වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
චූල නක්‍ෂත්‍රයෙන් යොදාගත හැකි ඵන්ථාන සුබ මුහුර්ත
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්‍ෂත්‍රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන අවස්ථා බොහෝ වේ. එවන් දිනවල චූල නක්‍ෂත්‍රයෙන් සුදුසු සුබ වේලාවක් සකස් කරගත හැකි ක්‍රමවේද රාශියක් වන අතර ඵන්ථාන සුබ මුහුර්‍ත ඉන් එකකි. ඒ අනුව භාවිතයේ පවතින නැකැත් 28 ධර්ම, අර්ථ, කර්ම, මෝක්‍ෂ යනුවෙන් කොටස් හතරකට බෙදන අතර එම කොටස් හතරේ ඒ ඒ දිනවල හිරු හා සඳුගේ චාරය අනුව දිනයේ සුබ අසුබ බව තීරණය කර එක් එක් වැඩ කටයුතු සඳහා යොදා ගත හැකිය.
ඒ අනුව, ධර්‍ම කාණ්ඩයට - අස්විද, පුෂ, අස්ලිස, විසා, අනුර, දෙනට, සියාවස ද අර්ථ කාණ්ඩයට - බෙරණ, පුනාවස, මා, සා, දෙට, සුවණ, පුවපුටුප ද කර්ම කාණ්ඩයට - කැති, අද, පුවපල්, මුල, අභිජිත්, උත්‍රපුටුප ද මෝක්‍ෂ කාණ්ඩයට - රෙහෙන, මුවසිරස, උත්‍රපල්, හත, පුවසල, උත්‍රසල, රේවතී යන නැකැත් අයත් වන අතර මේ එක් එක් නැකැත් කාණ්ඩයන්හි,
ධර්‍ම කාණ්ඩයේ නැකැත් වල හිරු සිටි කල සඳු ධර්‍ම කාණ්ඩයක සිටී නම් හානි - අශුභයි. සඳු අර්ථ කාණ්ඩයක සිටී නම් සතුරු බිය - අශුභයි. සඳු කර්ම කාණ්ඩයක සිටී නම් සොර බිය- අශුභයි. සඳු මෝක්‍ෂ කාණ්ඩයක සිටී නම් ගෘහ ලාභ- ගෘහ කටයුතු වලට ශුභයි.
අර්ථ කාණ්ඩයේ නැකැත්වල හිරු සිටි කල සඳු ධර්‍ම කාණ්ඩයක සිටී නම් හස්ථි ලාභ - සතුන් පිළිබඳ කටයුතු සඳහා ශුභයි. සඳු අර්ථ කාණ්ඩයක සිටී නම් කාර්යය හානි - අශුභයි. සඳු කර්ම කාණ්ඩයක සිටී නම් සියලු යහපත - සියලු කටයුතු සඳහා ශුභයි. සඳු මෝක්‍ෂ කාණ්ඩයක සිටී නම් ශරීර සනීපය - අශුභය.ි
කාම කාණ්ඩයේ නැකැත්වල හිරු සිටි කල සඳු ධර්‍ම කාණ්ඩයක සිටී නම් හස්ථි ලාභ - සතුන් පිළිබඳ කටයුතු සඳහා ශුභයි. සඳු අර්ථ කාණ්ඩයක සිටී නම් සියලු කාර්යය හානි - අශුභයි. සඳු කර්ම කාණ්ඩයක සිටී නම් හානි - අශුභයි. සඳු මෝක්‍ෂ කාණ්ඩයක සිටී නම් ස්වර්ණ ලාභ - ආභරණ පිළිබඳ කටයුතුවලට ශුභයි.
මෝක්‍ෂ කාණ්ඩයේ නැකත්වල හිරු සිටි කල සඳු ධර්‍ම කාණ්ඩයක සිටී නම් ස්වර්ණ ලාභ - ආභරණ පිළිබඳ කටයුතු වලට ශුභයි. සඳු අර්ථ කාණ්ඩයක සිටී නම් සොර සතුරු රාජ බිය - අශුභයි. සඳු කර්ම කාණ්ඩයක සිටී නම් සියලු ශුභ - සියලු වැඩ සඳහා ශුභයි. සඳු මෝක්‍්ෂ කාණ්ඩයක සිටී නම් අශුභ - අශුභයි. මේ අනුව ඒ ඒ දිනවල හිරු සිටි නැකැත බලා සඳු අදාළ සුබ නැකැතක සිටී නම් ඒ ඒ කාර්යයන් සඳහා යොදා ගත හැකිය. මේ සුබාසුබ මහා නක්‍ෂත්‍ර නැකැත් සාදනයේදීද ප්‍රයෝජනයට ගත හැකිය.