වල් බිහිවූ සමාජය එළි පෙහෙළි වීමට නම්

අගෝස්තු 14, 2020

වත්තක්, ගෙයක් නොසලකා අත්හැර දමා තිබූ විටෙක එහි වල් බිහි වීම වළකාලනු නොහැක.එය කෙමෙන් අභාවයට යනවා පමණක් නොව එහි පිරිසුදු බව ගිලිහී සතුන් සිව්පාවුන්, කෘමීන්, මීයන්, කැරපොත්තන්, මකුළුවන් හා වේයන්, කුහුඹුවන් පවා බෝවී තව තවත් කහළගොඩක් වනු ඇත. රටකට සමාජයකටද එය පොදු ධර්මතාවකි. අපේ රටද කලක් කිසිවකුගේ සොයා බැලීමකට සැලකිල්ලකට නතු නොවී පාළුවට ගිය නිවසක් ඉඩමක් බවට පත් වී තිබුණි. තවත් විටෙක තම ඉඩම නිවස කුලී පදනම මත අන් සතුකළ දේපළක් බවට පත් වී තිබූ බවද පෙනෙන්නට තිබුණි.

හිමිකරුවා හැරෙන්නට කුලී කරුවාට එම දේපළින් වැඩක් නැත. තමාට අයිති නැතැයි යන හැඟීමෙන් ඔහු එය නඩත්තු කරනවා වෙනුවට ඉන්නා ටික කාලය තුළ එය ජරාජීර්ණ වන තෙක් බලා සිටින පිරිසුදු නොකර අපිරිසුදු තත්ත්වයෙන් පවත්වාගෙන යයි එබඳුව ධර්මතාවක් අප රටට ද පසුගිය පස් අවුරුදු කාලය තුළ සිදුවූවා යයි කීම මුසාවක් නොවේ. තවත් සමහර දේපල හිමිකරුවන් තම සල්ලාල දූ දරුවන්ගේ නොමනා කටයුතු නිසා ඒවා වැනසෙන අවස්ථා අප දැක ඇත්තෙමු. තම පියාගෙන් මවගෙන් බලෙන් අත්පත් කරගත් වටිනාදේපල එක්කෝ කුණු කොල්ලයට විකුණා දමති.

නැත්නම් ඔහේ ජරාජීර්ණ වීමට වෙන අයගේ ග්‍රහණයට හසුවනතුරු නොසැලකිල්ලෙන් බලා සිටින අය බවට පත් වෙති. තවත් විටෙක මත් උවදුරට සල්ලාල නොසන්ඩාල තත්ත්වයට නතුවූ දූ දරුවෝ නිසා තම දේපල නිකරුණේ අන්සතු වනු දැක අසරණව හූල්ලන දෙමාපියෝද අභාග්‍යයට යන අයුරු බොහෝ විට අප දැක ඇත්තෙමු. ඒ කෙසේ සිතුවත් අපේ උරුමය අපිට අහිමි වන තෙක් බලා සිටි පාලකයෝ නොවන දූෂිතයෝ පිරිසක් අපට සිටි බව කිසිසේත්ම අමතක කළයුතු නොවේ. ඒ තත්ත්වය සිදු වූවේ. උසස් අධ්‍යාපනයට තබා මොන්ටිසෝරියටවත් නොගැළපෙන පිරිසක් අප අතර සිටි නිසා බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. 

කිසියම් උවදුරකදී සැම විටම පෙරට ආ ජාතික වීරයින් පිරිසක් පිළිබඳව අපගේ ජාතික වීර නාමාවලියේ එයි. කෙසේ හෝ අගතියෙන් අගතියට ගියත් එතැනින් රට මුදාගන්නට සමත් වූ පිරිස අපට වාසනාවකි. ඒ උතුම් කටයුත්ත ඉටු කරන්න නව ජනපති නව අගමැති සුසංයෝගය අපට විශ්වසනීය ආශීර්වාදයකි. කලක් රට රුදුරු ත්‍රස්තවාදයෙන් මුදා ගත් එසේම රට එක්සේසත් කර සංවර්ධනයේ හිනි පෙත්තටම ගෙන ගිය ඒ උදාර නායක දෙපළ පෙරටත් වඩා බලවත්ව තෙදවත්ව පොදු ජනතාවගේ බහුතර ඉල්ලීම මත පත්වී සිටීම සතුටට කරුණකි.

කෙසේ හෝ ඒ සොහොයුරු සුසංයෝගය නොවන්නට එදා අප රට ගොරතර රුදුරු ත්‍රස්තවාදයට නතුව අපේකම අපට අහිමි වී විජාතිකයකුගේ හෝ අන්‍ය ජාතික පිරිසකගේ බලයට නතුව අසරණවීමට එදා තිබූ ඉඩකඩ අහුරාලමින් අපට දෙවියන් විසින් ලබාදුන් ඒ සොයුරු ශක්තිය අදද අප ඉදිරියේ විද්‍යාමාන වන විට අපට මොන බියක්ද, ත්‍රස්තවාදය දූෂණය. මත් උවදුර, පාතාලය, ගිනි අවිය සල්ලාලකම, කාමාතුර බව, අල්ලස, හොරකම, මැරකම, ජඩකම යන කී නොකී සැමදේට නතු වී අසරණ වී සිටි අප මෙතෙක් ජීවත් වී ඇත්තේ හරියටම කියනවා නම් මහා බියකරු අවි ගබඩාවකය. දුෂිත පරිසරයක ය.

වෙන එකක් තබා තව වසරක් දෙකක් මෙසේ ගත වූවේ නම් අපිට අපේ අහිංසක දියණියකට තබා අප වැඩිහිටි මවකටවත් පාරේ බැස යාමට තිබූ ඉඩකඩ ඇහිරී යන්නට තිබුණි. සමහර විට රට පාලනය කර ඇත්තේ පාලකයන් නොව දාමරිකයන් නිසා අපේ දුවට මවට සොහොයුරියට නිවසට පැන පිස්තෝලය පපුවට තබා පැහැරගෙන යාමේ පාපයට මුහුණදීමට ඉඩ තිබුණි. මෙවූ භයානක උවදුරු රැසකින් අපව මුදා ගැනීමට සුදුසු ජනනායකයින් දෙපළක් සහිත පිරිසුදු පාර්ලිමේන්තුවක් රටට තෝරා බේරා ගැනීමට වටිනා ඡන්දය පාවිච්චි කළ ඔබට වගකිවයුතු පුරවැසියකු ලෙස මම ස්තූතිවන්ත වෙමි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.