ඉදිරි ගමනට දිරියක්

නොවැම්බර් 15, 2019

ඡ්‍යොතිෂය ආයුර්වේද ගුප්ත විද්‍යා, හස්ත රේඛා, ශාන්තිකර්ම යන අංශවලට අද ඇත්තේ කුඩම්මාගේ සැළකිලිය. එහෙත් කොයිකාගෙන් අඩුපාඩු වුවත් ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිටින විද්වත් ශිල්පි ශිල්පිනියන්ගේම උත්සාහය නිසා එදා මෙදාතුර ක්ෂේත්‍රයේ ඉහළම තැන තබා කතා කිරීමට මෙම විෂයය වාසනාවන්ත වී තිබේ. ඒ නිසාම මෙම මාහැඟි විෂය ධාරාව තව චිරාත් කාලයක් නොනැසී තිබේවි යන්න අපේ හැඟීමයි. ඒ කොයි හැටි වෙතත් අප අපේ තරමින් මේ සඳහා ඇප කැප වීමට වග බලා ගනිමු. ඒ නිසාම සුබසෙත පුවත්පතට වසර 50 සපිරුණු මේ මොහොතේ ඒ නිමිත්තෙන් දිවයිනේ විසිරී පැතිරී සිටින ක්ෂේත්‍රයේ ප්‍රවීණතා ඇති එහෙත් සමාජයේ මෙතෙක් කතා නොවුණු පිරිසකට ගෞරව සම්මාන ප්‍රදානය කිරීමට අප අදහස් කළෙමු. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි සම්මානලාභීන් තෝරාගෙන ඒ යුතුකම සිදුකරන්නට අපට හැකි විය. 2019.10.21 දින සවස 2.00 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉතා අත්‍යාලංකාර චාම් උත්සවයක් සිදුකොට සම්මාන ලාභීන්ට ඉහළම උපහාරය පිදීමට හැකිවිය. ඉතා චාම් හා විෂයටම අදාළව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුදුසු පසුබිමක් තනාගෙන අපේම සංස්කෘතිය විදහා දැක්වෙන පරිදි වේදිකාවක් මවන්නට අපි උත්සාහ ගතිමු. ඒ අනුව දේශීය අමුද්‍රව්‍ය එනම් ගොක් සැරසිලි, කෙසෙල් පතුරු ආදිය උපයෝගි කර ගනිමින් දේශීය නැටුම් කලාවට උචිත දෙවොල් මඩුවක් වැනි බැතිබර පසුතලයක් මවා එහි උත්සවය සිදු කිරීමට හැකිවීම තුළ බොහෝ දෙනාගේ අමන්දානන්දය හා පැසසුමට ලක්වීමට හේතු විය.

ඒ අතරතුර සුබසෙත පුවත්පතේ හිටපු කර්තෘවරුන් කර්තෘවරියක් ඇගයූ අතර දිවයිනේ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් පිරිසක් මෙන්ම සුබසෙත සිදුකරන ඡ්‍යොතිෂ වැඩමුළුව සඳහා සහාය වන විද්වතුන් ඇතුළු එකසිය හැටපස් දෙනෙකු පමණ ඇගයීම අප විසින් සිදු කළෙමු.

එතරම් සුවිශාල පිරිසක් එකතැනකට කැඳවා සම්මාන පිරිනැමීම පහසු කටයුත්තක් නොවූවත් අප කර්තෘ මණ්ඩලයේ සීමිත පිරිස තවත් අසල්වාසී සහෝදර පුවත්පත් කීපයක හිතවත් පිරිසක්ද යොදාගෙන සිදුකළ මෙම භාරධූර කටයුත්ත පිළිබඳ බොහෝ දෙනා විමතියට පත්වීමට තරම් හේතුවිය. කිසිම පටැලවීමකින් තොරව කිසිදු කල් මැරීමකින් තොරව ඊටම සුදුසු ප්‍රාසාංගිකමය ස්වරූපයෙන් සිදුකළ උත්සවය කාතුළත් ඇති කළේ වින්දනාත්මක තත්ත්වයකි. මේ අතර දිවයිනේ ප්‍රවීන විද්වතෙකු මෙන්ම සම්මානනීය මහාචාර්ය වරයකු වන සුමනපාල ගල්මංගොඩ ශූරීන්ගේ හරවත් දේශනය පැමිණ සිටි විද්වතුන්ටම දෙන ලද ආදර්ශයක් කොට සැලකිනි. එසේම අප උතුම් ලෙස සලකන අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් විසින් මුලසුන හොබවමින් සියලු සම්මානලාභීන්ට සියතින්ම සම්මාන පිරිනැමීමට කාරුණික වීම ඉතා වැදගත් වූ අතර එය සම්මානලාභීන්ගේ වාසනාව වූ බව ලැබුණු ප්‍රතිචාර අනුව අපට දැනගන්නට ලැබුණි. ඒ නිසාම මෙය අප සිදුකරන ඉදිරි කටයුතු කෙරේද විශාල අස්වැසිල්ලක් මෙන්ම ගමනට අභිමානවත් ශක්තියක් වූ බවද කියන්නට කැමතිය. එහෙයින් මේ කටයුත්තෙහිලා දිරිය දුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමෙන අතර වසරින් වසර මෙය ඉදිරියටත් කරගෙනයාමට අප අදහස් කර සිටිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.