සර්ප වෙදකම වෙද ගැට සැඟවුණු අරුතින්

පෙබරවාරි 5, 2021

නාග පොළොං විෂ සඳහා වෙද ගැට ඇසුරින් වෙදකම් මීට ඉහත ලිපියකින් ඉදිරිපත් කර ඇති අතර, අද දක්වන්නේ සෙසු සර්ප විෂ සඳහා ඉදිරිපත් කර ඇති වෙද ගැට ඇසුරින් සැඟවුණු මැල්ලුම් වර්ග, කැඳ වර්ග, ආලේප ආදී බෙහෙත් වර්ගයි.

 

කුණකටු විෂට

 

දිනිසුරු නිසයුරු නැති දවසට එන අවිසද තෝරා අරගන් නේ

නිතර ගෙදර ගෙලපිට වැසි ළඳ සහ පුත්තලමින් ආ අය ගන් නේ

මලවා මේ ඔසු කසළ ගොඩේ සපු කෑ විට තෝරා ලා දෙන් නේ

දම්රද මර සෙන් දුරු කළ විලසට විෂ බැසයයි තුන් පැයකින් නේ

 

වශයෙන් කළුහබරල අල සහ කොළ කහලුණු ලා කොටා මලවා බැඳීමෙන් කුණකටු විෂ බැසයන බවයි.

 

යකා වැනසූ අවුසද ගනිමින් නේ

නෙත් තුන ඇති යුෂයෙන් තම්බන් නේ

කෑ මුඛයේ බැන්දොත් සතොසින් නේ

කුණකටු විෂ දුරුවෙයි පැයකින් නේ

 

වශයෙන් කුණකටු විෂට යකවනස්ස පොල් කිරෙන් තම්බා බඳිනු.

 

කටකළු විෂට මැල්ලුමක්

 

මඟුලේ යන අය හා නායක අය අල්ලා ගන්නේ

දෙදෙනාගේ පිට පට මිරිකා යුෂ ගෙන ලුණු දමමින් නේ

පානය කර හප කහ ලුණු ලා මලවා බැඳ ගන්නේ

වීරිය ඇති ඖෂධයකි කටකළු විෂ දුරුවන් නේ

 

වශයෙන් මඟුල් කරඳ පොතු හා නා පොතු කොටා යුෂ මැඩ ලුණු ලා පානය කිරීමට දීමෙන් සහ එම බෙහෙත් රෝඩු කහ ලුණු ලා මලවා බැඳීමෙන් කට කළු විෂ දුරුවන බවයි.

 

මාපිල් විෂට

 

මුල සිට අගටම මල් ඇති වැල දනු

තලමින් කොටමින් යුෂ මැඩලා ගනු

නැසුනම කියනා තෙල් සමකර දෙනු

මාපිල් විෂ නොතබා යන බව දෙනු

 

වශයෙන් මාපිල් විෂට මුකුණුවැන්න කොටා මිරිකා යුෂ එළඟිතෙලින් බීමට දෙන බවයි.

 

උඩ සිට රත්තා නාසෙට පැන්නා

පැළ යට පුංචා දියවර දුන්නා

මෙලෙසට මේ ඔසු සදමින් දුන්නා

විගසට මාපිල් විෂ දුරු වෙන්නා

 

වශයෙන් දිමි බිජු නරමුත්‍රාවලින් දුන් විට මා පිල් විෂ බසින බවයි.

 

කෑ කල මාපිලුන් විෂ කදෙ එනවාට

දළ කුමරිය නැළවෙයි උඳුවප් මහට

ඒක තලන යුෂයෙන් මෙය සමගි කොට

පෙව්කල ඔසුව සදමින් විෂ යයි නොසිට

 

වශයෙන් මාපිල් විෂට මොනර පිල් පුළුස්සාගත් අළු, උඳුපියළිය කොළ ඉෂ්ම මී පැණි සමඟ පොවන්න.

 

අග පෙද මුල ගණ මුල අග අකුරූ

ලෙද සොද පොතු දළු යුෂ ගෙන මහරූ

මනනද ලෙස දෙනු සහ නර වතුරූ

මිසදිටු මුණි දුටු සේ යෙයි රුදුරූ

වශයෙන් මිදි පොතු සහ දඨ යුෂ ගෙන නරදියෙන් අඹරා බීමට දෙනු.

තෙලිස් විෂට

 

මාලනි මට දෙන්න නුඹෙ කරවට තැල්ල

රසයෙන් දිලෙන මුතු බන්දමි මනකල්ල

වෙදදුරු දැන හැඳින අරගෙන මෙසියල්ල

තෙලිසන් කාපු මුක තුළ ගානු ඔසු බල

 

 

වශයෙන් කරවිල කොළ, තැල්ල කොළ, හරං කහ එකට මුඛයෙන් ගානු

 

පත්තෑ ගරුඬ විෂයට

 

ඉත්තෑ කූරක් පුච්චා අළු ගෙන පොල් කිරි හා සමකර ගත්තා

මුත්තා මට කිවි බෙහෙතක් මතකයි හාල් පානු වතුරෙන් ගත්තා

සත්තා තිරකර කඩු පහරක් ගෙන මේ යුෂයෙන් රත්කර ගත්තා

පත්තෑ විෂයයි ගෑ කල තිරකර කිව්ව අපේ පෙර වෙද මුත්තා

 

වශයෙන් ඉත්තෑ කූරක් පුලුස්සා අළු ගෙන පොල් කිරෙන් අඹරා ගාන ලෙසයි. හාල් පානු දියෙන් කඩු පහර තම්බා අඹරා දෂ්ට මුඛයේ ගාන ලෙසයි.

 

පිට පට යට ඇටේ පොතු ඇරලා ගන්න

මියුරු ළඳගෙ රස ගලෙ උලලා ගන්න

නපුරු කරවැලා කෑවොත් අහපන්න

මිතුරෙ නස්න කරනුය විධ බැස යන්න

 

වශයෙන් මූණමල් ඇට මද තනකිරෙන් ගලගා කරවැල් විෂට නෂ්‍ය කරන්න.

 

කරවැල් විෂට මැල්ලුමක් සහ බීමට

 

යකුන් වැසෙන ගසෙ කොළ පොතු ගන්නේ

මුරුන් සමග ගෙන කහ ලුණු ලන්නේ

උරෙන් ඉහළ ඇති නම දැන ගන්නේ

නැසුන නමුත් කරවැල් විෂ යන්නේ

 

වශයෙන් රුක් අත්තන කොළ පොතු, මී මුරු එකට කොටා මලවා බඳින ලෙසයි. එවගේම කරවිල කොළ යුෂ පොවන ලෙසයි.

 

මුනිදුගෙ සරණේ දැලි අරගන්නේ

දෙහි ගෙඩි ඇඹුලෙන් ඇසට ලවන්නේ

දූවිලි වා කොළ කහලුණු ලන්නේ

නැසුන නමුත් කරවැල් විෂ යන්නේ

 

වශයෙන් බුත්සරණ අඳුන් බස්සා දෙහි ඇඹුලෙන් අංජනම් ලෑම ද, විෂ දූලි කොළ සහ වා කොළ කොටා මලවා බැඳීම ද, කරවැල් විෂය යහපත් බවයි.

කරවැල් විෂට ගෑමට

 

ගස්වල තිබ්බටු ඔක්කොම ගන්නේ

එක්කළ විෂ දූවිලි සමගින්නේ

සප්පා නම යෙදූ බුලතුන් ගන්නේ

එක්කම මිරිසැට තුඹ කොළ ගන්නේ

 

වශයෙන් තිබ්බටු ගසේ පංචාංගයම ගෙන නාගවල්ලි බුලත්, තුඹ කොළ මේවා කොටා මිරිකා ගානු.

දෙපත් නයා /බිං උල්ලා විසට

 

දෙපත් නයා බිං උල්ලා එකමය

එයා කෑවොත් කුඹුරේ මඩ ලසුණුය

දයාව නරුසිරු කළ ආලේපය

ගියා පැයක් විස දුරුවෙයි නියතින

 

වශයෙන් කුඹුරු ඇට මද සුදුලූනු, මිනිස් ලේවලින් අඹරා ආලේප කරන ලෙසයි.

ඕනෑම සර්ප විෂකට

 

දොරකඩ මිදුලේ තැනූ ගසේ යා

පිටපට ගසමින් නැඟ මුදුනේ යා

මිට මිට දෙමිටක් පත් සමසේ යා

කැඳ පිස ගිතෙලින් දෙන් සතෝසේ යා

 

වශයෙන් කරපිංචා ගසේ පංචාංගය ගෙන වනේ ලා කොටා මිරිකා ගත් යුෂ යොදා කැඳ පිස ගිතෙල් මිශ්‍ර කොට පානය කරවීමෙන් ඕනෑම සර්ප විෂක් සමනය කරවන බවයි.

සර්ප විෂට නස්නයක්

 

කිරි ඇති ගස කිරි ගන්නේ

ඇඟිලි අගට නම වන්නේ

බණේ නමද යුතු වන්නේ

නස්නය කළ විෂ යන්නේ

 

වශයෙන් රුක් අත්තන කිරි, කැළණිය හා බුත්සරණ එකට ගෙන කොටා මිරිකා යුෂ ගෙන සර්ප විෂට නස්න කරනු.

 

 

 

ආයුර්වේද වෛද්‍ය ආචාර්ය

ප්‍රභාත් සී.ඒ. ගමගේ

කඹුරුගමුව

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.