කටකයේ වක්‍ර වන කුජ කාලගු ණය විපරීත කරයි

දෙසැම්බර් 6, 2024

දෙසැම්බර් 07 ශනි දින පාන්දර 05.04 ට කටක රාශියේ පුෂ නැකැතේ වක්‍ර වන කුජ ග්‍රහයා 2025 වසරේ පෙබරවාරි 24 දක්වා දින 79 ක් වක්‍ර ගමනේ යෙදෙයි.

කටකයේ වක්‍ර වූ කුජ ග්‍රහයා ජනවාරි 21 දින ආපසු මිථුන රාශියට පැමිණෙන අතර දින 200කට අධික කාලයක් එම රාශි දෙකෙහි වක්‍ර සහ නිවෘත වෙමින් සිදුකරන අසාමාන්‍ය ග්‍රහ චලිතය ලොවපුරා කාලගුණික සහ පාරිසරික විපර්යාස රැසක් ඇති කරයි.

අසාමාන්‍ය භූ චලන, ජල විපත්, කාන්තාරවලට හිම වැටීම්, හිම වැටෙන ප්‍රදේශ අධික උණුසුම් හා වියළි වීම, ලොව පුරා සුළි කුණාටු, ජල ගැලීම්, සෘතු වෙනස්කම් මෙන්ම මාර්ග අනතුරු වැඩිවීම්, වසංගත රෝග සහ ඒවායේ නව ප්‍රභේද පැතිරීම් යනාදී ව්‍යසන තත්ත්ව රැසක් නිර්මාණය කරයි.

කුජ ග්‍රහයා වක්‍රවන මොහොතේ තත්කාල වෘශ්චික රාශිය උදාව පවතින අතර එහි නව වැන්නේ කුජ තැන්පත් ය. අධිකරණය, නීති පද්ධතිය, ආගමික සංස්කෘතික හා ආධ්‍යාත්මික අංශ, දේශීය වෙළෙඳ ව්‍යාපාර, විවිධ වූ විද්‍යා හා තාක්ෂණ අංශ, නාවික ක්ෂේත්‍ර යනාදිය තුළ සුවිශේෂී වෙනස්කම් සහ යාවත්කාලීන කිරීම් ගණනාවක්ම සිදුවනු ඇත.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ කුජ ග්‍රහයා තුන්වැන්නට ද අධිපති බැවින් දුම්රිය, බස්, රථවාහන ඇතුළු සමස්ත ගමනාගමන ක්ෂේත්‍රය තුළත්, රජයේ ගබඩා පද්ධතිවලත් වෙනස්කම් මෙන්ම වාහන ආනයනය හා අලුත්වැඩියාව සම්බන්ධ තීරණාත්මක පියවර රැසක් දැකගත හැකි වනු ඇත. තැපැල්, ප්‍රවෘත්ති පත්‍ර, සාහිත්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවලද යාවත්කාලීනවීම් රැසක් දක්නට ලැබෙනු ඇත.

කුජ ග්‍රහයාගේ අසාමාන්‍ය වක්‍ර චලිතය ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් අභියෝග, අපහසුතා සහ විරුද්ධවාදීන්ගේ බලපෑම් ඇති කරවනු ඇත. සන්නිවේදන සහ මාධ්‍යකාරක බුධගේ වක්‍ර වීම ද නිසා ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය සහ වෙනත් සන්නිවේදන ක්‍රමවල සාවද්‍ය වාර්තා දැකිය හැකි වනු ඇත. මේ තත්ත්වය සමනය කර ගැනීමට නිසි වැඩපිළිවෙළක් සකසා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම වැදගත්ය.

 

පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හා

ගුප්තවිද්‍යා උපදේශක

රවිශංඛ සේනානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.