ආදර්ශමත් ගමනක පෙර ගමන් කරුවන් වෙමු

අගෝස්තු 21, 2020

ගුණදම් උගන්වන ස්ථාන අතර පාසල, පන්සල, පල්ලිය අතරට එක්වන තවත් තැනක් නම් පාර්ලිමේන්තුවයි. නොදරුවාට පාසල මෙන්ම දැහැමියාට පන්සල, පල්ලිය මෙන්ම සමාජයේ සෑම යහපතකටම මූලිකවන්නාට පාර්ලිමේන්තුව තරම් ආදර්ශ සැපයිය හැකි වෙනත් තැනක් නොමැති තරම් ය. ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ සිටින ප්‍රතිපත්ති ගරුක අය තුළින් සමාජයට ඉතා ආදර්ශයක්ම විය යුතුය. ප්‍රතිපත්ති හදන තැන පෞද්ගලික මතවාදයට තැන ලැබෙනවා නම් එතන සමාජයට සුදුසු තැනක් නොවනු ඇත. 

කෙසේ නමුදු අතීතයේ අපට මතක ඇති යුගයේ සිටි පාර්ලිමේන්තු නියෝජිතයින් සැබෑ වියතුන් උගතුන් හා සමාජවාදී අදහස් උදහස් දරන්නෝ වූහ. කෙසේ හෝ වසර ගණනක් දේශපාලනයේ නිරතව සිට අවසානයේ විශ්‍රාමයන විට තම බැංකු ගිණුමේ ඉතිරි වූයේ රුපියල් සත කීපයක් පමණි. ඒ අය ජනපි‍්‍රය වූයේ එලෙසිනි. එහෙත් මහා ධනවතුන් ධන කුවේරයින් ලෙස රටෙන් භාගයක් අත්පත් කරගෙන මෙන් සිට විශ්‍රාම ගිය ඇත්තන් පිළිබඳවද අපට අසන්නට ලැබුණි. ඒ අය වෙතින් සමාජයට වූවේ නරක ආදර්ශයකි. ඒ අය රටේ ප්‍රසිද්ධ වූවේ දේශපාලඥයින් ලෙස නොව දේශපාළුවන් ලෙස ය. මේ දෙපිරිසෙන් වඩා අප අතර අපේ හදවත් වල රැඳී සිටියේ එදා මෙදාතුර යහපත් දේශපාලන දර්ශනයක් තිබූ වියතුන්ම ය. ඒ අයගේ දර්ශනය ගැඹුරුය. ගමන් මාර්ගය පිරිසුදුය. දිගුය. 

එහෙත් නරක ආදර්ශ දුන් පිරිස රටට ව්‍යාසනයක් විය. ඒ අයගේ ගමන කෙටි විය. ඒ සෑම අංශයේම අය පසුගිය වසර පහ තුළ අප පාර්ලිමේන්තුව තුළ දුටු  අයයි. යහපත් අය අදද දේශපාලනයේ සිටිති. අයහපත් අය තුරන්වී ගොසිනි. මේ දේශපාලන සෝදාපාළු යහපත් ස්වර්ණමය යුගයකට අවතීර්ණ වූ සෙයකි. ඒ සුවිශාල වුවමනාවක් ඇති සෘජු අදහස් දරණ නිවැරැදි නායකත්වයක් අපට ලැබී තිබෙන නිසා ය. ඒ අනුව දේශපාලනය තුළ සොරුන්ට, කුඩුකාරයින්ට මංපහරන්නන්ට කිසිසේත් ඉඩ නැත. මෙවර ඒ නිසාම වියතුන්ට උගතුන්ට සමතුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් ලැබී තිබීම මතු අනාගතය බලාපොරොත්තු ඉහළ නංවනසුළුය. ප්‍රධානියා යන මග ඊට පහළින් සිටින අය යායුතු ගමන අවබෝධ කරගත යුතුව ඇත. එසේ වුවහොත් අනාගතය සුබවාදී වෙයි. හසුරුවන්නා කියනදේට ඒ අණට කීකරු නොවන්නාට අතරමග නතර වීමට සිදුවන බව අපට ඇස් පනාපිට දක්නට ලැබේ. 

ඒ කිසිවකින් හිස උදුම්මවා නොගත් බොරුව වංචාව කිසිවිට සිතේ නැති හොඳ මවුපියන් දෙපළකට දාව හොඳ සොයුරු සොයුරියන් පිරිසක් අතර හැදී වැඩී හොඳ බෞද්ධ පාසලක ඉගෙනීමෙන් සෘජු ප්‍රතිපත්තිමය විනයගරුක රැකියාවක නිරතව රට ජාතිය ආගම පිළිබඳ හැඟීමෙන් කටයුතු කෙරූ කරන පාලකයකු අප අතර සිටින නිසා යහපත් බලාපොරොත්තුවක් සහිතව අපට  ගමන් කළ හැකිව ඇත.නමුත් ඒ ගමනට කිසියම් හෝ ශක්තියක් නොවන පිරිසකට එහි විසීමට නොහැකිවනු ඇත. එහෙයින් ඔබ අප සිතට ගනිමු. රට ගොඩනැගිය හැකි එකම අවස්ථාව මෙය පමණක්ම වනු ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.