2025 වසරේදී නිවෙසට සෞභාග්‍යය උදා කරගන්නා ක්‍රම

දෙසැම්බර් 20, 2024

තව දින කීපයකින් 2025 වසර උදාවනවා. අප සියලු දෙනා කුමන හෝ ආකාරයකින් මේ නව වසරේ අපේ පැතුම් මල්පල ගන්වා ගන්නයි ප්‍රාර්ථනා කරන්නේ. එහිදී අපේ නිවෙසේ පිහිටීම් සහ අපගේ ඇතැම් පුරුදු නිසා ජීවිතය ව්‍යාකූල වීමට ඉඩ නොදී ලබන 2025 වසර සුබදායී කර ගැනීමටත්, අලුත් වැඩියා කටයුතු කරනවා නම් ඒවා නිසි පරිදි කරගැනීමටත් මේ පුංචි පුංචි දේවල් ගැන අවධානය යොමු කිරීම ඔබට වටිනු ඇති. ඔබ පදිංචි නිවෙසේ මෙන්ම ඔබ තනන නිවෙසේ මේ දේවල් ගැන අවධානය යොමු කිරීම බොහෝ වැදගත් වනු ඇති.

ඔබේ නිවෙසේ මාළු ටැංකියක් තිබෙනවාද? හෘදයාබාධ, ආතති වැනි රෝග තත්ත්වයන් ඇති අය සිටින නිවෙසක මාළු ටැංකි තිබීම ඒ රෝගීනට සහනයක් වුවත්, ප්‍රධාන උළුවස්ස කෙළින් හෝ ගෙයි මධ්‍ය ලක්ෂ්‍යය මත මාළු ටැංකිය ස්ථාපනය නොකළ යුතුයි. ඒ එමඟින් ඔබේ ධන හානි, ව්‍යාපාර පාඩු සිදුවන බැවිනි.

ඔබ නිතර ඇසූ දෙයක් තමයි මුළුතැන්ගෙය ගිනි කොනට තිබීම වඩාත් සුබ වන බව. එසේ බැරිම අවස්ථාවක වයඹට තැබීම ද ගැටලුවක් නොවේ. එහෙත් ඊසාන දිශාවේ තැබීම ඉතාම නුසුදුසු වනවා සේම නිවෙසට පිටතින් පිහිටීමත් එතරම් සුබ නොවන බවයි පැරැණියන්ගේ මතය.

අපේ මුතුන් මිත්තන් මේ දේවල් ඉතා තදින් විශ්වාස කළා සේම ඒවායින් බොහෝ පලප්‍රයෝජන ලැබූ අය. ඔවුන්ගේ තවත් මතයක් තමයි ගෙදර කුණු සවස් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ අතුගා එළියට දැමීම නිවෙසේ සෞභාග්‍යය අතුගා දැමීමක් හා සමාන වන බව. එසේම රාත්‍රී කාලයට ගෙදර බත් මුට්ටියේ බත් ස්වල්පයක් හෝ ඉතිරි කර තැබීමෙන් රාත්‍රියට නිවෙසට එන ශ්‍රියා කාන්තාව එයින් සතුටට පත්ව ආශීර්වාද කරන බව. එසේම නිවෙසේ ඉතිරිවන කෑම බටහිර දිශාවෙන් යම් කුරුලු ලෑල්ලක් වැනි දෙයක් තනා කුරුල්ලන්ට, ලේන්නුන්ට වැනි සතුන්ට කෑමට දීම අපල හා වාස්තු දෝෂ ඉවත් කිරීමට හේතු වන බව ද ධනය, වාසනාව සහ සෞභාග්‍යය ළඟා කර ගැනීමේ තවත් අත්දුටු ක්‍රමවේදයක්.

සූර්යාලෝකය උදේ කාලයේ නිවෙසකට වැටීම ඉතා හොඳ බව අප දන්නේ එයින් විටමින් ඩී ද ලැබෙන නිසා. එහෙත් සවස් කාලයේ සූර්යාලෝකය ගෙට පතිත වීම එතරම් සුබ කරුණක් ලෙස දක්වන්න අපහසුයි. එහෙත් මුළුතැන්ගෙයට නම් සවස්යාමයේ හිරු එළිය හෝ වැටීම ඉතා වටින බවටද මතයක් තිබෙනවා. එයින් විෂබීජ හා තෙතමනය ඉවත් වන නිසා. කෙසේ වෙතත් සවස හිරු එළිය නිවෙසට වැඩිපුර පතිත වනවා නම් සරලවම ජනේල රෙදි යෙදීමෙන් එය පාලනය කිරීම ධන වාසනාව පවත්වා ගැනීමට හේතුවක් වනු ඇති.

නිවෙසේ සෞභාග්‍යය මෙන්ම නිරෝගීබව රැක ගැනීමට නම් ප්‍රධාන දොරටුව අසල සපත්තු සෙරෙප්පු ගොඩ ගැසීමෙන් වැළකිය යුතු බව ඔබ කොතෙකුත් අසා ඇති. එමෙන්ම අතුගා අවසන් වූ පසු කොස්ස දොර ළඟ තැබීම ද එවැනිම නොකළ යුතු අසුබ කටයුත්තක් බව සිහි කළ යුතුයි.

එමෙන්ම ඔබ භාවිත කළ කිළුටු රෙදි ගෙයි ප්‍රධාන දොර ඉදිරියේ එල්ලීම සහ පසුව සේදීම සඳහා ගොඩ ගැසීම ද ශ්‍රියා කාන්තාව පන්නා ගැනීමට දරන උත්සාහයක් බඳුයි. ඊට අමතරව ඊසාන දිශාව රෙදි වේළීමට යොදා ගැනීම ද සෞභාග්‍යය උදා නොවීමට හේතු වනවා.

ඔබේ මුළුතැන්ගේ කොපමණ අස්පස් කළත් නිතරම කිළිටි වී අපිරිසුදුව තිබේ නම් එය මුදල් අගහිඟතා මෙන්ම රෝගපීඩාදිය ඇති වීමටත් හේතු වන බවයි පෙන්වන්නේ. මුළුතැන්ගෙට ආලෝකය සුළඟ ලැබීමට නිතර ජනේල හැර තැබීම මෙන්ම වළං පිරිසුදුව මුණින් නමා අසුරා තැබීම රෝගවලින් මිදීමටත් ආර්ථික වර්ධනයටත් සුබයි.

විශේෂයෙන්ම ඔබ යම් රෝගයකට බෙහෙත් ආදිය ගන්නේ නම් ඒ කිසිවක් මුළුතැන්ගේ තබා භාවිතයට ගැනීමෙන් වළකින්නට මතක තබා ගන්න. එය ඉතා අසුබ කටයුත්තක් ලෙසයි දක්වන්නේ. එහි විද්‍යාත්මක හේතුව ඇතැම් විට ඔබ වැරදීමකින් බෙහෙත් ආහාරවලට එකතු කිරීමට හැකිවා මෙන්ම කුස්සියේ ඇති රස්නය නිසා ඖෂධවල ගුණය බාල වීමට හේතුවිය හැකි වීම වන්නට පුළුවන්. කෙසේ වෙතත් නුසුදුසු දෙයින් වැළකීම වඩාත් සුබදායකයි.

ඔබේ මුළුතැන්ගෙයි කැඩුණු බිඳුණු භාජන නොතැබීමට මෙන්ම පළුදු වූ භාජනවල ආහාර ගැනීමෙන් ද වැළකිය යුත්තේ එය ඔබ දිළිඳුභාවයට පත් කිරීමට හේතු වන බැවිනි.

එසේම ඉඳුල් කුණු දිගු කාලයක් මුළුතැන්ගේ තැබීම අසුබ වනවා පමණක් නොව එයින් රෝග පීඩාදියටද ගොදුරු විය හැකියි. එමෙන්ම දේව රූප හා පින්තූර මුළුතැන්ගේ තැබීම අසුබ බවයි පැවසෙන්නේ. එයට හේතුව ඒවාට නිසි ගෞරවයක් එයින් නොලැබීම හා දුම දැලි ආදිය වැදීම විය හැකියි.

ඔබ අලුතින් නිවෙසක් තනනවා නම් එහි ප්‍රධාන දොරටුව නන්දා හෝ පූර්ණා පාදවල පිහිටුවා ඇත්දැයි විමසන්න. එය රික්තා පාදයේ නොතිබිය යුතු බව ඔබ දැනගෙන සිටීම ද ඒ විමසීමේදී වැදගත් වනු ඇති. කෙසේ වෙතත් මේ වනවිට ගොඩනඟා ඇති නිවෙසක නම් එය වාස්තු ශාස්ත්‍රය පිළිබඳ දැනුම ඇති අයකුගෙන් විමසා අදාළ ප්‍රතිකර්ම මඟින් ඒ දෝෂය ඉවත් කරගැනීමට කටයුතු කිරීම ධනය, වාසනාව සහ සෞභාග්‍යය නිවෙසට ගලා ඒමට හේතු වන බව නොකියා බැහැ.

ඒ වගේම ඔබේ ප්‍රධාන ද්වාරය කෙළින් ළිඳක්, වැසිකිළියක්, වහළේ මුදුන් යට ලීය වැනි දේ පිහිටා තිබේ නම් එමඟින් ප්‍රධාන දොරටුව පීඩාවට ලක් වෙනවා. ධනය ඉතිරි වන්නේ නෑ. මේ අලුත්වැඩියා කරන සමයේ එවැනි දෝෂ ඉවත් කර ගැනීමටත් අවධානය යොමු කරන්න. මෙවැනි යම් දෝෂයක් පවතින්නේ නම් එය පිරමීඩ යෙදීමෙන් ද ඉවත් කරගත හැකි බැවින් නිවෙස් කඩා බිඳ දැමීමට ඉක්මන් නොවී ඒ ක්‍රමවේද අත්හදා බැලීම ද පහසු වනු ඇත.

ඔබේ නිවෙසේ ඊශාන දිශාවේ වැසිකිළිය හෝ වැසිකිළි වළ පිහිටා තිබීම ප්‍රධාන වාස්තු දෝෂයක් වන අතර රෝගී තත්ත්වයට බඳුන් වූ කෙනකු නිසා මුදල් නාස්ති වීමට මූලික හේතුව විය හැකියි. එබැවින් නිවෙසක් අලුතින් තැනීමේදී ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වනවා සේම ඉදිකර නිම වූ නිවෙසක වුව එවැනි දෝෂ ඉවත් කර ගැනීම සාමය, සතුට, ධනය, බලය සහ කීර්තිය ළඟාකර ගැනීමට හේතු වන බව කිව යුතුයි.

එසේම ඔබ පරිහරණය කරන අපිරිසුදු ජලය ඊසානයට ගලනවා නම් ඒ නිවෙසෙන් සෞභාග්‍යය පලා යන බව අවබෝධ කරගෙන ඒ සඳහා සරල විසඳුමක් වන කානුවක් මඟින් ඒ ජලය වෙනත් අතකට හරවාලන්න.

කෙසේ වුවත් දිගු කාලයක් තිස්සේ යම් මතයක් පවතින්නේ එයින් ප්‍රායෝගිකව ලද අත්දැකීම් බහුල වන නිසයි. පසුගිය වසරේ අපට වැරැදුණු තැන් අප අතින් වුණ අඩුපාඩු නිවැරැදි කරගෙන 2025 වසර සුබ කර ගැනීමට කල් ඇතිව සූදානම් වීම වඩාත් සුබ බැවින් මේ කරුණු පිළිබඳවත් මේ වසරේ අවසන් සති දෙක තුළ අවධානය යොමු කිරීම වඩාත් පලදායී නොවන්නේද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.