වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
කේතු අපල දුරු කරන නවග්‍රහ මණ්ඩල යන්තරය
පසුගිය කලාපයේ අප රාහු අපලයට උචිත නාගාර්ජුන යන්තරය ගැන සම්පූර්ණ විස්තරයක් පළ කළා. රාහු කියනකොටම මතක් වන්නෙ කේතාව නැත්නම් කේතු ග්‍රහයාව. මේ දෙන්න එක අතකින් බැලුවාම සතයක දෙපැත්ත වගේ. හැම තිස්සෙම රාහුට රාශි 07ක් දුරින් ඉන්න කේතු නරක් වුණාම ලැබෙන පල වෙනස් තමයි. ඒත් මේ දෙන්නම පොළොවට ගොඩක් දුරින් ඉන්නෙ.
අනෙක් ග්‍රහයෝ වගේ වමට නොවෙයි චලනය, රාහු වගේ දකුණට. මේ කේතුගේ අපල ගැන අපි පුංචි කාලෙත් කියැවුවා මතකද ‘ඔළුව ලොකුයි බඩ මහතයි කේතාගේ අපලේ’ කියලා. ඒ කියමනේ නිවැරැදි පැත්තකුත් තිබෙනවා. අප ඒවා පස්සේ කතා කරමු. කේතු නපුරු වුණාම සාමාන්‍යයෙන් ශරීරය කෙට්ටු කරනව තමයි. රාහු මත්පැන්වලට ගිජුයි කිව්වානේ. කේතා පැණි රසට ගිජුයි. ශරීරය සීනි පාලනය කරන්නෙත් කේතා.
කේතාගේ අපලයට යන්තර කීපයක්ම තිබෙනවා. එකක් නවග්‍රහ යන්තරය. මේ යන්තරයටමයි නවග්‍රහ මණ්ඩල යන්තරය කියන්නෙ. ඒක පළමු ස්ථානය ගන්නවා. අනිකුත් යන්තර තමයි නාග මාලය, සීලම්බරය වගේ ඒවා. බ්‍රහ්ම පාතාලයන් හොඳයි. ඒක අඟල් 2ය10 සුරවලට දමන්න බැහැ. මතුරන්නත් කරදරයි. ගොඩක් දවස් පාවිච්චියෙන් ඉන්න ඕන. ඒක දමනව නම් අලුතින් සුරයක් ලියවන්න ඕනෑ. කේතාගේ අරිෂ්ඨ අගුණ හා ප්‍රේත - ගෙවල දෝෂයන්ට විශේෂයි. මේ නවග්‍රහ යන්තරය කේතා නරක් වුණාම උදා කරන අරිටු ප්‍රතිඵල බලමුද. මෙන්න මේ ශ්ලෝකය කියවමු.
“භන්ද්ර ප්‍රවාද ධනහානිම බුද්ධිමාද භුපාග්ය චෞර බය භාන ශරීර පීඩාම් විසුද්ධගාන මා නස්සු කුක්ෂි රෝගා කේතු දසා සදති සංසදය මා පාදස්ම.”
කිසියම් කෙනකුට කේතාගේ අපලය ආවොත් ඒ කිව්වේ මහදසා අතුරු දසා නරක් වුණොත් ඉවරට ඉවරයි. එනම් රණ්ඩු සරුවල් ඇති කරල ධන හානි ඇති කරල කරදර සිදුවනවා. බුද්ධිය විකෘති කර ගැනීමෙන් සිදුකරන මේ වැඩ නිසා හොර බිය ඇති වී හොරු ඒවි වගේ බඩු සොරුන් අරගෙන යාවි වගේ කියල මනස විකෘති කරනවා. ශරීරයට පීඩා ඇති කරවන හානි සිදු කරනවා. තුවාලයක් උණොත් ඒක කසලා දදයක් වණයක් බවට පෙරළෙනවා. කේතු අතුරු දසාවෙ ද මේ කරදර ඇතිවනවා. ශරීරය හකුළුවා තබනවා. කෙට්ටු කරනවා. තුවාලයක් ඇති වුණොත් උඩින් හොඳ වෙලා යටින් ඔඩුදුවනවා. මේ නිසාම අතක පයක සුවනොවන දිගුකලක් අල්ලාගෙන සිටින තුවාලයක් වුණාම අවසානයේ ඒ අත හෝ කකුල කපන්න තරම් සිදුවනවා. අපි බොහෝ විට සිතනවා සීනිවලට තුවාලය උඩුදිවුවා කියලා. මේ විදිහට රෝග ලක්ෂණ ආවොත් වගකීමෙන් කියන්නම් හිත හදාගන්න කියල. මත්පැන් නම් පාවිච්චි කරන්ට එපා. කළොත් උමතුවක් නැති උන්මත්තකයකු වේවි.
නවගුණ යන්තරයට ජප වාර ගණන 7000යි. ඒත් හදිසි අවස්ථාවලදී විශේෂ හේතුවක් නිසා වාර 700කට නතර කරනවා.
නවග්‍රහ මණ්ඩල යන්ත්‍රය
යන්තරය ගැන ලෙහෙසියට මෙහෙම රූපසටහන නිර්මාණය කළාට නිවැරැදි දිග පළල අනුව යන්තරය ආරම්භ කරන්න ඕනෑ. ඕනෑම යන්තරයක් ඒ යන්තරයේ නීතිය අනුව කරන්ට අවශ්‍ය බව අමතරවත් මම කියන්න ඕන නැහැ. මැතිරීමත් ඒ වගේ තමයි. කම්මැළියි කියල වාර ගණන අඩු කරන්න එපා. ඔබට මැතිරීම තාවකාලිකව නතර කරන්න ඕනෑම නම් ස්ඵුටය කියල නතර කළාට කම් නැහැ. නැවත ආරම්භ කරන්නෙ “නමො අස්ථාය ෂඨ “ කියල අරඹන්න. රාහුට අසුරේන්ද්ර කියනව වගේ කේතාටත් නමක් තිබෙනවා. ඒ තමයි බඹපුත්. ශරීරය ඕනෑවට වඩා කෙට්ටු වෙනව නම් මේ යන්තරය නිවැරැදිව කරල පලඳවන්න. කේතා ගැන ටිකක් විස්තර කළොත් හොඳයි කියල හිතෙනවා.
ඉස්සෙල්ලම කියන්න ඕනෑ කේතා බොරුකාරයා. කේතාගේ රූපය දැකල තිබෙනවද? කේතා ඉතා කෙට්ටු ශරීරයක් ඇති හිස කොටස මිනිස් රූපයකටත්, කඳ කොටස නාග රූපයකුත් ඇති රුවක්. ඉන්නෙ මලක් උඩ. අතේ පොතක් තිබෙනවා. ඒ කේතා උගත් කියල පෙන්වන්නේ. අනුන්ගෙන් වැඳුම් පිදුම් ගන්න නෙළුම් මලක් උඩ ඉන්නවා.
අස්විද, මා, මූල, කේතාට අයිති නැකැත් තමයි. කේතාට සුබ අසුබ පල දෙන්න අවුරුදු 7ක් අයිතියි. කේතා ලග්නයේ නම් මිනිසා හකුළුවා තබනවා. කේතා 2 වැන්නේ නම් වස්තුව විනාශ කරනවා. තුන්වැන්නට කේතා හොඳයි. ධනය කීර්තිය ලබාදෙනවා. කේතා හතර වැන්නට හොඳ නැහැ. ඥාතීන් කොටවල විරුද්ධ කාරයෝ කරනවා. පපුවේ රෝග හදනවා. පස් වැන්නේ හිටියොත් මූලික අධ්‍යාපනය දියුණු කරනවා. ඒ කිව්වේ මූලික අධ්‍යාපනයට කේතා හොඳයි. ඒ වුණාට 6 වැන්න ශතෘ ස්ථානයට කේතා හොඳ නැහැ. සතුරු බිය ඇති කරල ඇස්වහ, කටවහ දෙනවා. අර අලුයම කතා නොකර ශරීරය හෝදන කෙම කරන්නෙ එතකොට තමයි. මුහුණේ බිබිළි දමනවා. ඒ බිබිලි හවසට කළුවෙලා පිපිරෙනවා. ඒක තමයි මූලික ලක්ෂණය. කේත 7 නම් ලිංගාශි‍්‍රත රෝග හදනවා. නොදන්න ස්ත්‍රී පුරුෂයන් සමඟ හැසිරීම බලාගෙනයි. ඉතා ප්‍රවේශම් වන්ට ඕනෑ. අනික ඒඩ්ස් වගේ රෝග හදන්න දක්ෂයා.
8 කිව්වේ අෂ්ටමය මෙතැනට කේතා හොඳ නැහැ. හිත කලකිරවනවා. කොර රෝග හදනවා. ඒ වුණාට 9ට හොඳයි. හිතේ ශක්තිය ඇති කරනවා. ඒත් මවුපියන්ට ටිකක් අපලයි. 10 දීත් කොර රෝග ඇති කරනවා. රැකී රක්ෂා නැති කරන්නේ කේළාම් කියලා. කේතාට හොඳම ස්ථානය තමයි අයස්ථානය නැත්නම් 11 වැනි රාශිය. මෙහිදී රූප ස්වභාවය ඇති කරල ධනයත් දෙනවා. ධනය කිව්වේ හදිසි ධනය, ඔය මැණික්, ලොතරැයි වගේ. ඇයි දන්නෙ නැත්ද රත්නපුර පැත්තෙ මැණික් ගරන පතල්වලට කරු හවුල්වලට ගන්නෙ කේතා 11 ඉන්න අයව. අන්තිම රාශියටත් කේතා යහපත් හොඳයි. ලෙඩුන්ට යාචකයන්ට සංග්‍රහ කරන්න, පින් දහම් කරන්න සිත දෙනවා. ලෝකෝත්තර පැත්තට හිත යනවා.
කේතා සාමාන්‍යයෙන් මූලික අධ්‍යාපනයට හොඳ වුණාට උසස් අධ්‍යාපනයට අන්තිමයි. මෙන්න මේ නරක ගතිගුණ පහළ වුණාම මේ යන්තරය පලඳින එක හොඳයි අපේ පරණ පවක් තිබිල හරි කේතා නපුරු සෙනසුරා සමඟ යෝග වුණොත් නරක කාලයක් වගේම මේ දෙන්න 6 වැන්නෙ යෝග වුණොත් ශතෘ ස්ථානයේ දෙන්න තිබෙන අපල ඔක්කොම දෙනවා.
සුපුරුදු පරිදි මේ යන්තරය මතුරන කොට පෙර කිවු පරිදි ඒ සම්බන්ධ කරුණු ඔළුවේ නම් තිබෙන්නම ඕනෑ. එනම් කේතාගේ දිශාව පහළ නැත්නම් පාතාලය, වාහනය නෙළුම් මල, වර්ණය තඹ. මේ යන්ත්‍රය මතුරන කොට කකිකිසි බියක් නැතුව මතුරන්න. පුලුවන් ගොඩක් වාර ගණනක් මතුරන කොට රුක් අත්තන මල් සුවඳක් දැනේවි.
කිසියම් පොතක සඳහන් නැති දෙයක් ලියන්නම්. මේවා ඡ්‍යොතිෂයේ ගුරු මුෂ්ටි. ඒත් සුබසෙත මඟින් හෙළි කරනවා. සාමාන්‍යයෙන් රාහු තදට නරක් වුණාම වැටකෙයියා මල් පූජා කරනවා. ඒක දන්නවනේ. කේතා නරක් වුණාම මිනීමල් පූජා කළාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි සමහරු ඒකට කැමැති නැහැ. ඒ වුණාට ‘වණ්ණ ගන්ධ ගුණෝපේතං’ කියලනේ උගන්වල තිබෙන්නේ.