කෙටවීමෙන් කොටවීම

ඔක්තෝබර් 18, 2024

නෙලුම් කුලුනෙන් පැන දිවි නසාගත් සිසුවිය දෙස කුළුණින් බැලීම මානුෂීය සිතිවිල්ලකි. ඇයගේ කේන්දරය හෝ හස්ත රේඛා විශ්ලේෂණය කර කෙටි ආයුෂ ගෙනෙන යෝගයක් ඇති බව හෝ කෙටි ජීවන රේඛාවක් ඇති බව කීමෙන් ඡ්‍යොතිෂමය පශ්චාත් මරණ පරීක්ෂණයක් ද කළ හැකිය. එහෙත් මෙවැනි තවත් ජීවිත අකාලයේ පරවන තුරු එපමණකින් සෑහී සිටීම සමස්ත ජාතියේ වගකීම යැයි පැවසිය නොහැකිය.

ආරක්ෂකයන් කිහිප දෙනකුගේ ඇස් වසා ආරක්ෂක වැටෙන් මහත් පරිශ්‍රමයක් දරා බිමට පැනීමට තරම් ඇයට ඇති වූ මානසික තත්ත්වය පිළිබඳ සෙවිය යුත්තේ ඕපදූප වශයෙන් නොව තමන් අඳුනන තවත් දරුවකුගේ දිවි බේරා ගැනීමේ අරමුණ පෙරදැරිව ය. ඊට පෙර හෝටල් මහලකින් පැන්න සිසුවා හා සිසුවිය මෙන්ම මේ දැරිවියගේ දිවි නසාගැනීම්වල සමානතා නිරීක්ෂණය කරමින් සමාජ මාධ්‍යවල පැතිර ගිය සටහනක පැවසුණේ මෙය රුසියානු සරසවියකින් පලවා හරින ලද මනෝවිද්‍යා සිසුවකු විසින් නිර්මිත යම් ක්‍රීඩාවක අවසන් අදියර බවයි. එය සත්‍යයක් හෝ අසත්‍යයක් හෝ වේවා ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතයේ ඍජු හා වක්‍ර බලපෑමක් නව පරම්පරාවල තීන්දු තීරණ කෙරෙහි දැඩිව පවතින බව නම් පැහැදිලි සත්‍යයකි.

බොහෝ දෙනා අතීත කාමයෙන් මෙන් සිහි කරන පෙම් හසුන් ලියූ පෙම්වතුන්ගේ යුගයට වඩා කෙටි පණිවිඩවලින් සබඳතා ගෙන යන පෙම්කතාවල ආයුෂ කෙටිය. එයට හේතුව ගිනි පෙනෙල්ලක් පෑගෙන විට ක්ෂණිකව කකුල ඉවත් කර ගැනීමට මොළයට පණිවිඩ නොයවාම තීරණ ගැනීම සඳහා ස්නායු පද්ධතියේ සැකැසී ඇති අනිචඡානුග ක්‍රියාවල ක්‍රමවේදයෙන් සාමාන්‍ය ජීවිතයේ සියලු තීරණ ගැනීමට වේගවත්ව ජංගම දුරකථන භාවිත කිරීම විය හැකිය.

ජීවියකුගේ වැදගත් තීරණ ගත් යුත්තේ ඒ සම්බන්ධව පංචේන්ද්‍රියයන් මෙහෙයවා ලබා ගන්නා දත්ත සික්ස්ත් සෙන්ස් ලෙස අප දන්නා භාෂාවෙන් හඳුන්වන ප්‍රඥාව ඇසුරින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය. ඒ සඳහා මොළයට පණිවිඩ යෑම අත්‍යවශ්‍ය වන අතර එසේ සිතා බලා ගන්නා තීරණවලට අනුකූල ක්‍රියා ඉච්ඡානුග ක්‍රියාවන්ය. එහෙත් ජංගම දුරකථනය වැනි බාහිර උපාංගයකට තම මොළගෙඩිය අභිබවා තමන්ගේ පාලනය නතු කරගන්නට ඉඩ දීමෙන් සිදු වන්නේ තමන් ඉච්ඡාභංගත්වයට පත්වීම බව මේ පරපුරට දැනෙන්නේ නැත. අතථ්‍ය හෙවත් වර්චුවල් යහළු යෙහෙළියන්ගේ දුකට සැපට කමෙන්ට් දමමින් සිටින මොවුන්ගේ පවුලේ සාමාජිකයකු මියගිය විට පවා ලැබෙන්නේ වර්චුවල් ශෝක පණිවිඩ පමණි. මිනිය උස්සන්නටවත් පෙට්ටියට අත ගහන්නේ ඒ සමඟ සෙල්ෆි ගසන මානසිකත්වයක් නැති පිරිසක් පමණි.

මේ තත්ත්වය සැබැවින්ම ඉච්ඡානුග ක්‍රියා හා අනිච්ඡානුග ක්‍රියා අතර කෙටවීමක් නිසා සිදුවන හදිසි තීන්දු තීරණ ගැනීමේ ගැටලුවකි. සියයට අසූවකටත් වඩා දික්කසාද නඩුවලින් උසාවි පිරී යන්නේ ද මේ බුද්ධිය සහ ක්‍රියාව අතර ඇති කරන කෙටවීම මඟින් කෙටි කාලයක් තුළ ජීවිතය කෙටි කර ගැනීමට තරම් කෙටි තීරණ ගැනීමට පෙලඹීමේ ප්‍රතිපලයක් ලෙසය. කෙටි කෑම, කෙටි පණිවිඩ, කෙටි ඇඳුම්, කෙටි සබඳතා, කෙටි ගමන්බිමන්, කෙටි ක්‍රම සියල්ල දන්නා අය හොඳ කෙටි කතාවක් දෙකක්වත් කියවනවා නම් ජීවිතය කොට වන්නට හෝ විවාහය කොට වන්නට ඇති අවස්ථාව අඩු විය හැකිය.

කෙසේ වෙතත් මනස සහ බුද්ධිය අතරටත් කාලය හා අවකාශය අතරටත් පැමිණ ඇති විද්‍යුත් මෙවලම් ගාල කඩාගෙන භාවිත කරන්නට පෙලඹෙන මිනිසා තුළ ඇති කරන අන්තර් කෙටවිල්ල ජීවිතවල පුළුල් දැක්මට අවහිර කොට, කොට ජීවීත දක්වා මනස කෙටි කිරීම නිසා සංවේදීතාවයෙන් අඩු මිනිස් භාග නිර්මාණය කිරීමට දායක වී ඇත. ඕනෑම දෙයක සුබ අසුබ දෙකොටස දැන මේ මෙවලම් තමන්ගේ වහලකු කර ගැනීමට තරම් ප්‍රඥාවක් ඇති පුද්ගලයන් මේ උගුලට හසු නොවනු ඇත. එසේම යමක් සිදුවූ විට එහි කම්පනයෙන් තැති ගෙන කේන්දර, සාස්තර, හස්ත රේඛා බලනවා වෙනුවට මේ ශාස්ත්‍රවලින් තමන්ට ගතහැකි යම් ප්‍රයෝජනයක් වේ යැයි හදවතේ කොනක හෝ විශ්වාසයක් පවතින්නේ නම් තම සැමියාට, බිරියට, දරුවන්ට, නෑ හිත මිතුරන්ට වරදින්නට පෙර මේ ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගැනීම බුද්ධිමත් භාවිතයකි. විද්‍යාව සමඟ මිථ්‍යාව කෙටවීමෙන් කොට ජීවිත ලබන්නවාට වඩා මේ අස්පර්ශී සංස්කෘතික දැනුම් යොදාගෙන දිගු ගමනක් යෑමට කෙටි ක්‍රම සොයා ගැනීම කොසොල් රජුගේ සිහින සැබෑ වීමේ කාලය කෙටි නොවීමට හේතුවක් වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.