වර්තමානයේ සුලබ වන විවිධ මුඛ රෝග

මාර්තු 12, 2021

1 කොටස

සමස්තයක් වශයෙන් ගත් කළ මුඛ රෝග සඳහා වා, පිත්, සෙම් සන්නිපාතජ අවස්ථා සැලකිල්ලට ගෙන අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතු වේ. මේ සඳහා උෂ්ණ නැති සිසිල් ආහාර ගැනීම අතිශයින්ම සුදුසු ය. ඒ සමඟම අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය වලින් කට සෝදා හැරීම (තවලධාරණය) කිරීම කළ යුතු ය. එවගේම මුඛයේ බෙහෙත් තබා ගෙන සිටීම (ගන්ඩුෂධාරණය) ද අවශ්‍ය කෙරේ.

මුඛයේ ඇතිවන තුවාල

මෙම තුවාල බොහෝ දෙනකුගේ මුඛයන් තුළ අඩු වැඩි වශයෙන් දකින්නට ලැබේ. විශේෂයෙන්ම තරුණ කාන්තාවන් අතර රෝගය බහුලව පවතී. මෙබඳු තුවාල ඇතිවීමට හේතුව නිශ්චිත වශයෙන් සොයා ගෙන නැතත් මානසික ආතතිය, නිදි වැරීම ආදි හේතුන් නිසා මුඛයේ තුවාල නැතහොත් උෂ්ණ බිබිලි ඇති කරවයි.

විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් වීම ඇතිවන කාලයට මෙම මුඛයේ තුවාල හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි බව සොයා ගෙන ඇත.

මෙම තුවාල මුඛය තුළ තොල්වල, දිවේ සහ කම්මුල ඇතුළු පැති වශයෙන් එකී ස්ථානවල කුඩා රතු ලපයක් මෙන් ඇතිවී ක්‍රමයෙන් වර්ධනය වී කුඩා තුවාලයක් හටගනී. මෙම තුවාලය රවුම් හැඩැති වන අතර මුල් අවස්ථාවේ මහත් දැවිල්ලක් හටගැනීම එහි ස්වභාවයයි.

තුන්දොස් වල ක්‍රියාකාරිත්වය අනුව සමහර අයකුට නිරන්තර පාහේ කටේ තුවාල /බිබිලි ඇතිවන අතර සාමාන්‍යයෙන් සති දෙකක් වැනි කාලයකදී ඉබේම සුවවන අවස්ථා දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවලදී මෙම තුවාල පිළිකා තත්ත්වයෙන් වෙන්ව හඳුනා ගැනීම පවා දුෂ්කර වෙයි. එබඳු අවස්ථාවලදී පිළිකාවක්දැයි නිශ්චිත වශයෙන් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුය.

දිව කට වණ වූ විට

“ගොටු දඬු කොහිල අල සමගින් රතුලූනු

තම්බා ගිතෙල් හොඳ හැටි මුසුකර දානු

පත භාගය බැගින් බීමද හසපානු

දිව කට වණ වීම සුවවේ සුවනූනූ“

 

ඊටම – සමන් පිච්ච කොළ මෝරු වතුරෙන් අඹරා එම වතුරටම දියකර කට සෝදන්න

ඊටම – කපුටු බෝ, කොටදිඹුලා මුල්, ඇත් අඩි ආදී ඖෂධවලින් කට සෝදන්න.

ඊටම – තිප්පිලි, එළ අබ, ඉඟුරු සහ මිදෙල්ල තම්බා මද රස්නය පිට කටේ තබා සිට සෝදා හරින්න.

ඊටම – ඵල අබ තම්බා ගත් වතුරට සවිඳ ලුණු දමා මුඛයේ තබා සිටීමෙන් දිව සම්බන්ධ මුඛ රෝගවලට ගුණදායකයි.

2.දත් කැක්කුමට

මද්‍යසාර පොදක් සමඟ කපුරු ස්වල්පයක් මිශ්‍රකර වේදනා දෙන දතමුල තබන්න.

ඊටම – ලුණු වතුර විනාකිරි සමඟ කලවම්කර කට සෝදන්න

ඊටම – මිංචි කොළ අඹරා වේදනාකාරි දත මුල තබන්න

ඊටම – වෙල්මිදෙල්ල පංචාංගය සහ කරාබු නැටි තම්බාගත් වතුරට යවකාර ලුණු, සහිඳ ලුණු ස්වල්පයක් දමා සවසට කිහිපවරක් කට සෝදන්න. දත් කැක්කුම නැතිවෙයි.

ඊටම – කටුකරඬු මුල්, කරඳ මුලේ පොතු, රත්හඳුන්, මූණමල් පොතු, කළන් 6 බැගින්ද, පිලමුල්. කරාබු නැටි කළන් 3 බැගින් ද, සීනක්කාරං , කයිප්පු කුඩු කර කළන් 3 බැගින්ද ගෙන වතුර කාල් අට කාලට සිඳ කට සෝදන්න.

ඊටම – සීනක්කාරං පුළුස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබා ගෙන නිතර කට සෝදන්න

ඊටම – කුඹුක් පොතු තම්බා ගත් වතුරට සහිඳලුණු මිශ්‍රකර මද රස්නය සහිතව තිබියදී මුඛය සෝදන්න.

ඊටම – කුඹුක් පොතු තම්බා ගත් වතුරට සහිඳලුණු මිශ්‍රකර මද රස්නය සහිතව තිබියදී මුඛය සෝදන්න.

ඊටම – ගෙන්දගම් කුඩු , කොහොඹ තෙලින් අනා පාන්කඩයක ගා වේලා අඟුරුවලට දමා පුනීලයෙන් දත මුලට දුම් අල්ලන්න. මෙය වරු 3 ක් කිරීමෙන් දත් කැක්කුම සම්පූර්ණයෙන් නවතී.

ඊටම – පුළුන් කැබැල්ලක පොඟවා ගත් කරාබු තෙල් ටිකක් දතෙහි තැබීමෙන් වේදනාව සුවවේ.

ඊටම – කතා නොකොට නියඟලා වැළක් අලය සමඟ උදුරා ගෙන අඹරා තලතෙලෙන් බැද විරුද්ධ අංශයේ මාපටැඟිල්ලේ නියපොත්ත උඩ තබා බඳින්න. කැක්කුම නැවතුනාට පසු ගලවා ලිහා දමන්න. (බෙහෙත ගෙන ඒමට යාමේ සිට බෙහෙත අඹරා බැඳ අවසාන වන තුරු කතා කිරීමෙන් වැළකිය යුතුය)

ඊටම – ඉඳුණු තළන බටු ගෙඩියක් පුළුස්සා ගත් අළු වසතැල්ල කොළ යුෂින් අඹරා පණුවා කන දත මුල තබා කෙළ ගසන්න.

ඊටම – කතුරුමුරුංගා කොළ මාලුව කෑම සහ දියබත් හදා ගෙන කෑමෙන් දිව කට වණ වීම සුවකර ගැනීමට පුළුවන. රෑට බත් ටිකක් භාජනයකට දමා වතුර දමා වසා තබන්න. පසුදා උදේ එම බත් ටික හොඳට පොඩිකර පොල්කිරි ටිකක් මිශ්‍රකර රතුලූනු ගෙඩි කිහිපයක් ලියා දමා උදේ හිස්බඩ දින කිහිපයක් බොන්න.

දුම්මෑල්ල, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, රත්කිහිරිය, කොහොඹ පොතු, ඇහැළ පොතු කළන් 1 මංචාඩි 10 බැගින් වතුර පත 8-1 ට සිඳ පත භාගය බැගින් සීනි, මී පැණි ද දමා උදේ සවස බොන්න.

මුඛයේ උෂ්ණ බිබිලි වලට

ගහල අලයක් ගෙන එය පුළුස්සා එහි අළු ගෙන එයට මී පැණි මිශ්‍ර කර මුඛයේ උෂ්ණ බිබිලි මත ආලේප කරන්න.

දිව හා මුඛය වටා නිතර ඇතිවන තුවාල සඳහා

සේපාලිකා පිණි දියෙන් අඹරා ගාන්න

ඊටම – කරල් හැබ මුං ඇට සමඟ අඹරා ආලේප කරන්න. කටරොළු කොළ, තලතෙල්. එළඟිතෙල්, මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.

ඊටම – තිප්පිලි, එළඅබ, ඉඟුරු, මිදෙල්ල තම්බා මද රස්නය තිබියදී කට සෝදා හරින්න.

ඊටම – අරළු, බුළු, නෙල්ලි තම්බා මී පැණි දමා කළවම් කර මුඛයේ තබා ගෙන කට සෝදන්න.

ඊටම – එළ කටරොළු කොළ යුෂ කටේ තබාගෙන සිට කට සෝදන්න

මෙම රෝගයෙන් මිදීමට සමබල ආහාර ගත යුතුයි. අලුත් එළවළු, පලතුරු, කොළ පැහැති පලා වර්ග, වියළි හාල්මැස්සන්, කටු සහිත කුඩා මාළු, ආහාරයට ගන්න. ශරීරයට සිසිල් කර ගන්න.

විටමින් බහුල ආහාරයට ගැනීම කළ යුතුයි. එවිට මුඛය හා සම්බන්ධ රෝග වලින් වැළකිය හැකියි.

බොහෝවිට මුඛය ඇසුරින් වූ තුවාල වලදී ක්ෂාර සහිත ඖෂධවලින් දිව හොඳින් මැද නෂ්‍යක් සිදු කර ක්ෂාර සහිත ඖෂධ කටේ තබා ගෙන කට සෝදා හැරීම සිදු කළ යුතුය. (ගණ්ඩුෂධාරණය)

ඊටම – ගහල අලයක් ගෙන එය පුළුස්සා එහි අළු ගෙන එයට මී පැණි මිශ්‍රකර මුඛයේ උෂ්ණ බිබිලි මත ආලේප කිරීමෙන් සුවය සලසයි.

මුඛ රෝග සඳහා කට සේදීමට /මුඛයේ තබාගෙන සිටීමට

ඊටම – වල්ලා දලු දෙහි ඇඹුලින් අඹරා තබන්න.

ඊටම – ලුණුවරණ පොත්ත තළා දත මුල තබන්න

ඊටම – කැක්කුම ඇති දත මත ගම්මාළු කිරි ස්වල්පයක් තබන්න

ඊටම – සුදුලූනු බිකක් මී පැණියෙන් අඹරා දත් කුහරයෙහි තබන්න.

ඊටම – සහිඳ ලුණූ කුඩුකර තල තෙලට දමා කකාරා කට සෝදනු

ඊටම – වියළා ගත් වම්බටු ඇට අඟුරු කබලකට දමා මුඛයට දුම් දෙන්න. මේරූ වම්බටු ගෙඩි කැබැල්ලක් තලතෙලින් බැද කුහරයෙහි තබන්න. එම තල තෙලින් කට සෝදන්න.

ඊටම – ඉඟුරු සහිඳ ලුණු පෙරුම්කායම් සමව ගෙන අඹරා කැක්කුම දෙන දත පිරිසුදු කර දත මුල තබන්න. දත් කැක්කුම වහා සුව වෙයි.

ඊටම – වැල්මී, අමු ඉඟුරු එක පමණ ගෙන පොල්කිරි දමා නස්නාරං යුෂ කපුරු මිශ්‍රකර අඹරා දත මුල තබන්න.

ඊටම – පෙතිකපුරු ස්වල්පයක් ගෙන රටදෙල් කිරියෙන් අනා දත් කුහරයට තබන්න.

3.දත් පණුවන් කෑමට

තිබ්බටු ගෙඩි තල තෙලින් මළවා කැක්කුම ඇති පැත්තේ දත් වලින් හපා දියලුණු වතුරින් කට සෝදන්න.

ඊටම – අරළු කුඩු, මී පැණි දෙක එකට අනා තඹ භාජනයක බහා දැඩිවනසේ ගින්නේ රත්කර ගුලිකර දත් මුල්වල තබනු. පණුවන් කෑම නවතී.

ඊටම – පිල මුලේ පොතු, තිත්ත තිබ්බටු ගෙඩි 05 ක්, කොහොඹ තෙල්, තලතෙල් ආදිය කුකුරුමාන් අමු ගෙඩියක් ගෙන එයට දමා පින්න කොළ තුනකින් ඔතා උණු අළුවේ තම්බා පසුව සියල්ල ගෙන එකට අඹරා තිබ්බටු පමණ ගුලි කොට දත මුල තැබීමෙන් දත් පණුවන් කෑම නවතී.

ඊටම – බේත් එඬ¼රු මුල්, එම ගෙඩි එළබටු මුල්, එම ගෙඩි, බින් තඹුරු මුල් යන මේවා සමව ගෙන කට සෝදන්න.

අකාලයේ දත් සෙලවීමට

කයිප්පු, සහිඳලුණු කළන් 3 බැගින් ගෙන කුඩුකර ගෙන තාච්චියකට තලතෙල් තුන් කාලක් දමා එයට එම කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුණු පසුව ඉන් ටිකක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න. දිනකට තුන් වරයි. දත් සවි වේ.

ඊටම – පුවක් මුල්, කයිල මුල්, කරල් හැබ මුල්, අරළු, පිලමුල් කකාරා කට සෝදන්න.

සෙලවෙන දත් සවිවීමට – යව. සියඹලා, කංසා, පිල, කනේරු යන මේවායින් කවර හෝ මුලක් ගෙන දත් මදින්න. දින කිහිපයකින් දත් සවිවේ.

ඊටම – සීනක්කාරම්, කෙළිඳ හාල්, පල්මානික්කම්, තිප්පිලි, කරාබුනැටි, සාදික්කා, වසාවාසි. අරළු, බුළු, නෙල්ලි, කුරුඳු පොතු යන මේවා සමව ගෙන කුඩුකර දත් මදින්න (පල්මානික්කම් හා සීනක්කාරම් කබලෙන් බද ගත යුතුයි) දත් සෙලවීම නවතී.

5.දත් මුල් දියවීම හා ලේ සැරව යාමට ( කට සේදීමට)

කපුරු, සීනක්කාරං, පල්මානික්කම්, ගම්මිරිස්. කබලෙන් බැද කුඩු කර තැඹිලි වතුරට දමා කට සෝදන්න.

ඊටම – ගොටු නැටි, මූණමල් පොතු සමව ගෙන තම්බා සීනක්කාරං බැද කුඩුකර ඊට යොදා පිරිසුදු තලතෙල් ටිකක් මිශ්‍රකර කට සෝදන්න.

 

මතු සම්බන්ධයි

 

ආයුර්වේද වෛද්‍ය

ආචාර්ය

ප්‍රභාත් සී.ඒ.ගමගේ

 

ඊටම – අරළු, බුළු, නෙල්ලි, සිද්ධිගුරු , යබොර, කටු කරඬු මුල්, කුකුරුමුවන් ගෙඩි, කහ, පුවක් යන මේවා සමව ගෙන තම්බා ගත් වතුරෙන් දිනකට කිහිප වරක් කට සෝදන්න. මුඛ රෝග සුව වේ.

ඊටම – පිලමුල්, මූණමල් පොතු, නික කොළ තම්බා සීනක්කාරං කුඩු දමා දිනකට දෙතුන් වරක් කට සෝදන්න. දත් මුල් දියවීම සහ ලේ සැරව යාම නවතී.

ඊටම අරළු තම්බාගත් වතුරට සීනක්කාරං කුඩු ටිකක් දමා දිනපතා කට සෝදන්න.

ඊටම – කතුරුපිල මුල් චූර්ණය දත් මැදීමට ඉතා යෝග්‍ය වේ. කතුරුපිල දඩු හා මුල් වලින් දැහැටි කූරු සාදා දත් මැදීම යෝග්‍යයි.

6.විදුරුමස් දියවීමට

පේර කොළ තම්බා සීනක්කාරම් කුඩු දමා කට සෝදන්න

මූණ මල් පොතු. පිල මුල්. ගම්මිරිස් . අරත්ත අල, කරාබු නැටි, සීන මුල්. තල් පොතු, දැවූ අගුරු සමභාග ගෙන මී පැණියෙන් අඹරා විදුරුමසේ ගාන්න. විදුරුමසෙන් ලේ යන විටත් මෙය ගුණයි

විදුරුමස් දියවීම නිසා කට සේදීමට – අරළු, බුළු, නෙල්ලි, සීනක්කාරම්, පිලමුල්, පුවක්මුල්, කලාඳුරු, සමන්පිච්ච කොළ සමව ගෙන තම්බා විටින් විට කට සෝදන්න

විදුරු මස් දියවීමෙන් වැළකීමට අවශ්‍ය ඖෂධයක් නිෂ්පාදනය කර ගැනීම

අවශ්‍ය දේවල් – සාමාන්‍ය ප්‍රමාණයේ අරළු ගෙඩි ග්‍රෑම් 200 ක් පමණ හා කරුංකා ගෙඩි ග්‍රෑම් 100 ක් පමණ

සාදාගන්නා ආකාරය –

අරළුගෙඩි හොඳින් සෝදා කබලක දමා හොඳින් බැදගන්න. මෙය ගෙඩි පිටින් හෝ තලාගෙන බැද ගත හැකිය. හොඳින් රන්වන් පැහැය වෙන තුරු බැදගත් අරළු කොටා කූඩු කර හළා ගන්න. කරුංකා ගෙඩිද කබලේ දමා අඟුරු වෙනතුරු බැද ගන්න. අඟුරු කරුංකාද වංගෙඩියක දමා කොටා හළා ගන්න.

මුලින්ම අරළු කුඩු වලින් භාගයක් ඉවත් කර ගන්න. එම ප්‍රමාණය වෙනම බෝතලයක අහුරා ගන්න. ඉතිරි කුඩු වර්ග දෙක දැන් ග්‍රෑම් 100 බැගින් ඇත. එම කොටස් දෙක එක් කොට නැවත හළා ගන්න. මෙහිදී මෙම කුඩු හොඳින් මිශ්‍ර කරගත යුතුය. මෙම කුඩුද වෙනම බෝතලයකට අසුරා ගන්න. දැන් ඔබ සතුව බෙහෙත් වර්ග දෙකක් ඇත. පළමු කොටස තනිකර අරළු බැදගෙන කුඩුකර ග්ත කොටසය. අනික් කොටස අරළු සහ කරුංකා අඟුරු යන දෙවර්ගය එක් කොට සකසා ගත් කොටසය. මේවා වෙන වෙනම බෝතල් වල දමා ගන්න. එක් බෝතලයක් කළු පැහැයෙන් ද අනෙක් බෝතලය දුඹුරු පැහැයෙන් ද ඇති නිසා වෙන්කර හඳුනා ගත හැකි වනු ඇත.

පාවිච්චි කරන ආකාරය

රාත්‍රී නින්දට යන්නට පෙර සුපුරුදු පරිදි දත් මදින්න. ඉන් පසු අරළු පමණක් ඇති බෝතලයෙන් කුඩු ටිකක් අතට ගෙන තමාගේම ඇඟිල්ලෙන් විදුරුමස් වල හොඳින් ආලේප කරන්න. මෙහි ඇති තද කහට ගතිය හොඳින් විදුරුමස් තුළ කාවදින ලෙස ඇඟිල්ලෙන් මදින්න. නිදා ගන්නට පෙර කට සෝදන්නේ නතිව හිටිය හැකිනම් එය තවත් ගුණදායක වේ. නැතිනම් වතුර ටිකකින් කට සෝදා ගන්න. මේ ප්‍රතිකාරය දින 30 ක් පමණ එක දිගට කරන්න. ඉන් පසුව සතියකට වාර 3-4 වතාවක් සිදු කරන්න. මෙසේ අවුරුද්දක් පමණ කාලයක් සිදු කළ යුතුය. වසරක් පමණ කාලයකට පසු තමාට අවශ්‍ය නම් මෙම ප්‍රතිකාර නවතා දැමිය හැකිය. නැතිනම් තවත් මාස 6 ක් පමණ සිදුකළාට කම් නැත. විදුරු මස් වලින් සියයට 30 ක් වත් තිබේනම් නැවත විදුරු මස් දළු ලා වැඩෙනු ඇති. එසේ නැතිනම් දැනට ඇති ඇති ප්‍රමාණයෙන් නවතා ගත හැකිය.

කරුංකා අඟුරු සහ අරළු කුඩු මිශ්‍ර කර සකසා ගත් ඉතිරි කුඩු ග්‍රෑම් 200 දත් මදින්නට යොදා ගන්න. මෙම කුඩු වලින් දත් මදින විට මුඛය සහ දත් හොඳින් පිරිසිදු වේ. මෙය නිරෝගි කෙනෙකුට වුවත් උචිතය. මෙම කුඩුවල තියෙන ඖෂධ දත් මුල් වල ඇති කේෂ නාලිකා හරහා අපද්‍රව්‍ය සහිත හිස් කබලේ යට ඇති සිවිය පිරිසුදු කරයි. මෙසේ එම සිවිය අපද්‍රව්‍ය වලින් තොර වීම නිසා ඉරුවාරදය ඇත්නම් එය සුව වේ. දත් මුල් දිය වීම නතර කර නැවත විදුරුමස් ලියලයි. මෙය දිනපතා පාවිච්චි කළ හැකි ඖෂධීය දත් බෙහෙතකි. අඟුරු යනු ඉතා හොඳ පවිත්‍රකාරකයක් බව අප දනිමු. අප මෙහිදී කරුංකා අඟුරු සහ බැදගත් අරුළු වලින් සිදු කරන්නේ අදාළ සිවිය පවිත්‍ර කිරීමයි. මේ අයුරින් දත් මුල් වල දිය වීමත් ඉරුවාරදයත් ඇස්වල ඇති වෙන වේදනාවත් සමනය වේ.

7.තොල් පැළීම, දිව කට වණ වීම, කටේ පණූු ගෙඩි වලට අමු බෙලි මද තනකිරි සමඟ අනා දෙතොලේ ආලේප කරන්න.

ඊටම – ඉඟුරු, ගම්මිරිස් , කරාබුනැටි, එනසාල් , සස්සඳ මුල්, සමන් පිචිච කොළ, කුරුඳු පොතු, අරත්ත අල, කලාදුරු අල කුඩුකර දත් මදින්න.

ඊටම – ඉඟුරු , ගම්මිරිස්, කහ, වදකහ, සුදුලූනු, සූදුරු, කළුඳුරු, අසමෝදගම්, එනසාල්, කොල්ලන් කොළ කුඩුකර රෙදි වැටියේ ඔතා තල තෙලින් හෝ කොහොඹ තෙලින් තෙමා ගිනි දල්වා නිවා දුම් උරන්න.

ඊටම – අරළු, වරාමුල්, කයිල මුල්, කළන් 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ දිනකට තුන් වරක් කට සෝදන්න.

ඊටම – නික කොළ කොටා මිරිකා යුෂ ගෙන එපමණට තලතෙල් දමා හොඳින් කකාරා මුඛය සෝදන්න. දරුණු දත් කැක්කුම සුව වෙයි.

ඊටම – කතුරුමුරුංගා කොළ සහ මල් රතුලූනුූ සමඟ ගිතෙලින් උයා උදේ සවස ආහාරයට ගන්න.

කටතොල් පැළී වණ වෙනවාට – ගොටුකොළ සහමුළින්, රතුලූනු, හාතාවාරිය අල කළන් 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත භාගය බැගින් උදේ, සවස එළඟිතෙල් තේ හැන්ද බැගින් දමා දින කිහිපයක් පානය කරන්න.

ඊටම – ඉදි වැටුණු හබරල පිති ගෙන පුළුස්සා අළු ගෙන සුදුලූණු, වදකහ සමඟ අඹරා තල තෙලින් අනා තොලේ ගාන්න. මෙසේ දිනපතාම අට දිනක් කළ යුතු වේ.

උගුර කට තොල් වණ වෙනවාට - කරඳ ඇට, ඉරමුසු කොහොඹ කොළ, දුම්මෑල්ල කොළ, වණුවැල්, කහ සහ මී ඉටි මේවා සමව ගෙන එළඟිතෙලින් අඹරා එම තැන්වල ගන්න.

තොල්කට දිව පැලෙනවාට – අරළු, කේමාරිකා, රසකිද, කහට පුවක් කළන් 3 බැගින් වතුර පත 8-1 ට සිද පත භාගය බැගින් උදේ සවස සීනි සවිඳ ලුණු දමා බොන්න.

ඊටම – කතුරුමුරුංගා මල් සහ කොළ ගිතෙලින් මළවා කන්න

දිව පැළුණු විට – වෙනිවැල් ගැට, සමන්පිච්ච කොළ කහට පොත,ª මුවකීරිය , ලුණුවිල, මේ හැම පොල් කිරෙන් තම්බා අඹරා පැළුණු දිවේ ගාන්න. දිව පැළුම් රුජා අඩුවීම ගුණ ගෙන දෙයි.

උගුර කට වණ වී තිබෙන විට – කලාඳුරු අල, යවකාර ලුණු, මී පැණියෙන් අඹරා එයින්ම දියකර උගුර , කට සෝදන්න. සුව වේ.

තොල් සුදු වීමට – මුං ඇට කළන් 9 කීකිරිදිය කළන් 18 ගෙන වතුර පත 12-1 ට සිඳ පෙරා ගිතෙල් බින්දු කිහිපයක් දමා දින තුනකට වරක් සති දෙකක් බොන්න. තෝර ඇට, අමු කහ, තිත්ත කපුරු, කයිප්පු යන මේවා එක පමණ ගෙන වරාකිරි සමඟ අඹරා වරා කිරට දියකර එම කල්කය ගිතෙලට දමා පදමට කකරා නිවා තබාගෙන දිනපතා තොල්වල ආලේප කරන්න.

කට දිව පැළීමට කල්කයක් –

පිච්චමල් මිටක් ගෙන එළ ගොන් මුත්‍රයෙන් අඹරා දිව හා තොල්වල වරින්වර ආලේප කරන්න.

කටේ පණුගෙඩි වලට

වියළි ඉඟුරු, වැල්මී, ගම්මිරිස්, තිප්පිලි අක්‍රපට්ටා දෙහි ඇඹුලින් අඹරා මී පැණියෙන් අනා පණු ගෙඩිය මත තවරා සෙම අරින්න.

ඊටම – ඇඹරැල්ලා පොතු ලුණු දියෙන් ගලගා සෙම අරින්න. අත්න ගෙඩියක් ඇට හැර තිත්ත තිබ්බටු ගෙඩි සමන්පිච්ච කොළ හා පෙරුම්කායම් සමව ගෙන අඹරා අත්තන ගෙඩිය තුළට බස්සවා හිරකර උණු අළුවෙන් තම්බා යුෂ මිරිකා දත මුල තබන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.