පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර

සැප්තැම්බර් 20, 2024

මහනුවර පාතහේවාහැට ඓතිහාසික පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කප සිටුවීම පසු ගිය මස 31 වැනිදින අලුයම 05.30 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි. එලෙස කප් සිටුවීමෙන් අනතුරුව එතැන් සිට මෙම 03 දින දක්වා දේවාලයේ අභ්‍යන්තර පෙරහර පවත්වූ බව ද කුඹල් පෙරහැර මංගල්‍යය 04 දින සිට 08 දින දක්වාද 09 දින සිට 13 දින දක්වා රන්දෝලි පෙරහර පවත්වා 14 වැනි දහවල් පෙරහරින් පස්ගම ශ්‍රී මහා නාථ දේවාලය පෙරහර මංගල්‍යය නිමා කරන බව පස්ගම ශ්‍රී මහා නාථ දේවාලයේ සහ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ මින්ද බණ්ඩාර උඩුරාවණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම දෙවොල ඉදිකිරීම සඳහා ගම්පොළ රාජ්‍ය විචාල තුන්වැනි වික්‍රමබාහු රජු අනුග්‍රහය දැක්වූ බවත් කීර්ති ශ්‍රී රාජසිංහ, සෙනරත් යන රජවරුන්ද එහි දියුණුවට අනුබල දුන් බවද පැවසේ . නාථ දෙවියන් පළමුව කෑගල්ල දොරවක ග්‍රාමයට වැඩවීමත් සමඟම පිටියේ දෙවිඳුන්ගෙන් සිදුවූ කරදර නිසා තැනින් තැනට වැඩම කොට අවසානයේ පස්ගම ස්ථීර ස්ථානය ලෙස තෝරාගෙන ඇත. නාථ දෙවියන් පස්ගමට වැඩමවන විට පැමිණි පුද්ගලයා සමග එක්ව ගම්ප්‍රධානින් කැඳවා තමා කවුරුන්දැයි යන්න ඔවුන්ට හඳුන්වා දී.එම ස්ථානයේ තුන්මහල් ප්‍රාසාදයක් කරන මෙන් ඉල්ලීමක් කර තිබේ.

ගම්ප්‍රධානීන් රජතුමාට මේ බව දන්වා තුන්මහල් ප්‍රාසාදයක් තනවන ලදී. ඒ අතර නැවතත් පිටියේ දෙවියන් පස්ගමටද පැමිණ නාථ දෙවියන්ට කරදර කරන්නට විය. එවිට නාථ දෙවියන් සත්‍යක්‍රියාවක් කොට පිටියේ දෙවියන් ගලක් බවට පත්කළ බව සඳහන් වන අතර, එම සංකේතය අද ද එම ස්ථානයේ දක්නට ලැබේ. නාථ දෙවියන්ගේ අනුහසින්, ගොවිතැන් බත සරුවන බවත් පෙරහර මංගල්‍යය පැවැත්වීමෙන් මහත් ආධ්‍යාත්මික සුවයක් අත්වන බවත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විශ්වාසයයි.

- මධ්‍යම පළාත් සමූහ

නිහාල් ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.