තම යුතුකම කුමක්දැයි හඳුනා ගනිමු

මාර්තු 13, 2020

කිතුල් ගස යට හිඳ කිරි බිව්වත් ඔහු රා බොන්නකු යයි සමාජය පිළිකෙව් කරනු ඇතැයි සමාජ සම්මත කියමනක් වෙයි. සැබවින් වැරදි නොකරන එහෙත් වැරදි කරනවුන් ඇසුරු කරන්නන්ද සමාජයේ සැකයට භාජනය වන අය වනු ඇතැයි දැන සිටීම අප ඔබගේ පිරිසුදුතාවය පිණිසම වෙයි.කල්‍යාණ මිතුරන් ඇසුරද යහපත් වන බව බුදුදහමේද විවිධ ආදර්ශ උපදේශ සමගින් හුවා දක්වයි.කෙසේ නමුදු එක මග යන දෙදෙනෙකු දෙවිදියක කටයුතු කිරීමෙන් සමාජයට වන යහපතක් නම් නොවේ. මේ බව ඉතා දුරට නොගියත් මීට මාස දෙක තුනකට පෙර පැවති යුගය මීට කදිම නිදසුන් සපයයි. අප ඇසුරු කරන අය නොවැදගත් වූ නිසා අප මහජන නියෝජිතයින් ලෙස තෝරා පත් කළ සමහර අය විශ්වසනීයත්වය කඩකළ අය නිසා වැදගත් පිරිසක් නොවූ නිසා ,වංකවූ නිසා වංචනික හා අවිශ්වාසවන්ත වූ නිසා, කොටින්ම කියනවා නම් නූගත් පිරිසක් වූ නිසා අපට ඒ අයගෙන් කිසිදු යහපතක් බලාපොරොත්තු වීමට නොහැකි වූවා පමණක් නොව රට ,ජාතිය, ආගම සංස්කෘතිය , කාබාසිනියා වෙන්නට වූවේ ඉතා සෝචනීයවූ අවාසනාවන්ත වු අයුරිනි. කෙසේ හෝ නූගතා හැමවිටම සිතන්නේ තමාගේ බලපරාක්‍රමය පවතින කාලය තුළ පමණක් කුමක් හෝ හොරයක්, බොරුවක් කරමින් තම බඩගෝස්තරය රැක ගැනීමටය. රත්වනතුරු කකුළුවා දිය සැළියේ නටන්නාසේ වියතුන්යයි සිතා සිටින නමුත් නොවැදගතුන් විසින් කරන කියන නොමනාදේ මුළුමහත් රටට,ජාතියට , ආගමට සිදු කරන භයානක ව්‍යවසනය අති මහත්ය.

තමා ලද ජන වරමට අනුව සේවය කරනවා වෙනුවට ප්‍රකෝටි ගණන් වටිනා රජයේ දේපල රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන නිකරුණේ කල්මරමින් අනුන්ටද ව්‍යසන ගෙන එමින් තමා සමඟ සංවාදයේ යෙදෙන අන්‍යයන්ටද අවනම්බු වන අයුරින් කතා පටිගත කරමින් හුදු විනෝදය හා නීතිය අවභාවිතා කරමින් හැසිරුණු පිරිස් නිසා රටට,ජාතියට ආගමට පමණක් නොව විධායකට , ව්‍යවස්ථාදායකයට කළු පැල්ලම් එක්කළ අය මහජන නියෝජිතයින් ලෙස පත්කළ අයම වගකිව යුතු නොවන්නේද? ඒ අතරම රට – නිදහස, ජාතියේ මුරදේවතා වුන් අගතියට පත්වන ලෙස ජාත්‍යන්තරය අභිමුවේ බොරු බේගල් ගසා වැඳූ මවට අවමන් කළ මතු පරපුරක් පිළිබඳ තැකීමක් නැත්තවුන් මහජන නියෝජිතයින් ලෙස පත්කළ අයම මේ වූ අගතියට වගකිව යුත්තන් නොවේද? නොමිනිසුන් පවා මිනිසුන් කරන ආගම දහම එනම් පවිත්‍රවූ බුදු දහමට සඟ පරපුරට නිගරු කරනවුන් තම නායකයින් ලෙස පත්කර ගනිමින් තම ආගමට කළුපැල්ලම් එක්කළ වුන් එසේත් නැතිනම් තමාගේ උරුමය යයි සිතා පොදු දේපල, පොදු ධනය තනි පුද්ගල මතට පාත්‍රකරගෙන විනාශ මුඛයට රැගෙන ගිය පුද්ගලයින් තම ඉරණම්කරු ලෙස තෝරාපත් කරගත් ඔබ අපව වගකිව යුතු නොවන්නේද? මෙසේවූ පාඩුව යළි යළි මෙනෙහි කර පසුතැවෙනවා වෙනුවට අප ඉදිරියේ දී ගත යුතු වටිනා තීන්දු තීරණයක් ඔබ අප සතුව පවතී දිගින් දිගටම පැවතගෙන ආ ක්‍රමය වෙනස් කිරීමට තව නොබෝ දිනකින් අපට හැකිවෙයි.

ඒ තමා ඇසුරු කරන තමාට යහපත් යයි හැඟෙන බොරුව, වංචාව පිටුදකින බුද්ධිමත් උගත් පිරිසක් තම මහජන නියෝජිතයින් ලෙස පත්කර ගැනීමට සිතීමයි. එදා පමණක් නොව හෙටටත් මතු පරපුරටත් මෙය කදිම ආයෝජනයක් වන්නේය. පරම යුතුමක් වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.