වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුර්වේදයේ පිබිදීමත් සමඟ පාරම්පරික වෙද හෙදකම ගැනත් සිතමු
ආයුර්වේදය අප රටට අපේකම කියාපාන මහඟු දායදයක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමයට ප්‍රතිබාහිර ක්‍රමයක් ලෙස ආයුර්වේද වෛද්‍ය කර්මය නිසා අප රටට සංක්‍රමණය වූ ගෝලීය වසංගත රැසකින් අත් මිදීමට අපට හැකි විය. ඒ අතර කොවිඩ් 19 වසංගගතය හොඳම නිදර්ශනය වෙයි. ලෝක බලවතුන් අපහසුතාවයට අනතුරට ගොදුරු වෙද්දී ඒ බලවතුන් ඉදිරියේ කොන්ද කෙළින් තබා වැජඹෙන අදීන ජාතියක් වන ශ්‍රී ලාංකික ජනතාවට තම අභිමානය ලොවට හඬඟා කීමට හෙළ වෙදකම නැතිනම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා ප්‍රබල ශක්තියක් විය. ඒ නිසාම ඒ අභිමානය සමඟ අපට අපේකම රැකුණාය කියන ආඩම්බරය මෙම පණිවුඩයත් සමඟ අපට දැනෙයි.
ඒ නම් මෙතෙක් නොවී තිබූ පසුගියදා කැබිනට් අනුමැතිය ලද ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය රජයේ පූර්ණ අනුග්‍රහය ලබන අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව කියන පණිවුඩයයි. මෙය වසර ගණනාවකට එපිට සිට වියයුතු එකක්ව තිබුණත් ප්‍රමාධ වී හෝ සිදුවී තිබීම ඉදිරි අනාගතයේ මෙම මාහැඟි ශාස්ත්‍රය ඉගෙන ගන්නා දරු පරපුරකට ඉතා වාසනාවන්ත අවස්ථාවක්ද වනු ඇත. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල මගින් වසරක් පාසා සිසු සිසුවියන් සිය දහස් ගණනින් සමාජයට වෛද්‍යවරුන් වෛද්‍යවරියන් දායාද කළ ද රජයේ පූර්ණ අනුග්‍රහය හා අංග සම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත්වී නොතිබූ නිසා එය කිසියම් සීමාවකට නතුවී තිබුණද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලොවටම ගෙන යාමට මෙය මහඟු අවස්ථාවක් ද වනු ඇත.
වික්‍රමාරච්චි ආයුර්වේද වෙද පියස ආරම්භක සමයේ ගරු අග්‍රාමාත්‍ය දේශමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ඇගයීමට හා ප්‍රසංශාවට ලක්වී තිබුණද එතැන් සිට අද දක්වා කොතෙක් රජයයන්, ජනනායකයන් බිහි වවුවද කිසිඳු සැලකිල්ලකට නොගත් ඒ මාහැඟි වෙද පියස වර්තමාන අතිගරු ජනපතිතුමන් හා ගරු අගමැතිතුමන් ප්‍රමුඛ වර්තමාන රජය විසින් එහි සේවය හා වටිනාකම අගයනුවස් ගෙන ඇති ඒ උතුම් පියවර ශ්‍රී ලාංකිකයන් වන අප සියලු පුරවැසියන්ගේ පැසසුමට ලක් විය යුතුව තිබේ. මෙතෙක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය මැති ඇමැතිවරුන් කොතෙක් පත් වී සිටියද ඒ අය බටහිර වෛද්‍ය ක්‍රමයටම ආවැඩුවා මිස දේශීය වෛද්‍ය විද්‍යාවට කළ දෙයක් නොමැති තරම් විය. බොහෝ විට දැනුම පමණක් නොව දේශීය වෙද ඉසිවරුන්ගේ දූ පුතුන් සිය පාරම්පරිකව ගෙන ආ දැනුම් සම්භාරය සොරා ගැනීමට පවා උත්සුක වූහ. සමහර විට අමාත්‍යාංශයේ එදා සිටි සමහරු නිලධාරීන් තම වෛද්‍ය නාමය ලියාපදිංචි කරදෙනවා යයි කියා අදාළ රහස් වට්ටෝරු පවා තමා සතුකරගෙන ඒවා තුළින් තමාගේ පෞද්ගලික උවමනා එපාකම් ලෙස භාවිතා කරමින් අහිංසක පාරම්පරික වෛද්‍යවරුන් වෛද්‍ය වරියන් අතරමං කළ අවස්ථාද අපට අසන්නට හැකිවිය. ඒ නිසාම මේ බුද්ධිමය දේපළ සොරාගන්නට මාන බැලූ ඇතැමුන්ගෙන් ගැලවී සිටීමට තම මාහැඟි දැනුම බිලි නොදී එය රහසේම තබාගෙන වෛද්‍යක්‍රම භාවිතා කිරීමට සමහරු පෙළඹුණහ. මෙයින් වුණේ වටිනා ඖෂධ ප්‍රතිකාර කෙම් ක්‍රම යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යා ප්‍රතිකාර යන සෑම එකක්ම නිසි ලෙස ක්‍රියාත්මක නොවී රහසේම පොළොවට පස් වී යාමය. එහෙයින් ආයුර්වේද නව විශ්ව විද්‍යාල සංස්කෘතිය බිහිවූවායින් පසුව හෝ ක්‍රමවත්ව දේශීය පාරම්පරික වෛද්‍ය අංශයේ සුපේෂිතභාව රැකගෙන ඒ අයට නිසි ලියාපදිංචි ලබාදෙමින් සුරක්ෂිත වෛද්‍ය ක්‍රමයක් බවට දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය පත්වේවා යි යන්න අප සැමගේම බලාපොරොත්තුව විය යුතු යි.