ජීවිතයේ වැදගත් සිදුවීම්වන වයස ජපන් ක්‍රමයට සොයා ගනිමු

සැප්තැම්බර් 27, 2024

අත්ලේ රේඛා අධ්‍යයනයෙන් අප බලාපොරොත්තු වන්නේ අප ලබා උපන් මේ භවයේ අපට නොපෙනෙන අවිනිශ්චිත අනාගතය කෙබඳු ආකාරයකින් අපට ජය, පරාජය, සතුට, කඳුළ රැගෙන ඒ දැයි කියා කලින් දැනගැනීමය. එහිදී අප වඩාත් උනන්දු වන්නේ අපගේ ජීවිතයේ වඩාත් වැදගත් සිදුවීම් වන අධ්‍යාපනය, විවාහය, රැකියාව, ලෙඩ රෝග, හදිසි අනතුරු, ආදර සබඳතා හා බිඳවැටීම් හෝ වෙන්වීම්, වෙනත් ජයග්‍රහණ ආදිය හරියටම සිදුවන කාල වකවානුව නැතහොත් වයස දැනගැනීමටය.

සාමුද්‍රිකා ශාස්ත්‍රයේ ප්‍රධාන කොටසක් වන හස්ත රේඛා ආධාරයෙන් මේ ජීවිතය මෙන්ම පෙර භවයන් පිළිබඳ පැවසීම ඉන්දියානු ඡ්‍යොතිෂයට අයත් ශාස්ත්‍රයක් ලෙස සැලකුව ද යුරෝපීය රටවල සහ චීනය, ජපානය වැනි රටවලත් එම ශාස්ත්‍රය ඉතා විශිෂ්ට අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇති බව පැවසිය හැකිය. කුමන රටක, කෙබඳු අන්දමින් කියැවූව ද හස්තරේඛා ශාස්ත්‍රයේදී බෙදා දැක්වෙන අත් වර්ග එක සමාන වන අතර රේඛා නම් කරන ආකාරය එකම අයුරු වේ. ඒ අනුව අත්ලක ප්‍රධාන රේඛා ලෙස ගැනෙන රේඛා හයක් ද ප්‍රමුඛ අප්‍රධාන රේඛා හතක් ද දැක්වේ. ඒ අතරින් ප්‍රධාන ලෙස සැලකෙන්නේ, 1. හෘද රේඛාව, 2.ශීර්ෂ රේඛාව, 3.ජීවන රේඛාව, 4.දෛව නැතහොත් ඉරනම් රේඛාව, 5.සූර්ය රේඛාව සහ 6.බුධ රේඛාවයි. අප්‍රධාන රේඛා හත ලෙස ගැනෙන්නේ අඟහරු රේඛාව, සිකුරු දාමය, සංචාරක රේඛාව, සහජ ඥාන රේඛාව, විවාහ රේඛාව, දරුපල රේඛාව සහ වයා ලැසීවා රේඛාවයි. අත්ලේ මණ්ඩල බෙදී ඇති ආකාරය අනුව ගුරු, ශනි, රවි, බුධ, සිකුරු, කුජ, චන්ද්‍ර, යුරේනස් සහ නැප්චූන් ලෙස ද ඇඟලි පුරුක් මඟින් විවිධ කරුණු ද දක්වාලිය හැකි බව හස්ත රේඛා ශාස්ත්‍රය අනුව කියැවේ.

ඔබේ අත්ලේ රේඛාවල පිහිටීම ඇසුරින් ජපානයේ හස්ත රේඛා ක්‍රමයට අනුව ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා සිදුවන නිවැරැදිම වයස දැන ගැනීමේ ක්‍රමය ‘ලියුනෙන්‘ ක්‍රමය ලෙස සැලකේ. එය ඔවුන් හඳුන්වන්නේ හස්ත රේඛා ශාස්ත්‍රයේ හදවත වශයෙනි. එයින් අතීතයේ ඔබට සිදු වූ දේ මෙන්ම අනාගතයේ යමක් සිදු වීමට නියමිත වයස ආසන්නම මාසය දක්වා නිවැරැදිව කීමට ආධුනික හස්ත රේඛා විශ්ලේෂකයකුට පවා හැකි වන අතර නිවැරැදිම දිනයට කීමට නම් ඔබ මේ ශාස්ත්‍රයේ පළපුරුදු නිපුණයකු බවට පත් විය යුතුය.

කෙසේ වෙතත් මෙතෙක් බොහෝ දෙනා ගුරු මුෂ්ටියක් ලෙස පවත්වා ගන්නා මේ ක්‍රමය සුබසෙත පාඨක ඔබ වෙත නිර්ලෝභීව අප මෙසේ නිරාවරණය කරන්නෙමු. එහෙත් එහි ව්‍යතිරේඛ හෙවත් ඒ ඒ අත්ල අනුව සහ එකිනෙකාගේ අත්ලේ රේඛාවල වෙනස්කම් අනුව කරන ගණනය කිරීම් පිළිබඳ අධ්‍යයනයකින් තොරව මෙය භාවිත කළහොත් එහි නිරවද්‍යතාව පිළිබඳ ගැටලු මතු විය හැකි අතර එවැනි පුද්ගලයන්ගේ අර්ධ දැනුම නිසා මේ ශාස්ත්‍රය හෙළා දැකීමෙන් වැළකීම මෙය ප්‍රයෝජනයට ගන්නා සැමගේ යුතුකම ලෙස ද සඳහන් කරනු කැමැත්තෙමු. එයට හේතුව මෙය වැරැදි ලෙස භාවිත කිරීම නිසා සිදුවීමක් විය හැකි වයස සීමාව වසර දහයක පමණ පරතරයකින් වෙනස් වී යා හැකි බැවිනි. මේ ක්‍රමය නිවැරැදිව භාවිත කළ හොත් එය ඔබට අනාගතයේ බොහෝ දේ පිළිබඳ කලින්ම දැනගැනීමට හැකිවාක් මෙන්ම යම් අයහපතක් සිදු වීමට ඇත්නම් එයට පිළියම් යෙදීමෙන් එහි හාණිය අවම කර ගැනීමට හැකි විය හැකි ක්‍රමයක් ද වනු ඇත.

ලියු නෙන් ක්‍රමය අනුව ඔබේ වයස ලකුණු කරන්නේ ප්‍රධාන රේඛා හයෙන් දෙකක් වන ජීවන රේඛාව සහ ඉරණම් රේඛාව මතය. ජීවන රේඛාවක ආරම්භය මේ ක්‍රමයේදී සලකන්නේ වයස අවුරුදු 15 ලෙසය. එය මහපට ඇඟිල්ල පැත්තට හෙවත් ගුරු මණ්ඩලයේ පිටත කෙළවර රේඛාව ආරම්භ වන ස්ථානයේ සලකුණු කෙරේ. මෙහිදී අප මහත් අවධානයක් යොමු කළ යුත්තේ යමෙකුගේ වයස 21 සටහන් කර ගැනීමටයි. එය සටහන් කරගන්නේ දබර ඇඟිල්ලේ අල්ලට සවිවන පුරුකේ මැද ඇඟිල්ල පැත්තේ කෙළවර සිට පහළට අඳීන රේඛාවෙන් ජීවන රේඛාව කැපී යන ස්ථානය අනුවයි. එහිදී ජීවන රේඛාවේ එම කැපෙන ලක්ෂ්‍යය තීරණය කරන්නේ දබර ඇඟිල්ලේ පුරුක පතුලේ පළලට සමාන දුරක් ජීවන රේඛාවෙන් සටහන් කරමිනි. වයස 15 හා 21අතර රේඛා කොටසේ හරි මැද වයස 18ක් ලෙස සලකුණු කළ හැකිය. වයස 21 මෙන්ම 30 ගණනය කර ගැනීමද සීරුවෙන් කළ යුතුය. මෙහිදී රේඛාවක් මත දුර අඟලකින් දහයෙන් පංගුවක් වන විට අවුරුද්දක් ගත වන්නේය යන්න ලියුනෙන් ක්‍රමයේ වැදගත් සංසිද්ධියකි. ඇතැම් අත්ලවල අදාළ රේඛා නොපිහිටීම හෝ විකෘත වීම සහ ද්විත්ව රේඛා පිහිටීම වැනි හේතු මත මේ ගණනය වැරදි ලෙස සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් හස්ත රේඛා පරීක්ෂාවකින් අනාවැකි පළ කිරීමට පෙර වයස සටහන් කර ගත යුතුය.

ඇතැම් අත්ලක හෘද රේඛාව සහ ශීර්ෂ රේඛාව එකක් ලෙස දැකිය හැකිය. එවැනි රේඛාවක් ජපන් හස්ත රේඛා ශාස්ත්‍රයේදී හඳුන්වන්නේ හියාකු නිගිරි රේඛාවක් ලෙසයි. එය අත්ලේ අනෙක් සලකුණු සමඟ වාසනාවන්ත ලෙස පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය සියයක් දේ එක මිටට ගත හැකි අයකු ලෙස සැලකීම එයින් අර්ථවත් කෙරේ. එසේම සියලු සතුටින් හා සම්පතින් ආඪ්‍ය රාජධානියක පාලකයකු ද වන තරමට එය බලවත්ය. එහෙත් එයටම වානර රේඛාව ලෙස නම් කරන්නේ මේ බද්ධ රේඛාව නරකට සිටියහොත් ඒ පුද්ගලයා යම රජුමෙන් විය හැකි බැවිනි. ඒ නිසාම මෙවැනි රේඛාවක් පිහිටි අයගේ අත්ලෙහි වයස සටහන් කරන විට වසරක් අඩුවෙන් සලකුණු කර ගැනීමට වගබලා ගත යුතුය.

දබර ඇඟිලි පුරුකේ දිග ජීවන රේඛාව දිගේ තව දුරටත් සටහන් කරමින් වයස 29, 40, 55 සහ 81 ආදි වශයෙන් වයස සලකුණු කළ හැකිය. ඒ ලක්ෂ්‍ය දෙකක් අතර හරි මැද වයස 25, 34, 47, 67 ආදි වශයෙන් සලකුණු කර ඉතිරි කොටස් සමානව බෙදා ගැනීමෙන් අවුරුදු ගණන සෙවිය හැකිය.

ඉරණම් රේඛාව ඇතත් නැතත් එය ඇති බව සලකා මැද ඇඟිල්ලේ අත්ලට සවිවන පුරුකේ මුල සහ මැණික් කටු රේඛාවල ඉහළම රේඛාව අතර දුර ගෙන ඉන් හරි අඩක් අවුරුදු 30 ලෙස ගණනය කළ යුතු වේ. එම දුරින් හරි අඩක් වයස 21 සිමාව දක්වන අතර රේඛාවේ ඉහළ භාගයේ හරි අඩක දුර වයස 52 ලෙස ගැනේ. ඉරණම් රේඛාවේ වයස් සීමා ලකුණු කිරීමේදී හෘද රේඛාව සහ ශීර්ෂ රේඛාව අපට ඉතා වැදගත් වෙයි. එයින් හෘද රේඛාව සහ ඉරණම් රේඛාව ඡේදනය වන ස්ථානය වයස 56 ලෙසද ශීර්ෂ රේඛාව සහ ඉරණම් රේඛාව ඡේදනය වන ස්ථානය වයස 35 ලෙසද සලකනු ලැබේ. එසේම අවුරුදු 21 හා 30 අතර හරි මැද අවුරුදු 25 ද, අවරුදු 30 හා 52 අතර හරි මැද අවුරුදු 35 ද ලෙස සැලකේ. ඒ අනුව සමාන කොටස්වලින් බෙදා ඉතිරි වයස් සීමා සලකුණු කරගත යුතුය.

ඔබ ඇතැම් විට අවධානය යොමු නොකරනවා වුවත් අප ශරීරය තුළ ශක්ති ගලනය හා චලනය සිදු වන්නේ වම් අතේ අග සිට ආරම්භ වී මැණික් කටුව අසලින් ශරීරය තුළට ගමන් කර එය ශරීරය පුරා සංසරණය වී දකුණු අතේ මැදැගිල්ලේ කෙළවර පුරුකෙන් එළියට විහිදීමෙනි. මෙය සෑම පුද්ගලයකුටම පොදු කාරණයකි. එහෙත් වානර රේඛාව පිහිටි අයට එහි අධිබලයක් පවතිනු දැකිය හැකි බැවිනි ඔවුන්ගේ වයස වසරකින් අඩුකළ යුතු බව ඉහත සඳහන් කෙරුණේ. මෙවැනි කරුණු රැසක් හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යයනයේදී යොදාගත යුතුය. මෙය ඔබට මේ ශාස්ත්‍රය පිළිබඳ ඇති උනන්දුවට අත්වැලක් පමණක් වන අතර මෙය සම්පූර්ණ ලියු නෙන් ක්‍රමය ලෙස සැලකිය නොහැකිය. එයට හේතුව එය එතරම් ගැඹුරු ලෙස රේඛාවල වෙනස්කම් මත කරුණු දක්වා ඇති බැවිනි.

කෙසේ වෙතත් අපේ ජීවිතයේ බොහෝ දේ කිරීමට උදවු වන දෑත අපේ අනාගතය පිළිබඳ අනාවැකි කියන වක්තෘවරයා ලෙස ද සලකුණු පෙන්වන මුත් ඒවා පිළිබඳ නොදැන සිටීම නිසා බොහෝ අවස්ථා අපට ගිලිහී යා හැකිය. ඇතැම් විට දරුණු රෝගයකින් හෝ මරණයෙන් පවා මිදීමට පෙර පින් මතු කරගෙන හෝ කුසල් වැඩෙන කටයුතුවල නිරත වීම වැනි බොහෝ පිළියම් ක්‍රම මඟින් සමනය කරගත හැකි අපල උපද්‍රව පිළිබඳ කල්තියා දැනගත හැකි වූවානම් යැයි අපට සිතෙන්නේ යමක් සිදු වූ පසුවය. එහෙත් මේ ලොව ඇතැම් රහස් කෙරෙහි අපගේ උනන්දුව ඇති කරගන්නේ නම් එයින් ලබාගත හැකි ප්‍රයෝජන ද බොහෝය. ඒවා හෙළි කරගත හැකි වන්නේ ද එවැනි ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි බවට අත්ලේ සටහන් වූවන්ටම පමණි. අන් අයට ඔවුන්ගේ දැනුමෙන් ප්‍රයෝජන ගත හැකිය.

(විශේෂ ස්තූතිය Palmistry Revolution  කෘතිය ලියූ යසුතෝ නිෂිතානි හස්තරේඛා විශේෂඥයාට සහ රද්දොළුගම ලෙස්ලි ජයසිංහ මහතාට)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.