ඉදිරි සිවු මස පුරා අසිරිමත් ප්‍රතිපල දෙන චන්ද්‍රග්‍රහණය

සැප්තැම්බර් 20, 2024

මේෂ, වෘෂභ, කුම්භ, වෘශ්චික යන ලග්නවලට ඉතා සුබවාදී ප්‍රතිපල ද මීන, කන්‍යා ලග්නවලට මිශ්‍ර පල සහ සෙසු ලග්නවලට මධ්‍යස්ථ පල ගෙනෙමින් ද ඉදිරි සිවු මස පුරා චන්ද්‍රග්‍රහණයේ බලපෑමෙන් අසිරිමත් සිදුවීම් ලොව පුරා සිදුවනු ඇත.

සැප්තැම්බර් මස 18 වැනිදා උදෑසන 8.15ට මීන ලග්නයේ පුවපුටුප නැකැතේ සිව්වැනි පාදයේ සිදු වූ මේ චන්ද්‍රග්‍රහණයේ බලපෑම එළැඹෙන දෙසැම්බර් මස 06 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර සැප්තැම්බර් මස 24 වැනිදා සිට ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මුල් සතිය දක්වා මෙහි බලපෑම දැඩිව බලපවත්වනු ඇත.

මෙය ලොව වෙසෙන සියලුම ජීවීන් හා පරිසරය තුළ අලුත් සිදුවීම් රැසක් ඇති කරන විපරීත කාලයකි.

චන්ද්‍රග්‍රහණයෙන් මිශ්‍රපල සහ මධ්‍යස්ථ පල ලැබෙන ලග්න මෙන්ම විශේෂයෙන් අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරන කටක ලග්න හිමියන් දිනපතා ආගමික කටයුතුවල නිරත වීම වස්සාන පින්කම්වලට සම්බන්ධ වීම, නිරාගමික අයෙකු නම් යෝග භාවනාවල යෙදීම, අධ්‍යාත්මික ගුණවගාව වඩවන ධනාත්මක පොතපත පරිශීලනය, බාහිර අනතුරු අවම කර ගැනීමට අභය දානමය පින්කම්වලට සම්බන්ධ වීම ආදියට යොමුවීම මඟින් බාධා මගහරවා ගත හැකිය. මිනිස් බුද්ධිය, ප්‍රඥාව ඉහළ යන සියලු සත්ත්වයන් තුළ අපූර්ව වෙනස් වීම් ඇති කරන කාලයක් වන මෙය අනෙක් පසින් ශරීරයේ හෝමෝන මට්ටම්වලටත් බලපෑම් ඇති කරනු ඇත. මේ චන්ද්‍රග්‍රහණය හේතුවෙන් භෞතික අවකාශයේ තිබෙන පරිසර සාධකවල පවතින පීඩන මට්ටම් ද වෙනස් වේ. එය මිනිසුන්ගේ වම් පස මොළේ ක්‍රියාකාරීත්වයට විශේෂ බලපෑමක් සිදුකරන බව ඡ්‍යොතිෂයේ පවසා ඇත.

සියයට 30-40ක් පමණ වන චන්ද්‍රග්‍රහණයේ අසුබ බලපෑමක් ලෙස ලෝක යුද්ධයක් පවතින රටක විදේශීය ජන නායකයකුට යම් ආකාරයකින් අනතුරක්, විපතක් එල්ල වන බැව් පෙන්නුම් කෙරේ.

චන්ද්‍රග්‍රහණය සිදුවන මොහොතේ විශ්වයේ තත්කාල කේන්දරයේ ලංකාව පිහිටන්නේ තුලා රාශියෙහිය. එදිනට සිකුරු තුලා රාශිගතව බලවත් වීමෙන් පංච මහා පුරුෂ යෝග අතරින් මාලවී යෝගය ලග්න කිහිපයකටම උදාව පවතී. සියයට 60-70ක් පමණ වන සුබදායක කරුණු අතර මේ යෝගයත් සමඟ අනාගතයේ ලංකාව තුළ වඩා යහපත් වටපිටාවක් නිර්මාණය වීමට නියමිතය.පල නොදරන ශාකවල පල දැරීම, දරුපල අහිමි වූවන්ට දරුපල ලැබීම, ශරීරගත හෝමෝන ක්‍රියාවලිය යහපත් මට්ටමක රැඳවීම වැනි හේතු නිසා ප්‍රජාව වර්ධනය වීම, ශාකවල නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම, මිනිසුන් තුළ ආදරය, ළෙන්ගතු බව වර්ධනය වීම සුබදායී ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වූ ලාංකිකයන්ට අලුත් නිෂ්පාදනයන් බිහිකරන්නටත්, පෘථිවි තලයේ තිබෙන වෛරස හා ආසාදන මට්ටම් පාලනය කිරීමටත්, රෝග පීඩා ගැටලු රැසක් අවම කර ගැනීමටත් මේ චන්ද්‍රග්‍රහණයේ බලපෑම යහපත් වේ.

ඡ්‍යොතිෂවේදී

මියුරු සම්පත් ලියනගේ

වැඩි විස්තර සඳහා සුබසෙත යූ ටියුබය වෙත පිවිසෙන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.