දෙවියන් සඳහා පලතුරු පූජාවක් සකස් කරගන්නා නිවැරැදි ආකාරය

දෙසැම්බර් 13, 2024

 

“සන්හිද ළඟ භාරයට කිරී ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නො⁣කෙළෙමි එය ගැරහීම”

කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කරමින් කාව්‍යකරණයෙහි නියුතු විමලරත්න කුමාරගම මහතා ඔහුගේ වෘත්තීය ජීවිතයේ දී ආදායම් පාලකයකු ලෙස ඈත පිටිසර වන්නි ප්‍රදේශයෙහි රාජකාරියේ නියුතු වූ අවධියේ දී එහි වැසියන් “අයියනායක දෙවියන්ට” පුද පූජා කළ ආකාරය ඉහත කවියෙන් දැක්වේ. තමන්ගේ බාරහාරවලට කිරී ඉතිරීම, කෙම්මුර දවස්වලට පහන් දැල්වීම හා වන අතු කඩා ගස් දෙබලක දැවටීම මඟින් ගම්වැසියන් අයියනායක දෙවියන්ට පූජා පැවැත්වූ ආකාරය මේ කවිය තුළින් අර්ථවත් වේ.

අපේ රටේ දෙවියන් ඇදහීම කුමන කාලයක ආරම්භ වූයේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් දහතුන් වැනි සියවසේ දී පමණ ලක්දිවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාව අතර දේව විශ්වාසය තහවුරු වූ කාල වකවානුව ලෙස හැඳීන්වීමට පිළිවන. දකුණු ඉන්දීය සංස්කෘතියේ ආභාසය මත දෙවියන් ඇදහීමේ ක්‍රම බොහොමයක් අපට උරුමව ඇත. පෙර සිටි ආදිවාසී ජනයා ඉර - හඳ, ගස්- කොළන් ආදියට වන්දනාමාන කළ බව පුරාතන කතා පුවත් මෙන් ම පැරැණි ලිපි ලේඛනවලින් පැහැදිලි වේ. අදටත් අපේ ආදිවාසී ජනයා එවැනි වන්දනාමාන, පුද වත්පිළිවෙත් පවත්වන අතර ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ද ඇතැමුන් මෙසේ සිදු කරන බව දක්නට ලැබේ.

වර්තමානයේ ද සුළු වශයෙන් මේ පූජා ක්‍රම දක්නට ලැබුණත් මිනිසුන් රෝග පීඩා, විභාග කටයුතු, රැකියා සම්බන්ධ කටයුතු හා වෙනත් සුබ අවස්ථා සාර්ථක කර ගැනීම සඳහා දෙවියන්ට විවිධ පූජාවන් පවත්වනු දක්නට ලැබේ. ඒ අතර බොහෝ දෙනා පලතුරු පූජාවක් සිදුකොට දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගනී. දෙවියන් පිළිබඳව මිනිසුන් අතර විවිධ විශ්වාස පවතී. දෙවියන්ට බාරහාර වීම හා පුද පූජා කිරීම තුළින් මිනිස්සු මානසික හා ආධ්‍යාත්මික වශයෙන් සුවපත්භාවයක් ලබති.

බොහෝ බැතිමතුන් දෙවියන්ට බාර වී එම භාරය පොරොන්දු වූ දිනයට ඉෂ්ට කිරීමේදී එය නිවැරැදිව සකසා ගැනීම පිළිබඳව බොහෝ ගැටලු පවතී. එබැවින් දේව පූජාවකට සුදුසු ආකාරයෙන් අංග සම්පූර්ණව, නිවැරැදිව පලතුරු පූජා වට්ටියක් සකස් කර කරගන්නා ආකාරය පිළිබඳව විමසා බලමු. පලතුරු පූජාවක් සඳහා යොදාගන්නා පලතුරු නැවුම්, ගුණාත්මක භාවයකින් යුක්තවන්නා සේම සුවඳ හමන පලතුරු විය යුතු ය. ඒ සඳහා පලතුරු වර්ග පහක් භාවිත කරයි. පලතුරු පූජාවක් සඳහා යොදා යොදාගන්නා පලතුරු ලෙස ඇඹුල් කෙසෙල්, අඹ, අන්නාසි, බෙලි හා දිවුල් යන පලතුරු යොදාගැනීම සුදුසු වෙයි.

එසේ ම පලතුරු පූජාවක් සඳහා කැවිලි වර්ග පහක් ද භාවිත කළ යුතු ය. ඒ අතර කොණ්ඩ කැවුම්, කොකිස්, අතිරස, මුංගුලි, ආස්මි හා තල කැරලි වැනි කැවිලි යොදාගත හැකි ය. ඊට අමතරව, මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් ගෙන එහි සුදු හඳුන් ආලේප කළ යුතු ය. එසේ ම බුලත්, තැඹිලි ගෙඩියක්, මල් මාලයක් ,හඳුන්කූරු, එළඟි තෙල් හෝ පොල්තෙල් පහනක්, විසිතුරු සළුවක්, පඬුරු හා පූජා තැටියක් හෝ වට්ටියක් අවශ්‍ය වේ.

පළමුවෙන්ම, භාජනයකට වතුර සහ කහ සමඟ බාගෙට පුළුස්සා ගන්නා ලද දෙහි ගෙඩියක් මිරිකා දමා එම ජලයෙන් පූජාවටිය, බුලත්, තැඹිලි ගෙඩිය (උඩ ඇස්ස ඉවත් කළ), පොල් ගෙඩිය (මුඩ්ඩ සහිතව), පලතුරු හා පඬුරු සෝදාගත යුතුය. ඉන් පසුව නැට්ට එළිය පැත්තට සිටින සේ බුලත් අදාළ ප්‍රමාණය වට්ටියේ හෝ තැටියේ රවුමට අතුරාගත යුතු ය. ඒ මැද පොල් ගෙඩිය තබා පසුව පිළිවෙළකට, අලංකාරවත් ලෙස සෝදා ගන්නා ලද පලතුරු වර්ග (නැටි කපා, කෙසෙල් ඇවරිය තැබීමේ දී ඇස් කොටස කපා ඉවත් කර) තබාගත යුතු ය. තැඹිලි ගෙඩිය ද පසෙකින් තබාගන්න. එසේ ම කැවිලි වර්ග පහ ද තබාගත යුතු ය. ඉන් පසුව පඬුරු පූජාවටියේ තබා අවසානයේ සූදානම් කරගත් සළුව පිළිවෙළකට නවා පූජා වට්ටියේ පැත්තකින් පලතුරු මත තබාගන්න. මල් මාලය ද දෙවියන්ට ප්‍රිය ගැට පිච්ච, සමන්පිච්ච, රෝස, දාස්පෙතියා වැනි මලින් ගෙතු මල්දමක් විය යුතුය. හඳුන්කූරු කිහිපයක් හා කපුරු පූජා වට්ටියෙන් ගැනීමට පහසු ආකාරයෙන් ඉහළින්ම තබන්න. එමෙන් ම එළඟි තෙල් හෝ පොල්තෙල් පහන වෙනම දල්වා ගන්න.

ඒ අනුව, මේ ආකාරයෙන් අංග සම්පූර්ණව පලතුරු පූජා වට්ටියක් සකස් කොට දෙවියන්ට කෙම්මුර දවසක පූජා කළ හැකි ය.

අප විසින් යම් දෙයක් බුදුන්ට පූජා කරන්නේ ද එය බුදු සසුන සතු ය. යම් දෙයක් දෙවියන්ට පූජා කරන්නේ ද එය දෙවියන් සතුය. එබැවින් පූජා කරන තැනැත්තා නැවත එය භාවිත නොකරයි. මෙය නීතියක් නොව පිළිවෙතකි. ගරු කිරීමකි. ඉන් කොටසක් නැති බැරි, දුප්පත් අයකුට දීම වරදක් නැත. දෙවියන් සතු දේ ද එසේම ය. අප විසින් දෙවියන් වෙනුවෙන් පූජා කරන ලද පූජාවක් දෙවියන්ට පූජා කිරීමෙන් පසුව එය අන් අයට බෙදා දීම ඉතා උතුම් කටයුත්තකි. පින්කමකි. එය දකින දෙවිවරු ඒ තුළින් අතිශය සතුටු වෙති. ඉන් ලැබෙන පින් ද අනුමෝදන් කර ගනිති. එහෙත්, තමන් විසින් දෙවියන්ට පූජා කළ පූජාව තමන් ම අනුභව කිරීම කෙතරම් සුදුසු වේ ද යන්න තීරණය කිරීම ඔබ සතුය.

මෙය ඕනෑම දෙවිකෙනකු වෙනුවෙන් පොදුවේ ඔප්පු කරන බාර සඳහා පලතුරු පූජාව සකසා ගන්නා ආකාරය වන අතර විවිධ දෙවිවරුන්ට වරම් පූජා තැබීමේදී පූජා වට්ටියට ගන්නා පලතුරු මෙන්ම මල්දම්වල ස්වභාවය සහ කැවිලි වර්ගද වෙනස් වනු ඇත.

උප⁣දෙස්

වස්කඩුව, රන්නුම්ගල

ශ්‍රී විෂ්ණු ගම්භාර දේවාලයේ

එච්. රංජන් ජයලත් කපුමහතා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.