පලාපල කථනයේදී සඳුට වඩා මෙහෙයක් ඉටු කරන රවි

ජනවාරි 28, 2022

 

සෞරග්‍රහ මණ්ඩලයේ කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු යන තාරා ග්‍රහයන් සූර්යයාගේ සිට යම් නිශ්චිත දුරකින් පිහිටමින් සූර්යයා වටා ඕවලාකාර ගමන් පථයක තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරයි. මෙහි සඳහන් නොකළ අප පෘථිවිය ද ඉහත සඳහන් කළ තාරා ග්‍රහයන් මෙන් තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ඕවලාකාර ගමන් පතයක ගමන් කරයි.

 

මෙසේ පෘථිවිය ඇතුළු ඉහත සඳහන් කළ තාරා ග්‍රහයන් තම හිතුමතේට සූර්යයාගෙන් වෙන්ව අභ්‍යවකාශයේ ඒ මේ අත ගමන් නොකරන්නේ සූර්යයා සතුව ඇති අධික චුම්භක ශක්තිය හේතු කොටගෙන පෘථිවිය ඇතුළු අනෙකුත් තාරා ග්‍රහයන් සූර්යයාගේ සිට යම් නිශ්චිත දුරකින් පිහිටමින් තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරති.

ඒ අනුව එතැනදී සූර්යයා පෘථිවිය ඇතුළු යටකී තාරා ග්‍රහයන් පාලනය කරන බවක් හෙවත් නායකත්වයක් දෙන බවක් පෙනේ. එහෙයින් ඡ්‍යෝතිෂය ශාස්ත්‍රයේදී සූර්යයා ග්‍රහ ලොව රජු ලෙස හඳුන්වනු ලබයි. එසේම මෙම සූර්යයා සතු චුම්භක ශක්තිය අප සිරුරේ ද පවතියි. එනම් හිසේ සිට කොඳු නාරටිය අවසානය දක්වා විදුලියක් මෙන් ඉහළ පහළ ගමන් කරමින් පවතියි. ආත්මය නැතිනම් ප්‍රාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එයයි. යෝග ශාස්ත්‍රයේදී මිනිස් හිසේ සිට කොඳු නාරටියේ පහළ දක්වා ඒ මේ අත ගමන් කර මෙකී චුම්භක ශක්තිය වක්‍ර 7කට බෙදා ඇති අතර, යෝග අභ්‍යාස මඟින් මෙකී වක්‍රයන් තුළ ඇති ශක්තීන් අවදි කර ගැනීමෙන් මිනිසාට මහ පුදුම හාස්කම් කළ හැකි අතර, මෙකී වක්‍ර 7 හිම ශක්තීන් අවදිකර ගැනීමේ කුණ්ඩලීන නම් මහා ශක්තියක් උදාකර ගත හැකි ය.

 

සූර්යයා සතු චුම්භක ශක්තිය

සූර්යයා සතු චුම්භක ශක්තිය ඡ්‍යෝතිෂය යෙදී තවත් ආකාරයකට එනම් ආත්මය නමින් හඳුන්වනු ලබන අතර, සාමාන්‍ය ජනවහරේ මෙය ප්‍රාණය නමින් හෙවත් පණ යන නමින් හඳුන්වනු ලබන අතර මරණයේ දී මෙකී ප්‍රාණය හෙවත් ආත්මය මිනිස් සිරුර අත්හැර මෙලොව පල පින් පව් දෙක අනුව නැවතත් මනුෂ්‍ය ශරීරයකට සත්ව ශරීරයකට නැතිනම් අමනුෂ්‍යයෙක්ව ඉපදී මෙලොව සැරි සරති.

මෙලෙස මෙලොව ජීවත්වන ජීවීන්ට ප්‍රාණය ලබාදෙන සූර්යයාට ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ජීව වායු හෙවත් ඔක්සිජන් වායුව සූර්යයා ආලෝකය ශාක පත්‍ර මතට වැටීමෙන් හට ගන්නා ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මඟින් ලබාදෙන අතර දරු උපතකදී ළදරුවා මවගේ ගර්භාෂයෙන් එළියට ගෙන පෙකණිවැල කපා ඉහළට ඔසවා පිටට තට්ටු කළ විට ගර්භාෂයේ දී හැකිලී තිබුණු ළදරුවාගේ පෙනහැලි තුළට ජීවවායු ඇතුළුවීමත් සමඟ ඇතිවන වේදනාව නිසා දරුවා හැඬීමට පටන් ගන්නා අතර එය ජීවියාගේ මෙලොව පැවැත්මට අවශ්‍ය කරන ප්‍රථම හුස්ම පොද වන්නේ ය.

මෙලෙස මෙලොව ජීවීන්ගේ උපතට සහ පැවැත්මට මහෝපකාරීවන ආත්මකාරක රවි ලග්න කේන්දරයක පළමුවෙනි භාවයෙහි බලවත්ව ඇත්නම් සහ එතැනදී ලග්නාධිපති බලවත්නම් හෙතෙම බොහෝ දුරට නිරෝගී සම්පන්න කෙනෙක් වන්නේ ය.

 

භාව පල

මෙකී රවි ලග්න කේන්දරයක දෙවැන්නේ බලවත්ව පිහිටා ඇති විටදී දෙවැන්නාධිපතිත් බලවත්නම් ජන්මියාට මනා පෙනීමක් ඇත. දෙවැන්නේ කතාව ගැන කියැවෙන බැවින් යටකී ලෙස රවි දෙවැන්නේ බලවත් සිටින අයගේ කටහඬ සැරය. කතාවේ විධානාත්මක බවක් ගැබ්ව ඇත. එමෙන්ම වාද විවාදයට දක්ෂ ජන්මියා කතාවෙන් ජය ගනියි.

රවි ග්‍රහයා උපචය භාවයක් වන තෙවැන්න ශුභ තැනකි. මන්ද පාපීන් උපමය 06, 10, 11 භාවයන් ශුභ වන හෙයිනි. ඒ අනුව රවි තුන් වැන්නේ බලවත්ව පිහිටා ඇති කේන්දර හිමියා එඩිතරය. බල සහෝදරයින් සිටියි නම් ඔවුන්ට වඩා ඉහළ කැපී පෙනෙන කෙනෙකි. මෙකී බලවත් රවි තෙවැන්නේ සිටින්නේ උච්ච, මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලය ලැබූ බුධ ග්‍රහයා සමඟ නම් ඔහු හෝ ඇය ලේඛන කලාවට දක්ෂයෙකි.

 

ලෞකික දියුණුව අඩාලවේ

හතර වැන්න රවිට නරකම තැනකි. මන්දයත් රවිගේ දිග් බල රාශිය වන 10 වැන්නෙන් හත් වැන්න වන හෙයිනි. අනෙක් කරුණ නම් රවි හතර වැන්නේ පිහිටි අය හිරු අවරට ගිය පසු මධ්‍යම රාත්‍රියේදී හෝ ඒ ආසන්නයේදී උපත ලබා ඇතිඅය වන හෙයිනි. මධ්‍යම රාත්‍රියේදී හිරුගේ ආලෝකය පෘථිවියට නොවැටෙන හෙයිනුත්, රෑ මැදියම උපන් අයගේ ලෞකික දියුණුව සිදුවන්නේ ඉතා සෙමින් ය. මෙහිදී හතර වැන්නේ මෙකී රවි නීච සතුරු හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පීඩාවී ඇත්නම් ජන්මියාට ගේදොර, වාහන ආදියෙන් තොර ඉතිරි කිරීමෙන් තොර දුසිරිතරට ඇබ්බැහි වූ පාපිෂ්ට පුද්ගලයෙක් වන්නේ ය. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් රවි ග්‍රහයා උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර, මිත්‍ර යනාදී බලයකින් යුතුව ශුභ ග්‍රහයන්ගේ වික්ෂණයෙන් (දෘෂ්ඨියෙන්) හෝ සංයෝගයෙන් යුතුව හෝ උභයචාරියෝගයකින් යුක්තව බලවත්ව සිටියි නම් ජන්මියා මැදි වයසේ දී නොසිතූවිරූ දියුණුවක් ලබයි. යාන වාහන ගේදොර ඉඩකඩම් ලබන හෙතෙම ප්‍රභූවරයෙක් බවට පත්වෙයි. අනෙක් අතට රවි ග්‍රහයා පතින සිව්වැන්න මිථුන, කන්‍යා, ධනු, මීන යන ඥාන කාරක ග්‍රහයන්ට අයත් රාශියක් වී රවි ග්‍රහයා එහි ශුභව පිහිටි කල ජන්මියාට ලෝකෝත්තර විෂයන් පිළිබඳව එනම් ආගම ධර්මය, ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳ දැනුමකුත් ඒ අංශයෙන් ප්‍රසිද්ධියකුත් ලබා ගනියි. එසේ එකී විෂයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට එකී ග්‍රහ පිහිටීම උපකාරී වීමට හේතු භූත වන විද්‍යාත්මක සාධකය නම් මධ්‍යම රාත්‍රියේ දී පෘථිවි ගර්භයේ සිට අධික චුම්භක ශක්තියක් පෘථිවියට මතුපිටට මුදා හැරීමක් එම චුම්භක ශක්තිය මිනිස් ස්නායු පද්ධතියට බලපෑම් කිරීම හේතු කොටගෙන යටකී ග්‍රහ පිහිටීම ඇති අයවලුන්ට දෙවියන් දැකීමටත් එහෙමත් නැත්නම් දෙවියන් ගේ ස්පර්ශය ලැබීමටත්, තමාට එදිනෙදා ජීවිතයේදී හමුවන පුද්ගලයන් දෙස බලා ඔවුන් පිළිබඳ අනාවැකි පලකිරීමේ ශක්තියක් හෙවත් පේන කීමේ ප්‍රබල මානසික ශක්තියක් ලැබෙන්නේ ය. එහෙයින් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ගේ ලෞකික ජීවිතයේ දියුණු සිදුවන්නේ බොහෝ කල් ගොසින් ය. එනම් මැදිවයසෙන් පසුවය.

 

අධ්‍යාපනයට බලදීම

රවි ග්‍රහයා බලවත්ව 5 වැන්නේ යෙදුණු විට එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා අධ්‍යාපනයට ද ඇලුම් කරයි. එයට හේතුව නම් රවි ඥානා ලෝකය ලබාදෙන ග්‍රහයා වන හෙයිනි. මෙහිදී මෙකී බලවත් රවි බලවත් බුධ ග්‍රහයා සමඟ සංයෝග වීමෙන් පැන නගින රවි බුධ යෝගයක් (රවි බුධ සංයෝගය අංශ 8 - 12 ආර විය යුතුයි. බුධ ග්‍රහයා රවිට අස්ත නොවිය යුතුයි. එනම් අංශක 6 කට වඩා කිට්ටු වූ විට බුධ ග්‍රහයා රවිට අස්ත වෙයි. ජන්මියා ජීවත් වන සමාජය තුළ බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙයි.

මෙකී රවි 6 වැන්නේ යෙදී බලවත් වූ විට ජන්මියාට සතුරන් ජයගත හැකිවෙයි. මෙවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට උදරයේ පවතින උෂ්ණත්වය නිසා ආහාර ඉක්මනින් දිරවන අතර නිතර නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙයි. ලග්නයත් ලග්නාධිපතින් බලවත්නම් රවි 6 වැන්නේ ඇති ජන්මින් නිරෝගිමත්, ශක්ති සම්පන්න අය වෙති.

 

ලිංගාශි‍්‍රත රෝග

රවි ග්‍රහයා 7 වැන්නට එතරම් ශුභඵල දෙන ග්‍රහ පිහිටීමක් නොවේ. මන්දයත් රවි උෂ්ණාධික ග්‍රහයෙක් වන හෙයින් යටිකය ආශි‍්‍රත මුත්‍ර අර්ශස් වැනි රෝග ලිංග ඉන්ද්‍රිය සම්බන්ධ රෝග ඇතිවිය හැකි හෙයිනි. විවාහය සඳහා කේන්දර ගැළපීමේ දී රවි ග්‍රහයා 7 වැන්නේ පාප පීඩිත නම් විවාහ සහකරු හෝ සහකාරිය ආගමික වශයෙන් නොගැළපීම හේතු කොට ගෙන විවාහය ටික කලකින් අවසන්විය හැකි හෙයින් රවි හත් වැන්නේ පාප පීඩිතව ඇති කේන්දර හිමියෙක් විවාහ විය යුත්තේ එවැනිම රවි 7 වැන්නේ පාප පීඩිතව ඇති කේන්දර හිමිකාරියෙක් සමඟ හෝ අඟහරු 7 වැන්නේ පාපී පීඩිත වී ඇති කෙනෙක් සමඟය. රවි හත් වැන්නේ උච්ච, හෝ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලය ලබා ඇති කෙනෙක් විවාහ විය යුත්තේ, අඟහරු 7 වැන්නේ උච්ච, මූල ත්‍රිකෝණ බලය හෝ ස්වක්ෂේත්‍ර බලය ලබා ඇති කෙනෙක් සමඟ හෝ රවි ග්‍රහයා හත් වැන්නේ උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බලය ඇති අයෙක් සමඟය. යටකී ලෙස රවි ග්‍රහයා හත්වැන්නේ උච්ච, මුල, ත්‍රිකොණ ස්වක්ෂේත්‍ර බලය ලබා ඇති කේන්දර හිමිකරුවෙක් හෝ හිමිකාරියෙක් කිසිවිටෙකවත් රවි හෝ අඟහරු නීච, සතුරු කේන්දර හිමියෙක් හෝ හිමිකාරියෙක් සමඟ විවාහ නොවිය යුතුය මන්දයත් රවි, උච්ච, මුල, ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර බලයෙන් යුත් කේන්දර හිමියන් උසස් අදහස්් ආකල්ප ඇති නම්බුකාර විදිහට ජීවත් වීමට කැමැති අයවලුත් වීමෙන්, රවි, නීච, සතුරු හෝ කුජ නීච සතුරු කේන්දර හිමියන් තම තත්ත්වය ගැන නොසලකන පහත් අදහස් ආකල්ප ඇති ආත්ම ගෞරවය කෙලෙසන විදිහේ වැඩකටයුතු කරන අයවන හෙයින් එවැනි ග්‍රහබල ඇති දෙදෙනෙක් එක් කළහොත් විවාහය කෙටි කලකින් කැඩී බිඳී යනු ඇත. එසේ වුවද ලග්න කේන්දරයක රවි 7 වැන්නේ උච්ච මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර ආදී බලයකින් යෙදී සිටියදී එකී රවි තවදුරට ලග්න කේන්දරයට ශුභඵල දෙන ග්‍රහයන්ගෙන් ශුභ කර්තරීත යෝගයකට මැදිව උභයවාරි යෝගයක් උදාකර ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියාට හෝ හිමිකාරියට කුලයෙන්, ධනයෙන්, බලයෙන් උසස් සහකරුවෙක් හෝ සහකාරියෙක් සමඟ පී‍්‍රතිමත් යුග ජීවිතයක් ගත කිරීමට හැකි වන්නේ ය.

 

ආත්ම ගණනාවක බැඳීම

එසේම මෙකී රවි හත් වැන්නාධිපති වී ආත්මකාරක ග්‍රහයා වී (ලග්න කේන්දරයේ අංශක ගණනක් ගමන් කළ ග්‍රහයා) හතර වැන්නේ පතිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා විවාහ වන්නේ ඉපදෙන්න පෙර ආත්ම තුනකට ඉහතදී විවාහ වූ කෙනෙක් සමඟය. මෙකී රවි 3 වැන්නේ පතිතව ඇත්නම් ඔහු හෝ ඇය විවාහ වන්නේ ඉපදෙන්නට පෙර ආත්ම දෙකකට ඉහතදී සම්බන්ධකම් පැවැත් වූ හෝ විවාහ වී සිටි කෙනෙක් සමඟය. මෙකී රවි 2 වැන්නේ තැන්පත්ව ඇත්නම් ඔහු හෝ ඇය විවාහ වන්නේ ඉපදෙන්නට පෙර ආත්මයෙදී සම්බන්ධකම් දැක්වූ හෝ විවාහ වී සිටි කෙනෙක් සමඟය. කෙසේ නමුත් රවි ග්‍රහයා 7 අධිපති නොව ලග්න කේන්දරයට ආත්මකාරක ග්‍රහයා වී හෝ වෙනයම් ආකාරයකින් බලවත්ව යටකී භාවයක තැන්පත්ව දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් 7 වැන්නාධිපතිට බලපෑම් කළ විට එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා විවාහ වන්නේ පෙර ආත්මවලදී සම්බන්ධකම් පැවැත් වූ හෝ විවාහ විසිටි කෙනෙක් සමඟය. අන් ග්‍රහයන් මෙන් රවි 8 වැන්නට ශුභ නැත. එයට හේතුව නම් අට වැන්න මරණය පිළිබඳව කරුණු හෙළිදරව් කරන රැසක් වන හෙයින් රවි 8 වැන්නේ පාප පීඩිතව ඇති කේන්දර හිමියන්ට ගින්නෙන් අකුණු සැර වැදීමෙන්, උණු වතුරෙන්, ලෝහදිය හෝ රසායනික වර්ණ ඇඟට වැටීමෙන්, පිස්තෝල වැනි කුඩා ගිනි අවියකින් මරණය සිදුවිය හැකි හෙයිනි. ඒ නමුත් පාප පීඩිත නොවූ 8 වැන්නෙ ශුභ දෘෂ්ටිය ලබා 6, 8, 12 දුෂ්ට භාවයකට අධිපති වෙමින් 8 වැන්නෙ සිටි කල හර්ෂ, සරලා, විමලා යන විපරීත යෝග උදා කරන හෙයින් එකී විපරිත රාජ යෝගයක් රවි ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන 8 වැන්නේ යෙදීමෙන් කේන්දර හිමියාට එනම් හර්ෂ යෝග යෙදීමෙන් සතුරන් ජය ගැනීමට හැකිවීම, සරලා යෝගය මගින් අන්තිම කැමැති පත්‍ර මගින් ගෙදොර ඉඩකඩම් ධනය ලැබීම, විමලා නම් විපරිත රාජ යෝගය මගින් පදවි ලාබ ලැබීම, අනපේක්ෂිත ලෙස රජයේ තනතුරු, නිලතල හිමිවීම වැනි ලාභයන් අත්වන හෙයින් රවි 8 වැන්නෙ අශුභව පිහිටි විට අශුභඵල ලැබෙනවා සේම යටකී ආකාරයට ශුභව පිහිටිය විට ශුභ ඵලද ලැබෙන්නේ ය.

 

පියාට අපල

රවි 9වැනි භාවයේ ශුභව සිටිය විට ශුභඵලත් අශුභව සිටි විට අශුභ ඵල උදා කරන හෙයින් රවිට නවවැන්න ශුභ, අශුභ හෙවත් මිශ්‍ර ඵල උදා කරන රැසක් වන්නේ ය. ඒ අනුව රවි නව වැන්නේ නීච සතුරු හෝ පාප පීඩිතව යෙදී ඇත්නම් එය පියාට හොඳ නැත. මන්දයත් එකී ග්‍රහ බලය කේන්දර හිමියා සහ පියා අතර, නිතර නිතර මත භේද ඇතිවීමට හේතු පලවන ග්‍රහ බලයක් වන හෙයින් අනෙක් අතට එතැනදී එකී ග්‍රහ පිහිටීම සමඟ නව වැන්නාධිපතිද දුර්වල නම් පියාගේ ආයුෂ ද කෙටිවනු ඇත. එමෙන්ම මෙකී රවි නව වැන්නේ ශුභ දෘෂ්ටි ලැබ උච්ච, මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර යනාදී බලයකින් යුතුව සිටී නම් ජන්මියාගේ පියා ධනවත් බලවත් කෙනෙක් වන්නේ ය. පියා ජන්මියාගේ දියුණුවටද උදව් උපකාර කරන අතර, ජන්මියාට පිය සෙනෙහස නොඅඩුව ලැබේ. අනෙක් අතට මෙකී රවි 5 වැන්නාධිපතිව නව වැන්නේ මහා පරිවර්තන යෝගයකට සම්බන්ධව බලවත්ව සිටියි නම් ජන්මියා, යම් විෂයක් පිළිබඳව මනා දැනුමක් ඇති දෙස් විදේශයන්හි නම පතල කීර්තිමත් උගතෙක් වන්නේ ය. 10 වැන්න ලග්න කේන්දරයේ සියලුම භාව අතරින් රවි ග්‍රහයාගේ ශුභ ඵල ඉතා හොඳින් ප්‍රකාශයට පත් කරන භාවය වන්නේය. මක් නිසාදයත් රවි 10 වැන්නේ දිග් බලය ලබන හෙයිනි. ඒ අනුව රවි 10 වැන්නේ සිටින ජන්මීන් කීර්තිමත් භාවයට පත්ව සියලු බලය, ශක්තිය, ධෛර්ය සහ ක්‍රියාශූරත්වය ලබන අය වෙති. රවි ග්‍රහයා සතුව පවතින යටකී සුවිශේෂ ගති ලක්ෂණ හේතු කොට ගෙන රවි 10 වැන්නේ බලවත්ව පිහිටා ඇති ජන්මීන්, රටකට, නගරයකට, ගමකට, පලාතකට, ව්‍යාපාරයකට සමිති සමාගමකට නායකයෙක් වන්නේ ය.

 

කෝටියක් දෝෂ භංගවීම

රවි 11 වැන්නට ඉතා ශුභඵල දෙන ස්ථානයකි. මන්දයත් රවි 11 වැන්නෙහි බලවත්ව යෙදුණු කල ලග්න කේන්දරයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් ඇතිවන දෝෂ භංග වන හෙයිනි. ඒ අනුව කේන්දරයක රවි 11 වැන්නෙහි බලවත්ව යෙදුණු කල කෝටියක් දෝෂ භංග වෙතැයි ඡ්‍යෝතිෂය හා පොතෙහි සඳහන්ව ඇත. එහෙයින් දිවා කාලයේ ශුභ මුහුර්ත සෑදීමේ දී තත්කාල ලග්නයෙදී ඇති දෝෂ භංග කිරීම බොහෝ ඡ්‍යෝතිෂඥයින් බලවත් රවි 11 ට තබා ශුභ මුහුර්තය සාදති. ඒ අනුව ලග්න කේන්දරයේ රවි 11 වැන්නේ බලවත්ව සිටින පුද්ගලයන් අන්‍යයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රූප සම්පත්ති ඇති රජයෙන් ආදායම් ලබන ප්‍රභූවරුන් වෙති. මෙකී බලවත් රවි 11 වන්නෙහි සිව්වැන්නාධිපති සමඟ සිටියි නම් ඔහු හෝ ඇය බොහෝ ගේදොර ඉඩකඩම් යාන වාහන ඇති කෙනෙකි. මෙකී රවි දෙවැන්නාධිපති සමඟ 11 වැන්නේ සිටියි නම් හෙතෙම බොහෝ බැංකුවල මුදල් තැන්පත් කරන ලද මිල මුදල් ඇති කෙනෙකි. රවි 11 වැන්නේ බලවත්ව සිටින්නේ 5 - 9 අධිපතීන් සමඟ නම් ඔහු හෝ ඇය යම් විෂයක් පිළිබඳව මනා දැනුම් සම්භාරයක් ඇති දෙස් විදේශයන්හි නම පතල මහාචාර්යවරයෙක් මහාචාර්යවරියක් වෙයි.

 

පවට බිය නොවීම

12 වැන්නේ රවිට ශුභ ඵල දෙන භාවයක් නොවේ. මන්දයත් රවි 12 වැන්නෙදී කිසිඳු ශුභ ඵලයක් උදා නොකරන මළ ග්‍රහයෙක් බවට පත්වන හෙයිනි. එහෙයින් 12 වැන්නෙහි රවි නීචව සතුරුව හෝ පාප පීඩිතව ඇතිවිටදී නව වැන්නාධිපතින් දුර්වල නම් ජන්මියා පියාට සතුරු වන අතර, පියා කෙරෙන් වෙන්ව වාසය කරයි. ආගම දහම විශ්වාස නොකරන ජන්මියා පව් කරයි. පවට බිය නැති ජන්මියා නීති විරෝධි, ව්‍යාපාරවල යෙදෙමින් ධනය උපයයි. එසේම මෙකී රවි 12 වැන්නේ පාප පීඩිතව සිටියදී 12 අධිපතිද පාප පිඩීත නම් ජන්මියා අක්ෂි රෝගවලින් පෙලෙයි. විශේෂයෙන්ම ස්ත්‍රී කේන්දරයක 12 වැන්නාධිපති පාප පීඩිතව සිටියදී 12 වැන්නෙහි රවි ග්‍රහයාද නීච, සතුරුව පාප පීඩිතව ඇත්නම් වම් ඇසේ පෙනීම අහිමි වෙයි. එය එසේ වුවද රවි 6, 8, 12 යන දුෂ්ට භාවයකට හිමිකම් කියමින් 12 වැන්නේ හර්ෂ, සරලා, විමලා යන විපරිත රාජ යෝගයක් උදා කර ඇත්නම්, එනම් හර්ෂ යෝගය 12 වැන්නේ යෙදී ඇත්නම් ජන්මියා සතුරු ප්‍රශ්නවලින් ජය ගනියි. සරලා යෝගය යෙදී ඇත්නම්, අන්තිම කැමැති පත්‍රවලින් මූල්‍ය ලාබ හෝ ද්‍රව්‍ය ලාබ ලබයි. මෙකී රවි 12 වැන්නාධිපති වෙමින් 12 වැන්නේ යෙදී ඇත්නම් අනපේක්ෂිත පදවි ලාභ හිමි වෙයි.

 

මතු සම්බන්ධයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.