අත් බෙහෙත්

අගෝස්තු 19, 2022

යමෙකුට ඇතිවන සරල ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට පළමුව පරිසරයේ ඇති ඔසු පැළ භාවිතා කර ගෙදරදී සාදා ගන්නා ඖෂධ අත් බෙහෙත් නම් වේ. අත් බෙහෙතකට එක ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය දෙක තුනක් භාවිතා වේ. සාදා ගැනීම පහසු හා සරල වේ. කුඩා අසනීප තත්ත්වයකදී මුදල් වියදම් කර රෝහල් කරා යෑමෙන් කාලය මුදල ශ්‍රමය අපතේ යන අතර සුළු රෝගාබාධ සඳහා ගෙවත්තෙන් ලබාගත් පැළෑටිවලින් ප්‍රතිකාර කිරීමට අප පුරුදු වී සිටිමු.

වකුගඩු ආබාධ ඇති නොවීමට

රණවරා මල් තැම්බූ වතුර බොන්න. රණවරා කොළ කැඳ උදේට පානය කරන්න. නීරමුල්ලිය, කටු අනෝද හැකි සැමවිටම ආහාරයට ගන්න.

දහඩිය දුගඳට

බෙලි කොළ ඇල්වතුරෙන් අඹරා ගා නාන්න. බෙලි කොළ තම්බා ඇඟ සෝදන්න. කොල්ලු තැම්බූ වතුර රාත්‍රියට බොන්න.

දියවැඩියාවට

රණවරා කොළ, හීං බෝවිටියා, කෝවක්කා කොළ, මොණරකුඩුම්බිය ආදී වර්ගයකින් කොළ කැඳ භාවිතය. කොතළ හිඹුටු, මාදං පොතු තම්බා පානය, රණවරා පංචාංගය තම්බා බීම. මස් බැද්ද කොළ සලාදයක් ලෙස වරකා කොස් නැටි සහ කෝවක්කා කෂාය කර බීම.

සෙංගමාල රෝගයට විශේෂ කැඳ

ගස්, කරල් හැබ, හීන් බෝවිටියා කොළ ,රසකිඳ කොළ, මොණර කුඩුම්බිය, මුස්සැන්ද, සැවැන්දරා, බක්මී කොටා මිරිකා ගත් ඉස්ම හීනටි හාල් හෝ කැකුළු හාල් ලිප තබා තම්බාගෙන එයට දමා කැඳ පිස කිතුල් හකුරු සමඟ බොන්න.

ඇදුමට අත් බෙහෙත්

වතුර නටවා ගත් හුමාලය ආශ්වාස කිරීමට සලස්වන්න. එයින් හුස්ම ගැනීම පහසු වේ. ලුණු දියට ලුණු දියකර පානයට දෙන්න. මෙයින් වමනය ඇතිවී සෙම පිටවීමෙන් රෝගියාට පහසුවක් ඇති වේ. වියළි අත්තන කොළ දුම් අල්්ලන්න. කුප්පමේනියා කොළ රතුලූණු සමව ගෙන කොටා උණු වතුරෙන් මිරිකා හෝ වණ්ඩුවේ තම්බා මිරිකා බාගයක් මී පැණි යොදා උදෑසන පානයට දෙන්න. කුප්පමේණිය කොළ යුෂට සහිඳ ලුණු දමා පානයට දීම සුදුසු වේ.

අළුහම්

පේර කොළ, ඇල් දියෙන් අඹරා නෑමට පෙර ගාන්න. බෙලි කොළ ගෙන්දගම් අඹරා නෑමට පෙර ගාන්න.

සෙම්ප්‍රතිශ්‍යාව

උණු ජලය පානය, දුම් ඇල්ලීම, හා මුහුණ සේදීම. ඉඟුරු කොත්තමල්ලි, පාවට්ටා මුල් හෝ මල් දමා තම්බා බොන්න. (කැස්ස ඇතිනම්) ඉඟුරු කොත්තමල්ලි, තිප්පිලි දමා තම්බා බොන්න.

ඇඟේ වේදනාව ඇති විට

ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, වෙනිවැල් ගැට දමා තම්බා බොන්න.

පීනසට

ගොටුකොළ, රතුලූණු, පිටවක්කා සහමුලින් ගෙන කොටා ගත් ඉස්මට තිප්පිලි කුඩු දමා බොන්න.

කිවිසුම් යාමට

කහ කුඩු, වියළි ඉඟරු කුඩු සමව ගෙන මිශ්‍ර කර තේ හැඳි භාගයක් මී පැණියෙන් අනා දිනකට වරක් බොන්න.

වියළි කැස්සට

වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි තම්බා බොන්න.

සෙම සහිත කැස්සට

පාවට්ටා පංචාංගය අමු ඉඟුරු සමඟ කොටා වණ්ඩුවේ තම්බා ඉස්ම කෝප්ප භාගයක් මී පැණි දමා බොන්න.

මුත්‍රා අඩස්සියට

වදමලක් උතුරන වතුරට දමා පැය බාගයකට පසුව සීනි මී පැණි දෙහි දමා බීම.

කුප්පමේනිය ගසක් ඇල්දියෙන් අඹරා යටිබඩට පැලැස්තරයක් දැමීම.

මුත්‍රා ගල්

අක්කපාන කොළ කොටාගත් යුෂ පත බාගයට මී පැණි දමා හිස්බඩ බීම.

අක්කපාන කොළ ඇල්දියෙන් අඹරා පැලැස්තර දැමීම.

මුත්‍රා අඩුවෙන් පිටවීම

පොල් පලා, නීරමුල්ලිය, ගොකටු, තුත්තිරි මුල්, බටු මුල්, උණ මුල්, අක්කපාන මින් එක් වර්ගයක් තම්බා වතුර බොන්න.

කුෂ්ඨ සඳහා

ගොටුකොළ අඹරා තලතෙලින් මලවා බඳින්න. කරවිල කොළ දෙහි ඇඹුලින් අඹරා ගාන්න. ගස්ලබු තම්බා අඹරා බඳින්න.

නියමල පැසවීමට

අමු ඉඟුරු කෑල්ලක්, රතුලූණු ගෙඩියක්, සීනි සමඟ අඹරා නියට තබා බඳින්න.

ඉන්නන්ට

රතුලූණු පොත්තක් කහ ලුණු තවරා ඉන්නා මතුපිට ගාන්න. දියලුණු සමඟ ලබු කරටි අඹරා ගාන්න. සුදු ලූණු යුෂ ගාන්න. බුරුල්ල ගෙඩි යුෂ ගාන්න.

(සමේ නොගෑවීමට වග බලාගත යුතුය)

හිස්සොරිවලට

වෙරළු කොළ කොටා යුෂ ගා නාන්න.

දෙහි ගැට හා උළුහාල් තම්බා හිසේ ගා නාන්න.

අමු නෙල්ලි තම්බා පොඩිකර හිසේ ගා නාන්න.

බරවා රෝගයට

මිරිස් දලු මැල්ලුම කන්න.

නින්ද නොයාමට

කළුකුම්මේරිය කොළ පලාවක් ලෙස ආහාරයට ගැනීම.

මුඛයේ ඇතිවන උෂ්ණ බිබිළි හා තුවාලවලට

සමන්පිච්ච කොළ මුඛයේ දමා සපා ඉස්ම තුවාලවල ගෑවීමට සලස්වන්න.

ගොටුකොළ සහ කතුරුමුරුංගා ව්‍යාංජනය සකසා ආහාරයට ගැනීම.

වැල් පෙනෙල කැඳ බීමට දෙන්න.

ගොටුකොළ කැඳ බීමට දෙන්න.

කතුරුමුරුංගා ව්‍යාංජනය එළඟිතෙලෙන් සකසා ගැනීම.

කළුකුම්වේරිය කොළ කටේ දමා සැපීමෙන් එකෙනෙහිම වේදනාව නැතිවේ.

වකුගඩු ආබාධ ඇති නොවීමට

රණවරා මල් තම්බා නිතර බොන්න. රණවරා කොළ කැඳ උදේට පානය කරන්න. රාබු, නීරමුල්ලිය, කටු අනෝද හැකි සැමවිටම ආහාරයට ගන්න.

ඉරුවාරදයට

සුදුලූණු, සහිඳ ලුණු, තල ඇට මී පැණියෙන් අඹරා නළලේ ගාන්න. අඹ, සුදුහඳුන්, අමු ඉඟුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැලැස්තරයක් සාදා නළලට එළන්න. සියඹලා කොළ, උඳුපියළිය කොළ රතුලූනු කොටා පොට්ටනි කර වණ්ඩුවේ තම්බා නළල තවා (හොඳින් තවන්න) නිශාදි තෛලය හිස ගල්වන්න.

වණවලින් ලේ යනවිටදී

කරල් හැබෝ පත්, පින්න පත් යන මේවා ඇල් වතුරෙන් අඹරා බොන්න. අක්කපාන කොළ කොටා ලේ යන තැනට තබන්න.

උපදෙස් වැල්ලම්පිටිය කැඩුම් බිඳුම් බෙහෙත් ශාලාවේ ආයුර්වේද වෛද්‍ය

ඩඩ්ලි චන්ද්‍රසේකර

සටහන ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.