ගනුදෙනුවලට සමත් සා නැකැත් හිමියෝ

ජුනි 21, 2024

 

කොවිදො ධාර්මිකො

ලපාÀථිඞ කෘපණඞ

පි‍්‍රය වල්ලභඞ

සුඛස්වදෙව භක්ත ශ්ව

ජාතො භවෙන්තරඞ

 

සා නැකතේ යටි අරුත දැහැමි දිවිපෙවෙතක් හා කර්මාන්තයන්හි නියැළුණ ස්ත්‍රීන් කෙරෙහි ඇල්ම ඇති ඉටු දෙවියන් නමදින භක්තිවන්ත සුවසේ වාසය කරන උගතෙක් වන්නේය යන්නය.

නැකැත් සංහිතාවල සඳහන් වන පරිදි සා නැකැතින් උපන්නේ නම් තුන්දොස් කිපෙනසුලු අනපේක්ෂිත අන්දමට විවිධ රෝගාබාධවලට නතුවන සිරුරක් හිමිවන්නේ යැයි කියැවේ. කුඩා කාලයේ ශාරීරික ව්‍යාධිවලට තදින්ම ගොදුරු වන්නේය.

තරුණ වියට එළැඹෙත්ම එවැනි රෝග ආදියෙන් පීඩාවන්ට ගොදුරු වේ.

බොහෝ විට අන්‍යයන් සමඟ ඇසුරු කිරීමේදී යම් යම් ගැටලුකාරි තත්ත්වයන් ඇති කර ගනී. තමාගේ සමහර වැරැදි පෙන්වා දුන් විට කිපෙයි. ඒවායින් තමාට අවාසි සහගත වන්නේ නම් තව තවත් කිපෙනසුලුය. ගුප්ත චරිතයක්ද හිමිය. අන්‍යයන්ට තේරුම් ගැනීමට තරමක් දුරට අපහසු වේ. තමාද අවුල් සහගත වැඩ කරන්නට ගොස් අමාරුවේ වැටෙයි. අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගනී. අන්‍යයන්ගේ උපදෙස් අවවාදවලට ඇහුම්කන් නොදෙයි. අවවාද දෙන අය සමඟ උරණ වේ. හිත යටින් එයට වහා විරුද්ධ වේ. නැති ප්‍රශ්න ඇතිකර ගනී. ඕනෑවට වඩා සිතයි. තේරුම් ගන්නේම නැත.

තමා ගත් තීරණවලට කෙනකු විරුද්ධ වන්නේ නම් එය ගැටලුවක් කර ගනී. එය ස්වභාවයයි. කෙසේ වෙතත් වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලට ඉතාම දක්ෂයි. මුදල් උපයා ගනී. හරි හෝ වැරදි තමාම තීරණය කරයි. අන්‍යයන්ගේ වැරදි ආදිය වැඩිපුර දකී. දකින සෑම දෙයක්ම එලෙසම සිතට ගෙන ක්‍රියා කරන්නට යෑමෙන් පාඩු විඳගනී. වෙළෙඳ කටයුතුවලට දක්ෂයි. තමා ගැනම තමාගේම පැත්තෙන් සිතන නිසා කෙසේ හෝ මුදල් සොයා ගනී. මුදලට හරිම කෑදරයි. කෙනෙකුට මුදල් දෙන්නේ කැමැත්තෙන් නොවේ. ගනු මිස දෙනු නැත. ලෝභ කමේ ප්‍රතිමූර්තියකි. ජීවිතයේ මැදිවියේ සිටම ධනය අත්පත් කර ගනී. සූදු ඔට්ටු ඇල්ලීම වැනි මුදල්මය කටයුතුවලින් ලාභ අත්වේ.

ඕනෑම කෙනකු සමඟ මුදල් ගනුදෙනුවලට සම්බන්ධ වේ. එයට කිසිදු තරාතිරමක් නැත. මුළු දිවියේ එකම අරමුණ මූල්‍යමය පැත්තයි. අවාසි වන්නේ නම් ඉවෙන් දැන ගනී. එවැනි දෙයකට මුල් නොවේ. බැංකු තැන්පතු මිස ආපසු ගැනීම් සිදු කරන්නේද කලාතුරකිනි.

අලෙවි කිරීමට හැකි සැම දෙයක්ම අලෙවිකරණයට යොමු කරයි. ඒ හරහා මූල්‍ය අංශයේ නියමුවෙකි. කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රය පරතෙරටම ගියාක් වැනිය. ජන කියමනක් ඇත්තේ ‘සල්ලි ඉල්ලන විට කෙනෙකුට තමාගේ කන් නොඇසේ. ඇස් නොපෙනේ. නමුත් සල්ලි දෙන විට කන් ඇසේ. ඇස් පෙනේ’ යනුවෙනි. මෙය නරකම රෝගයකි.

ඡ්‍යොතිෂ විද්‍යාත්මක පැත්තෙන් මානව සිතුම් පැතුම් විග්‍රහ කර බලන විට බොහෝ දෑ ඉගෙනීමට හැකිවේ. සා නැකැත හිමි අය බොහෝවිට ව්‍යාපාරික කටයුතුවලදී තරගයකට නොගොස් තමාම ජයග්‍රහණය කර ගැනීමට සමත් වේ.

වයස 24 පටන් සිය ජීවිතයේ දියුණුවට අදාළ යම් යම් ක්‍රියාවන්ට පෙලඹේ. විශේෂයෙන්ම වෙළෙඳ ව්‍යාපාරික වැඩ කටයුතුවලින් සුවිශේෂි දියුණුවක් ද අත් වන්නේය.

දේපළ ඉඩකඩම් වැනි දැයින් ලාභ ප්‍රයෝජන ලැබීමේ වාසනාව උදාවේ. සමහර විට පාරම්පරික දේපළ විය හැකිය.

පෙම් සබඳතා කීපයක්ම ඇතිකර ගනී. එයින් තමාට වාසි අත්වන ඉතාම ප්‍රයෝජනවත් වූ රූමත් අයෙකු සමඟ යුගදිවියකට පා තබනු ඇත.

විවාහයේදී වුවත් බිරිඳගෙන් ලැබෙන දේපළ ගැන විශ්වාසය අධිකයි. කරුණු කෙසේ වූවත් සා නැකත හිමියන්ගේ යුගදිවිය අතිසාර්ථකත්වයට පත්වේ. වාසනාවන්ත දාරක සම්පත් ද ඇතිවේ. විශේෂයෙන්ම යුගදිවිය සාර්ථකත්වයට පත්කර ගැනීමට සා නැකත් හිමියා සෑම උත්සාහයක්ම දරනු ඇත. භේදයකින් තොරව සා නැකැත් හිමි කාන්තාව හැඩකාරියෙකි. ඇගේ යුගදිවිය අතිශයින්ම සාර්ථකත්වයට පත්වේ. පෙම් සබඳතාවයන්ට කාම කොවුලාට අඹදලුවක් වැනිය. ඇය සමඟ සම්බන්ධ වූවොත් ගැළවීමක් නැත. කෙසේ හෝ ඇගේ දැලට කොටුවේ. ඉතාම විනීත ගති පැවතුම් ඇති ගුණගරුක බිරිඳක් වේ. අධික ලෙස මිතුරන් ඇසුරු කරන්නීය. සතුරන් අඩුය. කා සමඟ වුවත් ඇසුරට පත්වේ. ගරුබුහුමන් ලබන්නීය. භාග්‍යවන්තවේ. වාහන ඉඩකඩම් දේපළ වස්තුª ලැබේ. ත්‍යාගශීලිය. ගුණගරුකය. ඇසුරට ඉතාම යහපත් වේ. සා නැකතින් වැඩිවියට පත් දැරිය සියලුම සම්පත් ලබා සාර්ථකම යුග දිවියක් ගෙවන්නීය. තම පවුලේ වැඩි දේපළක් තමාට හිමිවේ. මවට සහ පියාට ඉතාම ගුණවත්ය. විවාහය අති සාර්ථක වේ. සමාජය තුළ කැපී පෙනෙන ගුණාත්මක චරිතයක්ය. ප්‍රසිද්ධිය, ආකර්ෂණය ලැබේ.

පළමුවැනි පාදයත් දෙවැනි පාදයත් හිමිව මල්වර වීම මෙන්ම උපත සිදුවීමත් මඟින් ඉදිරි අනාගතය ඉතාම සාර්ථක වේ. 3 සහ 4 වැනි පාදවලදී තරමක පෙම් සබඳතා තුළ යම් යම් ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්වන බැව් පෙනේ. නමුත් යුගදිවියට එය ගැටලුක් නොවේ. සාර්ථක දිවියක් ගෙනයෑමට හැකි වන්නේය. අතරමග යුගදිවිය කඩා නොවැටේ.

සා නැකතට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, රෙහෙන, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට යන නැකත් ගැළපේ. විවාහයට ප්‍රශස්ත වේ. පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල අසුබ වන්නේය.

වත්මන් ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව නිරීක්ෂණය කරන විටදී ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම විදේශගත රැකියා අවස්ථා උදාවේ. එම සබඳතාවයන් ද ගොඩනැඟේ. විශේෂයෙන්ම නැකැත් පිළිබඳව ඇතුළත ගැඹුරින් පරීක්ෂා කිරීමේදි ලග්නයත් ග්‍රහ පිහිටීම හා හැසිරීමත් ගැන බලන විටදී නවාංශකය හිමි නැකත ගැන ද විමසා බැලීම වැදගත් වේ. සමහර විට සා නැකත හිමිව කේන්ද්‍රයේ 7 වැන්නාධිපතියා අටවැන්නේ ද අටවැන්නාධිපතියා 7 වැන්නේ ද පරිවර්තන යෝගයක් ඇතිවීම යුගදිවියට එතරම් සුබදායක නොවන්නේය.

නැකැත් දෙකම ගැළපීම් ඇතත් කේන්දර දෙකෙහිම ග්‍රහ ගැළපීම් ඍණ පැත්තේ නම් ඒ තුළ සාර්ථකත්වය අඩුවේ. එය විද්‍යාත්මක පදනමකි.

අහස් තරු වැල් වියමනේ රිද්ම රටාව අනුව නිරීක්ෂණය කරන විට එදා ඍෂිවරුන් විසින් සොයා ගන්නා ලද නැකැත්වල සුබ අසුබවලින් ජීවිත තොරතුරු මනාව අනාවරණය වේ. මෙය සම්පූර්ණයෙන්ම වර්ණ විද්‍යාව සමඟ සහබඳතාවයන් පවතින බැව් ඡ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් වී ඇත්තේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.