වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ස්නානය හා ජල ක්‍රීඩා ගැන ආයුර්වේදයෙහි සඳහන් කරුණු
ස්නානය සහ ජල ක්‍රීඩා පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝය. සිදුහත් කුමරු සතර පෙර නිමිති දුටුවේත් ජල ක්‍රීඩාවට සහ උයන් කෙළියට යන එන අතරතුරේදීය. කෙසේ වුවත් ආයුර්වේදයේ මෙම වටිනා උපදෙස් වත්මන් ජන ජීවිතයට ඇතුළත් කර ගැනීමෙන් සුවදායක ජීවිතයක් ගත කිරීමට මඟ සාදා ගත හැකි වේ. ආයුර්වේදයේ ශතවර්ෂ ගණනාවකට පෙර සිට ස්නානය හා බැඳුණු තොරතුරු රැසක් දක්වා තිබෙන අතර අපි මේ පිළිබඳ මදක් විමසා බලමු.
වතුරට බැසීමට පෙර
ස්නානයට හෝ පිහිනීමට පෙර තම සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වීම වැදගත් විශේෂයෙන් ස්නානය හෝ පිහිනීම නොකළ යුතු අවස්ථා කිහිපයක් තිබේ.
ඒවානම්
පීනස් සහ ඇදුම රෝගීන්ට හිමිදිරියේ සහ සවස් කාලයේ පිහිනීම හෝ ස්නානය සුදුසු නොවේ. හොඳින් හිරු එළිය වැටී ඇති අවස්ථාවේ නෑම වඩාත් උචිතයි.
උණ, ප්‍රතිශ්‍යාව, හිසරදය , කැස්ස සහ හතිය , බඩේ කැක්කුම , බඩපිපුම සහ වමනය බෝවන රෝග ඇස් රුදාව සෙංගමාලය වැනි හා තැලීම් වැනි ආඝාතවලින් පෙළෙන විට ඇදුම රෝගය වැඩි අවස්ථාවේ ස්නානය හෝ පිහිනීම නොකළ යුතුයි.
පිහිනුම් ක්‍රීඩා ආශි‍්‍රත රෝග සහ ආයුර්වේද /දේශීය පිළියම්
පිහිනීම සහ ස්නානය ආශි‍්‍රතව නිතර පවතින රෝග කිහිපයකි. මෙම රෝග අවස්ථාවලට මුහුණ දීමේදී මෙරට ආයුර්වේද සහ දේශීය ප්‍රතිකර්ම ගැන අවධානය යොමු කිරීමෙන් සමහර විට ඔබට ආර්ථික වශයෙන් සහනදායි තත්ත්වයක් උදා කර ගත හැකි, උපයෝගී කර ගත හැකි පිළියම් ඔබට කළ හැකි වන හෙයිනි.
අපි මෙවැනි අවස්ථා කීපයක් ගැන විමසා බලමු
පීනස පිහිනීම නිසාම ඇති වන රෝගයක් නොවේ. එහෙත් පීනස් රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වීමට පිහිනීම හේතු විිය හැකියි. විශේෂයෙන් පිහිනුම් තටාකවලට යොදන ක්ලෝරීන් අසාත්මික වීම නිසා පීනස උත්සන්න විය හැකියි. එමගින් කිවිසුම් යාම, ඇස් රතු වීම, හිසකෙස් හැලීම වැනි දේවල් වැඩි දියුණු වේ.
හිමිදිරියේ සහ සවස් කාලයේත් සිසිල් දේශගුණයක් පවතින විටත් පිහිනීම හෝ ස්නානය පීනස් රෝගීන්ට අගුණයි. මෙවැනි රෝගීන් හොඳින් හිරුඑළිය ඇති උණුසුම් දේශගුණික තත්ත්ව යටතේ පිහිනීම සඳහා යොමු වීම නුවණට හුරුයි.
කෙසේ වුවද පිහිනීම හෝ විශේෂයෙන් කිමිදීමේදී කන්බෙරයට හානි සිදු වීම හෝ මැද කනෙහි ආසාදනයට ලක් වීමට ඉඩ ඇති අතර එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන් වෛද්‍ය සහාය පැතිය යුතුයි. මෙවැනි අවස්ථාවලදී ඔබට බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලෙහි ශල්‍ය වෛද්‍ය අංශයෙන් විශේෂඥ සහාය ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.
කෙණ්ඩා පෙරළීම
සීතල ජලයේ පිහිනීම සහ අධික වෙහෙස නිසා ඇති විය හැකි ආබාධයකි. මෙවැනි අවස්ථාවලදී ලුණු දියර බීමට දීමත්, මස්පිඩු පෙරැළුනු තැන හොඳින් පිරිමැදීමත් සාමාන්‍ය ප්‍රථමාධාර කීපයකි.
ස්ත්‍රීන් ආර්තව කාලයේදී පොදු පිහිනුම් තටාකවල පිහිනීම නොකළ යුතුයි. එය තමාගේත් අනුන්ගේත් සෞඛ්‍ය තත්ත්වයට හානි කරයි.
පිහිනීම හෝ ස්නානය කළ යුතු ආකාරය
පිහිනීම හෝ ස්නානයට පෙර කළ යුතු කාර්යයන් කිහිපයන් ආයුර්වේදයෙහි දක්වා ඇත. ඒවා පිළිවෙලින් හඳුනා ගනිමු.
ව්‍යායාම කිරීම
ව්‍යායාම කිරීමේදී තම කාය ශක්තිය නොඉක්මවා කිරීමට වග බලා ගත යුතුය. කටින් හුස්ම ගැනීම, තොල කට වියළීම, නළල, නහය, සන්ධිස්ථාන ඉකිලි යන මේවායින් දහඩිය ගැලීම යන මේවා සිදුවන විට ව්‍යායාම ප්‍රමාණවත් බව දැන ගත යුතුයි.
තෛලාභ්‍යංගය
මුළු සිරුරෙහිම තෙල් ගෑම කළ යුතුයි. අබතෙල් හෝ තලතෙල් වඩාත් සුදුසුයි. මේ සඳහා සුවඳවත් ඖෂධ යොදා සකස් කළ තෙල් වර්ගත් සුදුසුයි.
හිස, කන් හා පාදවල විශේෂයෙන් තෙල් ගැල්විය යුතුයි.
තෙල් ඇඟ ගැල්වීමෙන්
බලය, සැපය , නින්ද ශරීර වර්ණය හා සිරුරේ මොළොක් බව ඇති වේ
වාතය සහ සෙම නසයි
වෙහෙස නැති වේ
සමේ වියළි බව පහව යයි
ශරීරය පුෂ්ටිමත් වේ.
ස්නානය
විශේෂ රෝග අවස්ථාවක් නොමැතිනම් හැම විටම සිසිල් දිය නෑම කළ යුතුය. එමගින් බඩගින්න ඇතිවේ.
ඇග කැසීම වලක්වාලයි , මළ කොටස් බැහැර කරයි. උණුසුම් සහ දහඩිය ඉවත් කරයි., පිපාසය සහ ශරීරයේ දැවිල්ල අඩු කරයි. වෙහෙස කම්මැලි බව නැති කරයි, බලය ශක්තිය ඇති කරයි
විශේෂ රෝගාවස්ථාවක දී උණු දිය නෑම කළ යුතු නම් ගෙලෙන් පහළ පමණක් උණු දිය නෑම සුදුසුයි. හිසට උණුදිය නෑමෙන් ඇස් පෙනීම දුර්වල වේ.
නෑමට නුසුදුස්සෝ
උණ, අතීසාර, ඇස්ලෙඩ, වාත රෝග, බඩපිපුම, පීනස, අජීර්ණය යන රෝගවලින් පෙළෙන්නන් මෙන්ම ආහාර වැළඳු විගස ද ස්නානය නොකළ යුතුයි.
වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන
දේශීය වෛද්‍යක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක
වෛද්‍ය ස්වර්ණා චන්ද්‍රකාන්ති
සටහන
ජයන්ති කුරේ