වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
බුදුරදුන් දෙවන වරටත් ලක්ව වැඩ මකළ බක් පොහොය
බුද්ධත්වයට පත් තිලෝගුරු අමාමෑණියන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ දුරුතු පුර පසළොස්වක පොහොයදිනක වත්මන් ඌව පළාතේ මහියංගනයටය. යක්ෂ ගෝත්‍රික ජනයා අතර ඇතිවන්නට ගිය අරගලයක් සංසිඳුවීමට එසේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිදුවීමට ගිය ජීවන විනාශයන් වලක්වා ඔවුනට දහම් දෙසා ලංකාවේ ප්‍රථම බොදු පිරිස බිහිකර ඔවුන්ගේ ඉල්ලීම පරිදි වඳින්නට පුදන්නට කේශ ධාතුන්වහන්සේලාද පිරිනමා ආපසු දඹදිවට වැඩම කළේ මීට වසර දෙදහස් හයසිය අටකම පෙරය.
එයින් වසර පහක් ගෙවීයෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ දෙවන වරටත් ලංකාද්වීපයට වැඩම කළේ මෙවැනි බක්මසකය. එම වැඩම කරවීමටද හේතුවූයේ අප රටේ විසූ තවත් ජන කොටසක් වන නාග වංශික රජවරුන් දෙදෙනකු අතර ඇති වන්නට ගිය යුද්ධයක් වැළැක්වීමටය. මෙම අරගලය සිදු කරන්නට එම දෙපිරිසම කඳවුරු බැඳගත්තේ වත්මන් උතුරු පළාතේ පිහිටි නාගදීපයේදී ය. සොළොස්මස්ථාන වන්දනාගාථාවේ සඳහන්වන නාගදීප පුදබිම එම ස්ථානය වේ.
චූලෝදර හා මහෝදර යන ගංගා වංශික රජවරුන් දෙදෙනා ඥාතිවරුන් වූහ. මහෝදර රජුගේ සොහොයුරුයක වූ කණ්හා නැමති රජකුමරියගේ පුතණුවන් වූයේ චූලෝදර නම් රජුය. ඇයගේ පියාණන් වූයේ ද නාග වංශික ප්‍රාදේශීය රජ කෙනෙකි. එකල අප රටේ නාගයින් විසින් පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍යයන් තුනක් පැවතුණි. එම රාජ්‍යයන්හි ප්‍රධාන රාජධානි පිහිටියේ කැලණිය, නාගදීපය හා වඩුන්නාගලය. මෙම ප්‍රාදේශීය රාජ්‍ය තුන බුදුරදුන් මෙරටට වැඩම කරවන විට පාලනය කළේ චූලෝදර, මහෝදර හා මණිඅක්ඛිත යන නා රජවරුන් ය. චූලෝදර රජු ඥාතිත්වයෙන් මහෝදර රජුට වූයේ බැණනුවන්ය. මෙහි මුලින් සඳහන් වූ පරිදි මහෝදරයන්ගේ සොහොයුරිය වූ චූලෝදරයන් ගේ මව වූ ‘කණ්හා’ විවාහ වන විට ඇයගේ පිය රජු දායාදයක් ලෙස සිය දියණියට තම පරම්පරාව සතුව පැවත එන මැණික්ගල් අල්ලා සකසන ලද පුටුවක් ද පිරිනැමූවෙන් ඇය සිය ස්වාමියාගේ මැදුරට එයද රැගෙන ගොස් තබා ගත්තාය. තම සොහොයුරියට මෙම වටිනා පුටුව පිරිනැමීමෙන් තම පරපුර සතුව තිබූ වටිනා උරුමයක් වෙනත් පිරිසක් අතට යෑම ගැන මහෝදර සිටියේ සතුටකින් නොවීම සිය සොහොයුරිය වූ කණ්හා ද දැනගෙන සිටියා ය. කාලයක් ගිය පසු චූලෝදර මණිනාගදිවයිනේ රජ පදවියට පත් වූ අතර මහෝදර වඩුන්නාගල රාජ්‍යයේ රජ පදවියට පත් විය. චූලෝදරගෙ කණ්හා දේවිය මිය ගිය හෙයින් අවමඟුලට ද පැමිණි මහෝදර රජු මෙම මැණික් පුටුව පිළිබඳව ඇති ඇල්ම යළිත් මතුකරගෙන මෙම පුටුව තමා වෙත පිරිනමන ලෙස චූලෝදර රජුගෙන් ඉල්ලා සිටියේ එහි අයිතියක් හා උරුමයක් තමන්ටද පවතින බව පවසා සිටිමිනි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
අහුන්ගල්ලේ දේ.සූ. ද සොයිසා