ප්‍රතිශක්තිය වර්ධනය කරන ප්‍රබල ඖෂධයක් වන දිවුල්

නොවැම්බර් 26, 2021

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ දිවුල් විශේෂයෙන් හෘද රෝගවලට හා අක්මා රෝගවලට බොහෝ ගුණදායක ඖෂධයකි. ආහාර රුචිකත්වය, ධාතු බල ශක්තිය වැඩි කරන පලතුරක් වන දිවුල් කොලෙස්ටරෝල් පාලනය කරන අතර, අතීසාර, ග්‍රහණි ,ශ්වාස අර්ශස්, දියවැඩියා, ශරීර විෂ ආදී රෝගාබාධයන් සඳහා ද ගුණ ලබා දෙයි.

ලේ පිරිසුදු කිරීමේ ගුණයකින් ද යුත් දිවුල් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ගෙඩි, මද, කොළ, පොතු, මල් ආදී සෑම කොටසක්ම යොදා ගනිති. බොහෝවිට විෂ නැසීම සඳහා දිවුල් කොළ කැඳ පාවිච්චිය බෙහෙවින් සිදුවේ. ඉක්කාවට හා උගුරේ හට ගැනෙන ආබාධ නසා විදුරුමස් දියවීම සඳහා දෙනු ලබන ඖෂධයන්ට ද දිවුල් මද උපයෝගී කර ගනිති. ඉදුණු පැණි රස දිවුල් පලතුර මධුර අම්ල ගතියෙන් යුක්තවන අතර, විටමින් ඛනිජ ලවණ බහුලව අන්තර්ගතව ඇත. හෘද රෝගීන්ටත්, අක්මා රෝගීන්ටත්, වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ටත් ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ඉදුණු දිවුල් මද ලබාදේ.

රුටේසි ශාක කුලයට අයත් දිවුල් ප්‍රණීත රසයෙන් යුත් පලතුරකි. ආහාර රුචිකත්වය හා ධාතු බල ශක්තිය වර්ධනය කරන දිවුල් විෂ නාශක පලතුරකි. දිවුල් ගැට වාජීකරණ ගුණයෙන් යුක්ත වේ. දිවුල් ඇට එළකිරෙන් අඹරා මී පැණි මිශ්‍ර කොට අනා උදේ, සවස පානය කිරීමෙන් කාම ශක්තිය වර්ධනය වන අතර, ධාතු බලශක්තිය ද වර්ධනය වන බව සඳහන්ව ඇත. අතීසාරයට දිවුල්ලාටු සංයෝග කර ගනිමින් ප්‍රතිකාර කරති. ලොකු දිවුල් ගෙඩියක් ගෙන බිඳ මදය ඉවත්කොට ඒ තුළට බෙහෙත් දමා දිවුල් කටුව වසා එම ගෙඩිය මැටියෙන් වසා උණු අළුවෙන් තම්බාගෙන එම බෙහෙත් ගුලි කර මාන්දම් ග්‍රහණි අතීසාරයට ලේ යනවාට රුජාවට තණ කිරෙන් ද මෝරුවෙන් ද කස පැන් ලෙලි යුෂයෙන් ද අත්තික්කා පොතු, අල, කෙසෙල් අල යුෂෙන් දීමෙන් ද එම රෝග සුව වේ. කළුදුරු , තිප්පිලි, අබිං, වරකා පොතු, අට්ටික්කා පොතු, සූදුරු ,කරාබු, දිවුල් ලාටු, රත්මල් දියකිරිල්ල පොතු ,අසමොදගන් ,සාදික්කා , දුම්මෑල්ල, රත්මල් පොතු, මයිල පොතු මේවා එක පමණට ගෙන අඹරා දිවුල් ගෙඩිය මැදට ලා උණු අළුවෙන් තම්බා ගනී.

තුන්දොසින් බඩයනවාට දිවුල් පොතු ඉස්ම සමඟ දෙනු ලබන කෂායක්ි දිවුල් පොතු ඉස්ම දුරු දෙක , තිපල් කලාඳුරු අල ,අත්තික්කා පොතු, මා එරමිනියා පොතු , මෝදගම්, කයිප්පු, සැවැන්න ,සස්සඳ මුල්, අළු කෙසෙල් මුව,තිප්පිලි, වැල්මී, ඉරමුසු මුල්, තොටිල පොතු, දිවුල් පොතු මෙකී ඖෂධවල ඉස්මගෙන හතර එකට සිඳ දීමෙන් තුන් දොසින් බඩයෑම නවතී. හොඳට ඉදුණු දිවුල් මද ටිකක් භාජනයකට දමා වතුර දමා මිරිකා දිවුල් ඇට ඉවත් කර පැණි හෝ සීනි ටිකක් කළවම් කොට පොල්කිරි ටිකක් ද මිශ්‍ර කර සාදාගන්න. එය රසවත් පානයක් වන අතර, ශරීර සෞඛ්‍යයට ද බෙහෙවින් ගුණදායක වේ. දිවුල් කොළ වේදනා නාශකයක් මෙන්ම ඉදිමුම් නාශකයක් ද වේ. දිවුල් කොළ තම්බා මද රස්නයෙන් කකුල් දෙක සේදීමෙන් මනා සුවයක් ගෙන දේ. දිවුල් මදයේ ස්ට්‍රික් ඇසිඩ් වැඩි ප්‍රමාණයක් තිබෙන අතර, පොටෑස් චූර්ණ හා ලෝහ ද අඩංගුව පවතී.

දිවුල් කොළවල අඩංගු වී ඇත්තේ සුගන්ද සුවඳ හමන වාෂ්පශීලි ගතියකි. ඉදුණු පැණි රසයෙන් යුත් දිවුල් අම්ලගතියෙන් යුක්තවන අතර, ලවන හා අම්ල බහුලව පවතී. අමු දිවුල් මද කෑමෙන් වාත, පිත වැඩිවන අතර මල බද්ධයට ද හේතු වේ. ඉදුණු දිවුල් මදවලට රුධිරය පිරිසුදු කිරීමේ බලයක් පවතී. විෂ නාශක ගුණයෙන් ප්‍රබල තත්ත්වයක් පවතින දිවුල් පංචාංගයම යොදා කැඳ සාදා දීමෙන් මීයන් සපා කෑ විට මී විෂ නැසීමට ලබාදේ. බොහෝවිට ආයුර්වේද ප්‍රතිකාරවලදී දිවුල් ගෙඩි මද කෂාය හා චූර්ණ හා මද ආලේප වශයෙන් ද යොදාගනු ලැබේ. දිවුල් විවිධ භාෂාවලින් හඳුන්වා ඇත. එහි සිංහල නාමය දිවුල් නම් වේ. සංස්කෘත බසින් කපිත්ථ, දධිථල, දධිනාම, සුරභිච්ජද, කඨිනඵල ආදී නම් වන අතර, හින්දි බසින් කෛථ සහ කවර යනුවෙන් ද දෙමළ බසින් විලක පිත්තම් හා විලට්ටි ද වේ.

ඉංගී‍්‍රසි බසින් හඳුන්වා ඇත්තේ එධධඤ ඒනනතඥ - ඡ්තඥනඩචදබ ඒනනතඥ .

දිවුල් මද ග්‍රෑම් සියයක අන්තර්ගත පෝෂණ ගුණය ශක්තිය කැලරි 134, ප්‍රෝටීන් ග්‍රෑම් 7.1, මේදය ග්‍රෑම් 3.7, කාබෝහයිඩ්‍රේට් 18.1, කැල්සියම් මිලිග්‍රෑම් 130, පොස්පරස් මිලිග්‍රෑම් 110, යකඩ මිලිග්‍රෑම් 0.6 කැරොටින් මයික්‍රොග්‍රෑම් 61, තයමින් මයික්‍රොග්‍රෑම් 40, රයිබෝප්ලේවින් මයික්‍රොග්‍රෑම් 170, විටමින් සී. මිලිග්‍රෑම් 3 තෙතමනය ග්‍රෑම් 64.2 යි. ශරීරයේ හටගන්නා කබරවලට දිවුල් කොළ යුෂින් හීනටි හාලෙන් කැඳ පිස සීනි හා තලතෙල් මිශ්‍රකොට උදය හත්වරුවක් පානය කිරීමෙන් කබර සුව වේ. එමෙන්ම යක්වනස්ස කොළ, අහු කොළ, අහු ගෙඩි, අත්කහ අල, අත්කහ කොළ මේවා සියල්ල එක පමණට ගෙන කොටා එළමුත්‍ර දමා සියල්ලම එකට දමා මලවා බඳිනු. එසේ සත්දිනක් කිරීමෙන් කබර නැති වේ.

ජිවුල් ගස පිලිල එළකිරෙන් අඹ රා

එකල්දී බොන්ට එළකිරියෙම තව රා

ලකල් ලෙස ඉස්ම නස්නය කළ එම රා

සියල් දසට විද මී විස කෙරෙයි දු රා

ග්‍රහනි මාන්දම තෛලය

නිකද කුඹරු කෑර කොළත් කයිලද මුල් අළු රබ අල

දියද තැඹිලි ජිවුල් කුරුඳු පොතු සහ රතු ලූහුනුද අල

පොතුද එදන් මෙසියලු යුෂ නැලිය බැගින් ලවමින් සැ ල

නැලි ද දෙකක් රුපු තෙල් සහ කල්කෙට මිරිසුත් වගපු ල

දෙදුරුත් තුන්වග යවානි ඉඟුරුද වද වැල් මී යෙ න

මෙහැම සිවු කලන් බැගින් පතකුත් ගෙන හෙල ලුහු නෙ න

ගලටත් ලා අඹරා සොඳ විලස එතෙල් තලතා ගෙ න

පැඟිරිත් පස දරින් එගිනි කොට උණු කරගෙන තුන්දි න

පදමට තෙල බා පෙරමින් දුන්ණොත් කුමරුට මනන ද

මහතට ඉදිමුම් පිපිහළු ඇස් කොරපොතු බඩ නෙරුම ද

සිට සිට උණ ගැනුම සමඟ අහරට රිසි නැතුව ගියෙ ද

දුටුවිට මැටිකන ලෙඩ සහ යාය සියලු මාන්දම් ද

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙදමැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.