලතා සංසාර පුරුදු ලෙස ඔබ තුළ මතු වී ඒම පාලනය කර ගැනීම ලෙහෙසි පහසු නොවන බැවිනි.

ඒ නිසා ඔබ විශ්ව ශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි ආධාර ලබාගත යුතුව ඇත්තේ ස්ථාවර සන්සුන් මනසක් ඇතිකර ගැනීම පිණිසය. එහෙත් ඔබ මේ සඳහා විශ්ව ශක්තියේ බලය ඉල්ලා සිටි පමණින් හෝ ඒ පිළිබඳව භක්තියෙන් සිටි පමණින් සියල්ල සිදු නොවනු ඇත. ඒ සඳහා සිදුකළ යුතු අභ්‍යාස ඔබ විසින් පුරුදු පුහුණු කළ යුතුය. පොත පත කියවිය යුතුය. ලෝක ප්‍රසිද්ධ දේශපාලනඥයන්, අලෙවි නිලධාරීන්, පරිපාලන නිලධාරීන් තමා වෙත සෙසු ජනයා ආකර්ෂණය කර ගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියා මාර්ග අධ්‍යයනය කළ යුතුය.

මේ අවස්ථාවේදී ඔබ මතක තබාගත යුතු වැදගත්ම කාරණය වන්නේ ලෝක ප්‍රකට මනෝ විද්‍යාඥයෙකු වූ විලියම් ජේම්ස් මහතා විසින් කරන ලද මේ ප්‍රකාශයයි. “මිනිසා තුළ ඇති ගැඹුරුම ආශාව වන්නේ තමා අගය කරනු දැකීමට ඇති කැමැත්තය.”

ප්‍රබන්ධ නොවූ කෘතින් අතර ප්‍රධාන තැනක් අත් කර ගන්නා අඩ සියවසක් පමණ වූ කාලයක් තුළ ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වූ කෘතියක් තිබේ. එහි නම 1936 How to Win Friends And Influence People  ය. මිනිසුන් සහ මිතුරන් දිනාගැනීම පිළිබඳව මේ පොත ලියා ඇත්තේ ලොව පුරා ප්‍රසිද්ධ ලේඛකයෙකු වූ ඩේල් කානගීය. 1888 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ ඩේල් කානගී 1955 නොවැම්බර් 01 දා මිය යන මොහොත වන විට ඔහුගේ මේ කෘතිය ලොව පුරා භාෂා 31 කට පරිවර්තනය වී තිබූ අතර, එහි පිටපත් මිලියන පහකට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබිණි. එය මහා විශ්වීය බලවේගය ඔස්සේ ඔහු ලබා ගත් දෙයකි.

මෙරිසන් අතුකෝරාළ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.