සස යෝගය උදාකරන ශනි ග්‍රහයා

සැප්තැම්බර් 13, 2024

ශනි ග්‍රහයා ශනි, සෙනසුරු, රවිපුත්‍ර, ශනිර් යන නම්වලින් හඳුන්වයි. ශනිට අයත් නැකැත් තුනකි. ඒවා වන්නේ පුෂ, අනුර, උත්‍රපුටුප වේ. ශනිට අයත් දිනය සෙනසුරාදාය. දින අධිපති දේවතාවා යම වේ. පුෂ නැකතේ සංස්කෘතික නාමය පුශ්‍යාය. දේවතාවා වන්නේ අංගිරය. අනුර නැකතේ සංස්කෘත නාමය වන්නේ අනුරාධා ය. දේවතාවා වන්නේ මිත්‍රය. උත්‍රපුටුප නැකතේ සංස්කෘත නාමය වන්නේ උත්තර භාද්‍ර සදා ය. අධිපති දේවතාවා වන්නේ අභිර්ද්ධඨය.

 

ශනි මහ දශාවට වසර දහනමයකි. ශනිට මිත්‍ර ග්‍රහයන් වන්නේ බුධ, සිකුරු, රාහු හා කේතු වේ. සතුරු ග්‍රහයන් රවි හා සඳු වේ. සම ග්‍රහයෝ කුජ, ගුරු වේ.

ශනිට ස්වක්ෂේත්‍ර රාශිය වන්නේ මකරය වේ. මුල ත්‍රිකෝණ රාශිය වන්නේ කුම්භය වේ. උච්ච රාශිය තුලාව වේ. නීච රාශිය මේෂය වේ. ශනිට දික්බල ප්‍රදේශය වන්නේ හත්වැන්න වේ. 3,7,10 රාශි ශනිට පෙනේ. ශනි මහ දසාවේදී ශනි පළදෙනු ලබන්නේ අවසානයට වේ. ‘අන්තේ ශනි චන්ද්‍ර පල දෘෂ්ඨි” යනුවෙන් පැවැසේ. ශනි ශරීරයේ වම් ප්‍රදේශයට පල ගෙන දේ. දුකට අධිපති ග්‍රහයා ලෙස ද හඳුන්වන්නේ ශනිය.

 

මේෂ

ශනි, මේෂ රාශියේ දහය සහ එකොළොස් වැන්න අධිපති ග්‍රහයා වේ. මේෂ ලග්නය හිමියන්ට සෙනසුරා විපත්තිදායක කරුණු ගෙන දෙයි. බාධක ග්‍රහයා වන්නේද සෙනසුරුය. මේෂ ලග්න හිමියන්ගේ 11 වැන්නේ අධිපති කුම්භ රාශියේ අධිපති වන බැවින් වැඩිපුර සුබපල ලබා දෙනු ලබයි. මේෂ ලග්න හිමියන්ගේ 7 වැන්නේ ශනි සිටීනම් ශශ රාජයෝගය බලවත්වයි. සෙනසුරු ග්‍රහයා කම්කරු පිරිස නියෝජනය කරයි. 2, 6 වැන්නේ ශනි හිටියොත් දේශපාලන කටයුතුවලට වරම් ලබා දේ.

 

වෘෂභ

වෘෂභ රාශියට 9 සහ 10 අධිපති වන්නේ ශනිය. මෙහිදී වෘෂභ රාශිය අධිපති සිකුරු නිසා 9 සහ 10 වැන්නේ ශනි යෙදී සිටියහොත් ධර්ම කර්මාධිපති රාජයෝගය යෙදේ. ශනි, කුම්භ රාශියේ සිටියහොත්, කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික, රාශිවලින් උපදින අයට ශශ රාජයෝගය උදා වේ. වෘෂභ ලග්න හිමියන්ට මෙමගින් විශිෂ්ට පල දෙනු ලබයි. මකර රාශියේ ශනි සිටියහොත් මකර, මේෂ, තුලා, කටක, ලග්න හතරින් උපදින අයට ශශ රාජ යෝගය උදාවේ. මේ රාජ යෝගය බලසම්පන්න වේ.

මිථුන

8 වැන්න සහ 9 වැන්න අධිපතියා වන්නේ ශනිය. 8 වැන්න මාරක ස්ථානය වුවද කුම්භ රාශිය 9 වැන්න බැවින් ශනි මිථුන ලග්න හිමියන්ට සුබපල ගෙන දේ. ආයුෂ අතින් සෙනසුරු ප්‍රබල වේ. ශනි අට වැන්නේ යෙදීමෙන් දීර්ඝායුෂ ලැබේ. රැකී රක්ෂා කටයුතු ආදායම් මාර්ග දියුණු වේ.

 

කටක

හත සහ 8 අධිපතියා වේ. කටක ලග්න හිමියන්ට සෙනසුරු හත අධිපති බැවින් දිග්බල වේ. එහි සෙනසුරු යෙදුණොත් සුබපල ලබාදේ. කටක අධිපති සඳු සමඟ ශනි සතුරු වේ. එනිසා කටක ලග්න හිමියන් කල්පනාකාරී විය යුතුය. 8 වැන්නේ සෙනසුරු යෙදීමෙන් විපරීත රාජයෝගයක් උදාවේ. ශනි, මේෂ රාශිය දකින නිසා සුබපල ලබා දේ. සෙනසුරුගේ ග්‍රහ ගමන ගුරු දුටුවහොත් මහා ධන යෝගයක් උදාවිය හැකිය. ශ්‍රමණ යෝගයක් ද උදාවිය හැකිය. ධර්මයට ළැදිවේ.

සිංහ

රවි සමඟ සෙනසුරු සතුරු වේ. නෛසර්ගික පාපින් වේ. සිංහ ලග්නයට සෙනසුරුගේ සුබපල අඩුවේ. එහෙත් කුම්භ රාශිය හත්වැන්න වන බැවින් සුබපල ගෙන දීමට ඇති ඉඩකඩ වැඩිය.

කන්‍යා

කන්‍යා රාශියේ 5 සහ 6 අධිපති ශනි වේ. 5 වැන්න පුණ්‍ය භාවයකට ගණන් ගැනෙන නිසා අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතුවලට ශනි සුබපල ගෙන දේ. නිදන් වැඩවලට ද ශනිගෙන් යහපත් ප්‍රතිපල ලබා දේ. කන්‍යාවේ අධිපති බුධ සමඟ ශනි මිත්‍ර බැවින් කන්‍යා ලග්න හිමියන්ට සුබපල ගෙන දෙන්නේ ඔවුන් කරන පින්දහම් මතය.

තුලා

තුලා රාශියට ශනි උච්ච බැවින් සෙනසුරුගේ ග්‍රහ ගමනින් ලග්න 4කට රාජයෝගය උදාවේ. මේෂ මකර, කටක, තුලා, රාශිවලට ශශ රාජයෝගය ගෙන දේ. ඒ අය සමාජයේ ඉදිරියට පැමිණෙයි. දේශපාලනයට යහපත් වේ. කෘෂිකර්මයටද යෝග්‍යය.

 

වෘශ්චික

වෘශ්චික රාශියට තුන්වැන්න සහ 4 වැන්න අධිපති වේ. වෘශ්චික රාශියේ සෙනසුරා සිටීම මඟින් 4 වැන්නට උරුම දේ වෘශ්චික ලග්න හිමියන්ට හිමිවේ. අඟහරුට සම ග්‍රහයෙක් නිසා සුබඵල ගෙන දේ.

ධනු

ධනු රාශියේ දෙවැන්න හා තුන්වැන්න අධිපති වන්නේ සෙනසුරුය. සෙනසුරා දෙවැන්නේ සිටී නම් පාරම්පරික මව්පිය උරුමයෙන් ලැබිය හැකි දායාද ලබා දෙයි. තුන්වැන්න සහෝදර ස්ථානය බැවින් සහෝදරපල අහිමි කිරීමට ඉඩ ඇත. නමුත් සහෝදරියන් පැත්තෙන් බලවත් අය බවට පත්වේ. යුගදිවියට සෙනසුරා, යහපත් නොවේ. ශනි රාහු සමඟ තුන්වැන්නේ යෙදී සිටියහොත් මහ ධනපතියකු බවට පත්වේ.

මකර

මකර රාශිය ශනිගේ ස්වක්ෂේත්‍ර රාශියයි. සාමාන්‍යයෙන් මකර රාශිය වන විට සෙනසුරා 1 සහ 2 අධිපති වේ. එවිට වත්පොහොසත්කමින් යුත් බලවතකු බවට ජන්මියා පත්වේ. පොළොව සම්බන්ධ කටයුතුවලට යහපත් වේ.

කුම්භ

කුම්භ රාශියේ 1, 12 අධිපති වන්නේ ශනිය. මෙතැනදී ප්‍රබල රාජයෝගයක් උදාවේ. එනම් කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ශශ නැමැති රාජයෝගය උදා වේ. පිරිස් පාලනයට යෝග්‍ය වේ.

මීන

මීන රාශියට ශනි 11,12 අධිපතියා වේ. 12 වැන්න කුම්භ රාශිය වේ. 11 වැන්න ආදායම් මාර්ග ලබන අයස්ථානයයි. ආදායම් මාර්ග සරු වේ. මීන ලග්න හිමියන්ට ශනිගෙන් විදෙස් ගමන්වලට බලයක් උදාවේ. ව්‍යාපාර කටයුතුවලට සුබ වේ. ගුරු සමඟ සම නිසා යහපත් ප්‍රතිඵල ලැබේ. ලග්නාධිපති ගුරු සමඟ එකතුවීමෙන් ශ්‍රමණ යෝගයක් උදාවීමට ද ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.