ඡ්‍යොතිෂයේ ධර්ම ත්‍රිකෝණය

ජූලි 21, 2023

පසුගිය දිනක ඡ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය ගැන ලිව්වා මතකයි. විවාහය සම්බන්ධ කරුණු අහලා ඉතා විශාල දුරකතන පණිවුඩ ප්‍රමාණයක් ලැබුණා. කරදරයක් වුවත් ඒක අමතක කරලා බොහෝ දෙනා නිවැරැදි කරුණුවලින් දැනුම්වත් කළා. කාම ත්‍රිකෝණයෙන් පැහැදිලි කළේ සම්පූර්ණයෙන්ම ජීවිතයේ රස මවන හැටි.

අද සමාජයේ බොහෝ දෙනා හොඳින් හෝ නරකින් සල්ලි හම්බ කරලා ලොකු ලොකු ගෙවල් හදලා වායුසමීකරණ සවි කරල හරියට මාලිගා වගේ. ධන කුවේරයෝ වගේ ජීවත් වුණාට එකක් මතක තබා ගන්න ඕනෑ. මේවා හදලා සැප වින්දට ගත කළේ අයහපත් ජීවිතයක් නම් මේ ධර්ම ත්‍රිකෝණය නරක් කරගෙන ඔබගේ අන්තිම කාලය ඔබටම හිතට වද දෙන කාලයක් කරගෙන හුස්ම ටික යන්නෙ ඔබට අයිති නැති තැනක බව අද දැන ගන්න කෝ. ඒ කිව්වේ රජයේ හෝ පෞද්ගලික රෝහලකද? මේ ධර්ම ත්‍රිකෝණය නරක් වුණොත් ඔබට ඒ තැනකවත් මැරෙන්න වාසනාව නැතිව යනවා. එහෙමත් නැත්නම් ඒ වගේ තැනක නොමැරී මැරෙනවා. අදටත් ඒ වගේ අය නැතුවා නොවේ. සමහර විට අතරමඟ වාහනයක් තුළ දුම්රිය ස්ථානයක, අහස් යානයක හෝ ජලාශයක විය හැකියි.

එක එක පුවත්පත්වල ඡ්‍යොතිෂ පිටුවල බොහෝ සටහන් තුළ රාහුගේ හැටියි රාහු යන තැනයි සෙනසුරුගේ හැටියි, සෙනසුරු යන තැනයි දැනගන්නවට වඩා තමුන්ගේ ඉදිරිය තමුන්ගේ අවසාන කාලය ගතවන හැටි මැරෙන හැටි දැනගත්තොත් වටින බව අවබෝධ වූ නිසා අපේ ජීවිත ගැන කියන ධර්ම ත්‍රිකෝණය ගැන ලියන්න හිතුනා. ජන්මියකුගේ කේන්දරය තුළ ත්‍රිකෝණ 4ක් ඇති බවත් ඉන් දෙකක් යහපත්. දෙකක් අයහපත් බවත් කිව්වා. අද කියන්නෙ යහපත් දෙකින් එකක් ගැන. එනම් ධර්ම ත්‍රිකෝණයයි.

අපි උපදින කොට මරණය, ලෙඩ දුක්, දුක, සංකා අරගෙනයි එන්නේ. මේවා නවත්වන්ට බැහැ. එහෙත් කල්පනාකාරි විදිහට ජීවත් වුවහොත් සතුට, යහපත රඳවා ගන්න පුළුවන්. එහෙත් තාවකාලික විදියටයි. දැන් අපි දන්නවා ජීවිතයේ අපි අකැමැති දේවල් ලැබෙන්නේ ස්ථිරව බවත්, කැමැති දේවල් තාවකාලික බවත් කොටින්ම කිව්වොත් මේ අපි ඉන්නෙ තාවකාලික නවාතැනක. කවදා හරි මෙතැනින් අපිට යන්නම වෙනවා. මේ නවාතැන අපේම කරගෙන ඉන්න අය තමයි බොහෝ දෙනා. ඡ්‍යොතිෂයේ මේ වගේ කරුණු කාරණා ටිකක් හරි අවබෝධ කරගත්තොත් ඔය අල්ලාගෙන ඉන්න එක ටිකකින් වත් නැතිවෙලා අපි යන හැටි කොහාටද යන්නෙ කියලා දැනගන්න පුළුවන් වේවි.

අපේ කේන්දරයේ රාශි 12ක් තිබෙන බව දන්නවනේ. ඉන් පළමු රාශිය නැත්නම් ලග්න රාශිය, 5 වැනි රාශිය නැතහොත් පුත්‍ර ස්ථානය හා 9 වැනි රාශිය කර්මස්ථානය එකට සම්බන්ධ කළාම මේ ධර්ම ත්‍රිකෝණය හැදෙනවා. අනිත් ඒවා වගේම ඉන් එකක් චර රාශියක්. එකක් තිර රාශියක්. එකක් උභය රාශියක් වනවා.

අප හිතමු අපි උපදින කොට නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය මේෂ කියලා. එතකොට අපේ භාවාධිපතියා කුජ නැත්නම් අඟහරුවා. අඟහරුවා ගිනි රාශියක්. නැත්නම් උෂ්ණ රාශියක්. අනිත් දෙක තමයි ධනුවයි. සිංහයි.

සිංහය අයිති රවිට, ධනුව අයිති බ්‍රහස්පතිට එනම් මේ ත්‍රිත්වයහි නම “තේජෝ” වනවා. මෙහෙම ලිව්වට ලග්නය අනුව පිහිටීම වෙනස් වනවා. මේ ධර්ම ත්‍රිකෝණය සාමාන්‍යයෙන් හරි අවබෝධ කර ගත්තොත් ජීවිතයේ බොහෝ දේවල් තනිවම නිවැරැදිව දැනගන්න හැකිවනවා. ඕනෑම කෙනකුගේ ලග්නය පැහැදිලි කරන්නෙ මොළය, සියුම් ස්නායු, සියුම් නහර බව දන්නවනේ. කෙනකු හිටපු හැටියේ ශරීරයෙහි එක් අංශයක් පණ නැති කරල අංශභාගය හදන්නෙ මෙන්න මෙයා තමයි. 5 වැන්න කිව්වේ දරුවො, ශිල්පය ගැනනේ. මවුපියන්ගේ එකම වස්තුව හටගන්නෙ මෙතැනින්නේ. ලොකු මහත් කරලා රටට වැඩදායී කෙනෙක් ඇති කරන්නෙ මෙතැනින්. මෙතැනිනුත් කරන්නෙ හොඳ වැඩක් නේ.

මේ විදිහට ලොකු මහත්වෙලා වැඩදායී මහත්මයෙක් හෝ නෝනා කෙනෙක් වුණාට පස්සේ රස ආහාර කාලා, ගොඩනැගිලි හදලා මේවා ගැන කල්පනා කර කර ඉන්න කොට ඔබේම ශරීරයේ හම රැලි වැටී ඇති බව දැක්කාට, නරකෙස් මතුවෙලා දැක්කාම මීළඟ ආත්මය ගැන මතක් වනවා. මඛාදේව රජ්ජුරුවන්ටත් වුණේ ඕකම නේද? නිකම්ම නිවන් දකින්න නොවේ. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධිය වැඳ බුදුන් දැක නිවන් දකින්නනේ බලාපොරොත්තුව. ඒක කරන්න බුද්ධොත්පාද කාලයක ධර්මය මෙනෙහි කරල මැරෙන්න එපායැ. ඒකනේ වයස 60 පැන්නාම පන්සල මතක් වෙන්නෙ. 9 වැනි රාශිය නැතිනම් ධර්ම රාශිය සුබ රාශියක් කරගන්න එකත් ඒ ගැන දැනගන්න එකත් වටිනවා. ඒකනේ මම කිව්වේ’ ධර්ම ත්‍රිකෝණය සුබ ත්‍රිකෝණයක් කියලා. මේ ත්‍රිකෝණය ගැන අනවබෝධයෙන් ජීවත් වූ අය කවදාවත් සුගතියක උපදින්නෙ නැහැ.

අපේ ජීවිතයේ අවසාන කොටස ආවාම 1 -5 -9 රාශි පරීක්ෂා කරගෙන අශුභ නම් සුබ කර ගන්නම ඕනෑ. 1 -5 -9 රාශි නරක් වුණොත් ඉදිරි භවය ගැන කොහොම වේවිද කියල හිතාගන්නවත් බැහැ. අච්චර යහපත් වැඩ කළ කෝසල රජ්ජුරුවො දින කීපයකටවත් නරකයේ ඉපදුණා කියනවා. මුගලන් මහරහතන් වහන්සේට හොරු ගහල මරල දාවි කියලා උන්වහන්සේ වත් නොහිතන්න ඇති. පෙර කුසලය බලවත් වූ නිසා රහත් වුණා. ගැටලුව තිබෙන්නෙ මැරෙන එක නොවේ. මැරෙන්නෙ කොහොමද, කොතැනකදී ද කියන එකයි. ඒකට එකම පිළිතුර 1 -5 -9 නැත්නම් ධර්ම ත්‍රිකෝණය පරිශීලනය කරන එකයි. මට්ටකුණ්ඩලී, සෝපාක, වගේ අයට හොඳ ආත්ම ලබන්න ඒ කාලේ බුදුහාමුදුරුවොවත් හිටියා. මේෂ, සිංහ, වෘශ්චික ලග්න හිමියන් වැඩිපුර සීනි පරිභෝජනය කරන්න එපා. මොකද ඒ අයගේ බුධ මාරකයි.

මේ ත්‍රිකෝණයට අඩංගු නූනත් ඔබේ කේන්දරයේ 8 වැන්න නැත්නම් අෂ්ටමයට චර රාශියක් වුණොත් ඔබ මැරෙන්නෙ ඔබ ඉපදුණු රටේ නොවේ. එතෙරකයි මැරෙන්නේ. 8 වැන්න තිර රාශියක් නම් ඔබේ අවසාන හුස්ම යන්නෙ ඔබ ඉපදුණ මේ රටේමයි. ඒ වගේම අෂ්ටමය උභය රාශියක් නම් ඔබගේ මරණය වන්නෙ අතරමඟදි තැනකයි. මෙහෙම කිව්වට එකපාරටම තීරණයකට එන්න එපා. මේ කිව්වේ මූලික වශයෙන් කරුණක්. ඡ්‍යොතිෂයේ තිබෙනවනේ දෝෂභංග කියල ජාතියකුත් – ඒකත් මතක තබාගන්න.

ධර්ම ත්‍රිකෝණය ගැන කතාකරන කොට මේ ස්ථානවල චන්ද්‍රයා පාපියො දෙදෙනෙක් මැදට ඇවිල්ලා ඒ චන්ද්‍රයා සෙනසුරාට අයිති මකර, කුම්භ රාශියකට අයිති වුවහොත් ඒ ජන්මියා මැරෙන්නෙ ඒකාන්තයෙන්ම ගෙල වැළලාගෙන හෝ ගින්නෙන් හෝ උසකින් වැටිලාමයි. මෙතැනදි තව එකක් කියන්න ඕනෑ. තත්කාල කේන්දරයේ චන්ද්‍රයා එක රාශියක ඉන්නෙ දින 2 1/2යි.

පළමු රාශිය දුර්වල වුවහොත් ඔබේ ජීවිතයම දුර්වල වනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. වැඩිපුරම ලග්න රාශිය සුබ විදිහටමයි පිහිටන්නේ. ඉතාම ස්වල්පයක් හැර. අනික දරුවො 5 වැන්න ගැන බලන්න ඕනෑ. පස්වැන්න බ්‍රහස්පති රවි වාගේ අයට අයිති වුවහොත් ඇස්දෙක පියාගෙන ඉගෙන ගනීවි. ඒ කිව්වෙ මනස ඒ තරමටම විවෘත වී ක්‍රියාත්මක වනවා.

ධර්ම ත්‍රිකෝණය උපතින් නරක් වුවහොත් දානය දීමෙන්. මරණයට කැප වූ සතුන් මුදවා ගැනීමෙන් බොහෝ දුරට ඒ පාපයෙන් මිදෙන්න පුළුවන්.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්ත විද්‍යාධර

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.