වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අමතක වීම
අමතක වීම අද අප සැම දෙනෙකු තුළම රට තොට සැම තැනකම දකින්නට තිබෙන දෙයකි. තමා ගත කළ ළමා විය, තුරුණු විය, මහලු කාලයේ දී අමතක වනවා හැරෙන්නට තමාට උදව් කළ තමා ගොඩ දැමූ බොහෝ දෙනෙකු පිළිබඳව කෙනෙකුට අමතක වී ඇත.
ඒ හැරෙන්නට අපේ ඉතිහාසය, අපේ සභ්‍යත්වය අපේ සංස්කෘතිය, අපේ ආගම, අපේ ශිෂ්ටාචාරය අපේ දේශපාලනය මෙන්ම අපේ සෞඛ්‍ය ගැන නිතැතින්ම අමතකවී ඇත. සමහරුන්ගේ අදහසට අනුව අපට කිසිවක් මතකයේ තිබෙන්නේ සතියක් දෙකක් පමණක් බව හරියටම සනාථ කරමින්. ඒ අදහස සත්‍ය එකක් බව අපට වටහා ගැනීමට තරම් හේතු වී ඇත. අද අපට අම්මා, තාත්තා අමතක වී ඇත. මවට, පියාට තම දුව, පුතා අමතක වී ඇත. ඒ තත්ත්වයක් මත වෙනත් වෙනත් දේ අමතක වීම අරුමයක් ද නොවනු ඇත. කෙනෙකුට තමාට ඉහළට යාමට මුල් වූ ඉණිමඟ අමතකව ඉහළට ගියාට පසු එයට පයින් ගසා බිම දමන අයද සිටිති. ඒ අයට අනතුරුව බිමට බැසීමට යළි ඉණිමග අවැසි බව දන්නේ පසුවටය. එවිට කාලය ප්‍රමාද වී වැඩි ය.
අපිට නිදහසේ ජීවත් වීමට ඉඩ හසර සලසාදුන් අය අමතක කළ අවස්ථා අපට හමුවෙයි. ඊට ඕනෑතරම් සාධක අප අතර ඇත. එහෙත් ඒ ජාතික වීර නාමාවලියේ උතුමන්ට වඩා ඉන්දියානු චිත්‍රපට සංස්කෘතියේ සාරුක්කාන්ලා මධුරි ඩික්සිත්ලා අප තරුණ තරුණියන්ට මතකයේ ඇත. ඔවුන්ගේ සිහින කුමර කුමරියන් ඔවුන් ය. තවද අම්මා, තාත්තාගේ වටිනාකම අමතක කළ දූ දරුවෝ අප අතර කොතෙකුත් ඇත. ඒ අය තම මව හෝ පියා මියගොස් සුසාන භූමියක මිහිදන් කරන තුරු මතකයේ ඇතත් ඉන් සතියකට දෙකකට පසුව සිට කිසිදු මතකයක් නොවන තරම් ය. ආදාහනාගාර කීපයකට ගොස් කරුණු සොයා බැලීමේ දී අපට එය හොඳින් වටහාගත හැකි ය. මේ අතර තමා මවගේ පියාගේ දේහය පසුපසු නොයෙක් විදියේ දුක් අඳෙීනා නගමින් මිනී පිටිය දෙවනත්කර හඬා වැළපෙන දුව හෝ පුතා සතියකට පසු සිය මව පියාගේ බස්මාවශේෂ මුට්ටියවත් රැගෙන ගොස් මිහිමත තැන්පත් නොකර ආදාහනාගාර මුර කුටියේ අල්මාරි පිරී ඉතිරී සිය ගණන් මුට්ටි කිසිවකුගේ ඉල්ලීමක් නැති විටෙක මාස හය හතකට පසු මුරකරු විසින් රැගෙන ගොස් වල දමන අවස්ථා එම ආදාහනාගාරවලට ගියවිට ඇස් පනාපිටම අපට දැක බලා ගත හැකිය. එය මා සෑම ආදාහනාගාරයකම දකින දසුනකි. වෙන එකක් තබා තමා කිසියම් වරදකට හසුව ඇස් පනාපිටම ඔප්පුවන වැරදි පිළිබඳව විමසන විට තමාට කිසිවක් මතක නෑ යන වචනය අපට බොහෝ දේශපාලකයින් තුළින් අසන්නට දකින්නට ලැබෙන කරුණකි.
එහෙත් තමාට හිමිවන්නට තිබෙන අනුන්ගේ වරප්‍රසාදයක් වුවද කූට ලෙස අත්පත් කර ගැනීමට නම් ඒ අයට හොඳට මතක තියෙන බවද අපට දකින්නට ලැබෙනු ඇත. ඒ කෙසේ නමුදු එබඳු අමතකවීම් අප ජීවිතය පුරාම ඇතත් ලෝකයට මීට පෙර සිදුවූ තදබලම ව්‍යසනය ගැන ක්ෂණයෙන් අමතකවී තිබීම කණගාටුවට කරුණකි. එදා තම ජීවිතයට ඇති වටිනාකම දැන අත්සේදීම, මුව ආවරණ පැළදීම, මීටරයේ දුර තබා සිටින පිරිසක් සමඟ ගැවසුණු අපට ඒ සියල්ල මාස දෙක තුනකින් අමතකවී ඇත. එ අමතකවීම අන් සියලු අමතකවීම්වලට වඩා භයානකය. ඒ නිසාම සෞඛ්‍ය අංශ නිලධාරීන් ආරක්ෂක අංශ කොතරම් කීවත් ඒ සැම අමතක කළ පිරිසට අද යළි බියවීමට සිදුව තිබේ. පාසලක වේවා, බස් රථයක වේවා, පන්සලක වේවා, රෝහලක රාජකාරී වැඩ බිමක වේවා එබඳු පොදු සෑම තැනකම තමාට හිමි වගකීම අමතකවීම නිසා යළි යළිත් තමාට ජීවිත අවදානමට මර බියට නතුවීමට සිදුව ඇත. ඒ නිසා මිනිසුන් ලෝකයේ බලවත් යැයි කියන අන් රටකට වඩා අගනියෙන් බේරී සිටි අප අපම යළි යළිත් මෙනෙහි කළයුතු කරුණක් තිබේ. ඒ මුල අමතක නොකරමු යන්නයි.