සදාචාරාත්මක එකමුතුවක් ගොඩනගමු

නොවැම්බර් 22, 2019

මෙම විශ්වයේ මිනිසුන්ට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයකි. විශ්වයේ වෙසෙන විවිධ වූ, සතුන් අතරත් මනසින් උසස් යන අදහස ඇතිව මිනිස් යන නාමය ඔවුනට ලැබී ඇත්තේ එහෙයිනි. විවිධ වූ තිරිසන් සතුන් අතරින් මිනිසා වෙනස් වන්නේ ද ඔවුනොවුන් දිවි පෙවෙත ගත කරන ස්වභාවයද වෙනස් වන නිසා ය. වාසස්ථාන ඇඳුම්, පැළඳුම් හා කෑම බීම තෝරාගන්නා ස්වභාවයන් ඇත්තෙන්ම මානව ශිෂ්ටාචාරයේ පවතින්නේ සංවරශීලී ස්වභාවයකි. නමුත් අනාදිමත් කාලයක සිට පැවතගෙන එන මේ සීලාචාර ඇවතුම් පැවතුම් රටාව ඉතා සෝකාකූල තත්ත්වයට පත්වූයේ මෑත කාලයක සිටය. ඒ මුදල මත පදනම් වූ සමාජ ආර්ථික ආගමික දේශපාලනික, සංස්කෘතික යන අංශ තුළ සීග්‍ර වෙනසක් ද ඇති කරමිනි. ඒ නිසා අද මිනිසුන් අතර අනිසි තරගකාරීත්වයක් ඇතිවී තිබේ. ආගමික ගත්තත් එහි තරගයකි. සමාජීය ගත්තත් සංස්කෘතිකමය පැත්ත ගත්තත් ආර්ථිකමය වටිනාකම් සොයා අඳුරේ අතපතගාන බොහෝ පිරිසක් අපට හමුවෙයි. එදා පන්සලට යාමට ගෙවත්තෙන් කඩාගත් මල්ටික ගෙදර සිඳවාගත් පොල්තෙල් ටික ගෙදරම සකසාගත් පහන් තිර ටික වෙනුවට අද වෙළෙඳසැලින්ම මුදල් දී රැගෙන පූජා භාණ්ඩ බුදු පුදට රැගෙන යද්දී සිතේ ඇතිවන බුද්ධාලම්භන පී‍්‍රතිය සීමාවී තිබේ. එහි අඩුවක් වී තිබේ. සංස්කෘතිකමය ගත්තත් අපේ සංස්කෘතික හර පද්ධතීන්වලට අකුණු හෙණ ගෙඩි පාත් වූවාසේ ය. බටහිර පුහු අලංකරණයට හුරුවූ පිරිස සිය වාසස්ථානය ඇඳුම් පැළඳුම් කෑම බීම දේශීයත්වයෙන් තොරව තෝරාගෙන තිබේ.

ඒ නිසාම අපට නොගැළපෙන අඩ නිරුවත අප හුවා දක්වමින් ප්‍රදර්ශනය කරමින් සිංහලකම තුරන්කරගෙන තිබීම නහුරු නුපුරුදු ආහාර රටා තුළින් විවිධ වූ බෝ නොවන බෝවන යන දෙඅංශයේම ලෙඩ රෝග ඇඟට අරගෙන තිබේ සිතුම් පැතුම් අතර ආටෝප සහගත වදන් සිතුවිලි සිතට එක්කරගෙන තිබේ. මේ නිසාම අප අප අතර තිබෙන මානසික සංහිඳියාව

අපතුළින් ඉවත් කරගෙන තිබේ. මීටත් වඩා භයානකම වූ දෙය දේශපාලනය නිසා අද අසල්වැසියන්, රටවැසියන්, ලෝ වැසියන් පමණක් නොව සිය සොයුරු සොයුරියන් මව්පියන් දූ දරුවන් අතරේ පවා අසමගිකම් මතුකරගෙන තිබේ. ඒ සියල්ල පටු බලාපොරොත්තු පටු ආර්ථික වාසි බල කාමය බල ලෝභය නිසා තමන්ගේකම බිලිදී තිබේ.

බොහෝ නිවෙස්වල එකම පවුලේ සොයුරු සොයුරියන් දෙකට තුනට බෙදී විවිධ දේශපාලඥයන්ගේ අතකොලු බවට පත් වී තිබේ. චන්දන ලැබ බලයට පත්වන්නන් හා පරාජයට පත්වන්නන් අවසානයේ එකට එකතුවී සාද පවත්වමින් ජයපැන් බොද්දී එක පවුලේ එක ග්‍රාමයේ අසල්වැසි ඥාති පාර්ශවයන් මිනී මරාගන්නා තැනට පත් වී තිබීම කණගාටුවට කරුණකි. එහෙයින් තේරුම් ගතයුතු එකමදේ නම් දේශපාලනයට නැතිනම් වෙනත් දෙයකට නොසැලී තබාගතයුතු එකම දේ නම් මනුස්සකම සදාචාරය, සමානාත්මතාව, එකමුතු බව හා අපේකම යන සිතිවිලි සමුදාය පමණක් බව සිතට ගැනීමයි. ඒ අනුව අප ඉදිරියටවත් සීලාචාර සදාචාරාත්මක එකුමුතුවකට එකතුවෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.