අන් අය ගැනත් සිතමු

නොවැම්බර් 27, 2020

අතීතයේ එකිනෙකා අතර සහයෝගිතාව සමානාත්මතාව එකමුතුකම නොඅඩුව තිබුණි. කෙනෙකුට විපතක් කරදරයක් වූ විට, කොයි වේලාවේද කොතැනද යයි සැලකුවේ නැත. කවුද කොහේද යන්න සැලකුවේ නැත. වෙන එකක් තබා සතෙකුට සිව්පාවකුට වුවද සැලකුවේ ඉතා කරුණා බරිත හදකිනි. එහෙත් අද පාරේ තොටේ වුවද වැතිරී සිටින එසේත් නැතිනම් පාරේ තොටේ අනතුරක කරදරයක පැටලී සිටින අයකු බේරා ගන්නා අදහසින් ළංවන්නේ කීයෙන් කී දෙනාද. අද නීතියේ හැටියට එසේ ළං වී උදව් කිරීමටවත් කෙනෙකු පැමිණෙන්නේ නැති එක තවත් පැති කඩකි.

කිසියම් විපතකට පත්වූ කෙනෙකු රෝහලකට ප්‍රථමාධාරයකට ගෙනයාමේ දී ඊට වගකිවයුත්තේ රැගෙන යන්නා නිසා ඊට බොහෝ දෙනෙකුගේ අකමැත්ත පළවන අවස්ථා ද නැතිවා නොවේ. මේ කොයිහැටි වෙතත් කුමන උපක්‍රමයකින් හෝ ඇඟ ගලවා ගන්නා පිරිස් අපට බොහෝවිට අසන්නට දකින්නට ලැබේ.

එහෙත් මොන කරදරයක පැටලුණද ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් සිය දිවි පරදුවට තබා ජීවිත ගලවා ගන්නා අය අප අතර කොතෙකුත් දක්නට ලැබේ. සමහර විට සියදිවි හානි කරගන්නා අයකු ගඟේ මුහුදේ පැන සිටින මොහොතක වුවද ඊට පැන එම ජීවිත බේරා ගැනීමට ගොස් සිය වටිනා ජීවිතය බිලිදෙන අවස්ථාද අපට පසුගිය වකවානුවේ දැක ගන්නට ලැබුණි. සියදිවි හානිකරගන්නට දියට බට අය ජීවත් වී බේරා ගන්නට පැන්න අය දිවි පූජා කරන අවස්ථා මේ අතර වෙයි. මෙයින් පෙනෙන්නේ හොඳ මිනිසුන් තවමත් අප අතර සිටිනවා යන පණිවුඩය නොවේද?

තවත් විටෙක දුම්රියට බස් රියට යට වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන සමහරුන්ගේ දුක්මුසු මොහොත සිය ජංගම දුරථකන කැමරාවෙන් ඡායාරූප ගත කරමින් කාලය මරණ අයද අප අතර සිටිති. එසේ පිංතූර ගනිමින් ගෙවා දමන කාලය තුළ එම රෝගියා රෝහලකට ගෙනයාමට උත්සාහ කළේ නම් එම ජීවිතය නිකරුණේ මිලින නොවී ගොඩ ගන්නට බොහෝ විට ඉඩ තිබුණි. එය පින්තූර රැගෙන අන්තර්ජාලයට මුදාහරිමින් බොරු ව්‍යාජ වීරයකු වනවාට වඩා එම අසරණ ජීවිතය බේරාගෙන එම දර්ශන අන්තර් ජාලයට මුදාහැර වීරයකු වීමට උත්සාහ කළේ නම් එයයි වීරකම. නමුත් මේ තරමටම අප අතර වෙසෙන්නන් අද අමානුෂික පටු ආකල්පවල සිටිමින් හුදු බොළඳ වින්දනයකට හුරු වී තිබීම කණගාටුවට කරුණකි.

අද මේ කොවිඩ් වසංගතය ලොව සෑම රටකම පොදු සතුරා බවට පත්වෙමින් මහා විනාශකාරී තත්ත්වයකට පත්වී සිටිති. ඒ අතර තැන තැන රෝගීව අසරණ වූ ජනතාව අප රටේද බහුලව දකින්නට ලැබේ. ඒ අයගේ සුරක්ෂාව රජයටම බාර දෙමින් අතපිස ගන්නා එසේම රජය කළයුතුම යයි දෝෂාරෝපණය කරන අය අප අතර කොතෙකුත් සිටිති.

ඒ අතර අප්‍රසිද්ධියේ වුවද අසරණ පිරිසට පිහිට වන පිරිස්ද නැතුවා නොවේ. වැඩි පිරිසක් එසේ නොවුවත් සුළු පිරිසක් හෝ එසේ අප අතර හිඳීම සතුටට කරුණකි. ධනවත් රටවල් යයි කියාගත් විවිධ රටවල ඒ සංහිදියාව නොමැතිකම නිසා මෙම වසංගතය පාලනය කරගත නොහැකිව ව්‍යාප්තියකට නතුව සිටින මොහොතක අප රටේ සුළු පිරිසක් හෝ අන් අයගේ ඕන එපාකම් සොයා බලා කටයුතු කිරීම නිසා රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීමට රජයට වුවද පහසුවී තිබේ. එබඳු යහපත් මිනිසුනට අපගේ උපහාරය පුද කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.