අධ්‍යාපන හා වෙළෙඳ කටයුතුවලට විශිෂ්ට හෝරා දෙකක්

සැප්තැම්බර් 13, 2024

බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්‍යාපනය හා වෙළෙඳ කටයුතු සඳහා යෙදෙනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනිදා බදාදා උදේ 5.59 සිට 6.11 දක්වා පවතින බුධ ග්‍රහයාගේ පංචම කාල හෝරාවේ උදේ 5.59 - 6.04 පවතින බුධගේ සූක්ෂ්ම කාල හෝරාව, විෂ්ණු දෙවියන්ට හෝ ගණ දෙවියන්ට හෝ සරස්වතී දේවියට නැඟෙනහිර දිශාවෙන් පහනක් දල්වා, ළා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී නැඟෙනහිර බලා දරුවන්ට අකුරු කියවීම ආරම්භ කිරීමට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාග සඳහා පාඩම් කිරීම ඇරැඹීමට ශුභ වන්නේ ය. ඒ අනුව මෙකී ශුභ මොහොත ශුභ වන්නේ මේ වන විට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති එදින උදාව පවතින අද නැකතට සීහෙන, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, හත, සුවණ, රෙහෙණ, පුවපල්, පුවසල්, බෙරණ, සිත, දෙනට, මුවසිරස යන නැකැත්වලින් උපන් ජන්මීන්ටය.

එමෙන්ම ඔක්තෝබර් මස 02 වැනිදා බදාදා දින උදේ 5.59 - 6.04 දක්වා පවතින බුධගේ සූක්ෂ්ම කාල හෝරාව යට කී ලෙස අකුරු කරවීමට, විභාග සඳහා පාඩම් කිරීම ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට මෙන්ම වෙළෙඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ශුභය.

එසේ එකී හෝරාව ශුභ වන්නේ බුධ මහ දශා අන්තර් දශා ගත කරන එදින උදාව පවතින උත්‍රපල් නැකතට සීහෙන, රෙහෙණ, හත, සුවණ, අද, සා , සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, මා, මුල, අස්විද, පුවපල්, පුවසල, බෙරණ යන නැකැත්වලින් ජන්ම ලාභය ලබා ඇති ජන්මීන්ට පමණි.

සැප්තැම්බර් මස 23 වැනිදා සඳුදා උදේ 10.10ට බුධ ග්‍රහයා තම උච්ච රැස වන කන්‍යා රාශියේ ගමන් ආරම්භ කරන විට වෘශ්චික තත්කාල ලග්නය උදාව පවතින අතර බුධ ග්‍රහයා මෙකී වෘශ්චික තත්කාල ලග්නයේ 11 වැන්න වූ කන්‍යා රාශියේ 10 වැන්නාධිපති රවි සමඟ යෝගව වෘශ්චික තත්කාල ලග්නයෙන් 8 වැන්නේ පතිත තත්කාල ලග්නාධිපති අඟහරුගේ පූර්ණ දෘෂ්ටියටද, උච්ච 9 වැන්නාධිපති සඳු සමඟ යෝගව තත්කාල ලග්නයේ 2 - 5 අධිපති ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වය.

ඒ අනුව එලෙස ශුභ ග්‍රහයන්ගේ වික්ෂණයට ලක්වූ බුධ ග්‍රහයා තත්කාල ලග්නයේ 11 වැන්නේ උච්චව ගමන් ගැනීම, බුද්ධිමතුන්ට, උගතුන්ට ශුභඵල ගෙන දෙන ග්‍රහගෝචරයක් වන්නේය. මෙකී බුධ ග්‍රහයාගේ කන්‍යා රාශි ගෝචරය ලංකා කුම්භ ලග්න කේන්දරයට බලපාන ආකාරය පිළිබඳව කරුණුූ විමසා බලන කල විශ්වවිද්‍යාල සේවක සහ සිසුන් පිළිබඳ ප්‍රශ්නවලට මෙකී බුධ ග්‍රහයා කන්‍යා රාශියේ ගෝචර වන කාලය තුළ විසඳුම් ලැබෙන බව පෙනී යයි. සහල්වලට හොඳ මිලක් ලැබීම නිසා කාලයක් නොවිසඳී තිබුණු ගොවීන්ගේ වී මිලදී ගැනීමේ ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක් මෙකී බුධ ග්‍රහයාගේ කන්‍යා රාශි ගමනේදී ලැබෙන්නේය.

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියාගේ 3 - 6 අධිපති බුධ ග්‍රහයා 6 වැන්න වූ කන්‍යා රැසෙහි ගමන් කිරීම ශුභ වන්නේ උත්්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 3, 6, 8, 12 යන රාශියක පතිතව ඇති දැනට බුධ මහ දශා අතුරු දශා ලබා ඇත්නම් පමණි. ඒ අනුව මෙකී බුධ කන්‍යා රාශියේ ගෝචරය වන කාලසීමාව තුළ වෛද්‍ය, හෙදි, පශු, වෛද්‍ය විභාග සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකී විභාගවලින් උසස් ලෙස සමත් වීමට හැකි වන්නේය. එමෙන් උප්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා, 6,8,12 යන භාවයක පතිතව ඇති ජන්මීන්ට උප්පත්තියේ යෙදී තිබුණු හර්ෂ නම් විපරීත යෝගය ගෝචරයෙන් සක්‍රිය වීම නිසා, නඩුහබවලින් ජයග්‍රහණය කිරීමට මෙන්ම සතුරු කරදරවලින් මිදීමට හැකි වන්නේය. ඒ අනුව මෙකී ශුභඵල එලෙස ලැබීමට ලග්න කේන්දරයේ මෙකී බුධ ග්‍රහයා ජන්ම සඳුගෙන් 2,6,8,10,11 යන රැසක ගෝචරය විය යුතුය.

වෘෂභ ලග්නයට

වෘෂභ ලග්න කේන්දර හිමියාට 2 - 5 අධිපති වන බුධ ලග්නය අර්ධ යෝගකාරකත්වයක් උසුලන ග්‍රහයෙකි. එහෙයින් මෙකී බුධ 5 වැන්න වූ කන්‍යා රැසෙහි ගමන් කිරීම උත්්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා කේන්ද්‍ර ත්‍රිකෝණ භාවයක පිහිටා ඇති බුධ ග්‍රහයා අයත් මහා දශා අන්තර් දශා ගත කරමින් සිටින ජන්මීන් ශුභ ඵල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් වන අතර ඒ අනුව එවන් ග්‍රහචාරයක් ඇති ජන්මින්ගේ උසස් අධ්‍යාපන කටයුතු මෙකී කාල සීමාව තුළ සාර්ථක වන අතර රැකි රක්ෂා විවාහ කටයුතු, හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වන්නේය. එමෙන්ම දරුඵල නැති කාන්තාවන්ට මෙකී කාලසීමාව තුළ දරු ගැබ් ඇති වන්නේය. ඒ අනුව මෙකී ශුභ ඵල ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ උප්පත්ති කේන්දරයේ ජන්ම සඳු 2,4,8,10, 12 යන භාවයක පිහිටා ඇති ජන්මීන්ට පමණි.

මිථුන ලග්නය

මිථුන ලග්නයට 1 - 4 අධිපති බුධ ග්‍රහයා උච්ච සිව්වැන්න වූ වෘෂභ රැසෙහි උච්චව ගමන් ගැනීම ශුභ වන්නේ උප්පත්ති කේන්දරයේ 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක බුධ ග්‍රහයා පතිතව ඇති දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගත කරමින් සිටින මිථුන ලග්න හිමියන්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මිථුන ලග්න හිමියන්ට ස්වකීය බුද්ධි බල මහිමය හේතු කොට රැකියා, ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේය. එමෙන්ම උත්්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා මිථුන, කන්‍යා රැසක බුධ ග්‍රහයා පිහිටා ඇති මිථුන ලග්න හිමියන්ට උප්පත්තියේ යෙදී තිබුණු භද්‍රා නම් පංච මහා පුරුෂ යෝගය ගෝචරයෙන් සක්‍රිය වීමෙන් ශුභ ඵල ලැබෙන අතර ඒ අනුව ඡ්‍යොතිෂඥයන්, පුවත්පත් කර්තෘවරයන්, නවකතා කෙටි කතා ලේඛකයන් විද්‍යාඥයන්, නීතිඥයන් වැනි බුද්ධිමතුන්ට ඔවුන්ගේ දක්ෂතාවයන් වෙනුවෙන් සහතික සම්මාන ලැබෙන ජීවන තත්ත්වය උසස් වන කාල පරිච්ඡේදයක් වන්නේය. එනමුත් යටකී ශුභඵල සර්ව ප්‍රකාරයෙන් ලැබීමට නම් ගෝචර බුධ ජන්ම සඳුගෙන් 2,4,6,8, 10,11 ගමන් කළ යුතුය.

කටක ලග්නය

කටක ලග්න කේන්දර හිමියාගේ 3 -12 අධිපති බුධ තුන්වැන්න වූ කන්‍යාවේ උච්චව ගමන් කිරීමෙන් ශුභ ඵල ලැබෙන්නේ උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 3,6, 10,11 යන උපචය භාවයක පතිතව සිටියදී බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇත්නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති බුධ ග්‍රහයා උත්්පත්ති කේන්දරයේ 3,6,10,11 යන භාවයක පතිත ලේඛක ලේඛිකාවන්ට ලිපිකාර වෘත්තියක නැයැළෙන්නන්, ජංගම වෙළෙඳුන්ට, වෛද්‍යවරුන්ට, පරිගණක ශිල්පීන්ට, පොත්පත් ලිපිද්‍රව්‍ය වෙළෙඳුන්ට, ඔවුන්ගේ වෘත්තිය කටයුතු තුළ දියුණුවක් ඇති කරන කාලසීමාවක් වන්නේය. ඒ අනුව ඔවුන්ට යටකී ලෙස තම වෘත්තිය කටයුතුවලින් අපේක්ෂිත ශුභ ඵල ලැබෙන්නේ ඔවුන්ගේ ලග්න කේන්දරවල ජන්ම සඳු 2,5,6 8, 10, 12 යන භාවයක පතිතව ඇත්නම් පමණි.

 

සිංහ ලග්නය

සිංහ ලග්නයට 2 - 11 ධන සහ අය භාවාධිපති වන බුධ ග්‍රහයා 2 වැන්න වූ ධන ස්ථානයේ උච්චව සිටීම ශුභ වන්නේ උත්්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 2,11 යන ධන භාවයක හෝ 1,4, 7 , 10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්ථානයක පිහිටා ඇති දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරමින් සිටින ජන්මීන්ට ඒ අනුව එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට ස්වයංරැකියා, රැකියා, වෙළෙඳ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, විදේශ සංචාරය, විදේශ වෙළෙඳාම යනාදි කටයුතු හේතු කොට වෙනදාට වඩා අතමිට සරුවන අතර තැන්පත් ධනය වර්ධනය වීමක් සිදුවන්නේය. ඒ අනුව මෙකී ශුභ ඵල එලෙස ලැබෙනුයේ ගෝචර බුධ උප්පත්ති සඳුගෙන් 2,4,6,8, 11 යන භාවයකට වැටේ නම් පමණි.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියාගේ 1 -10 අධිපති බුධ ග්‍රහයා ලග්නයේ උච්ච ගමන් ගැනීම ශුභ වන්නේ දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති උත්්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා ලග්නයෙන් 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්ථානය බලවත්ව පිහිටා ඇති ජන්මීන්ටය. ඒ අනුව එවන් ග්‍රහ බලයක් ඇති කන්‍යා ලග්න හිමියන්ට රැකියා හවුල් අධ්‍යාපන ක්‍රීඩා වැනි කටයුතුවල දියුණුවක් ඇති වන අතර, උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා මිථුන, කන්‍යා යන රාශියක පතිතව සිටීමෙන් භද්‍ර නම් පංච මහා පුරුෂ යෝගය යෙදී ඇති නීතිඥයන්, ගණනකට ධීවරයන්, විද්‍යාඥයන්, භාෂා විශාරදයන් වැනි උගතුන්ගේ උත්පත්තියේ යෙදුණු භද්‍ර යෝගය ගෝචරයෙන් සක්‍රිය වීම හේතු කොට ඔවුන්ගේ වෘත්තිය දක්ෂතාවයන් සඳහා සහතික සම්මාන ලැබෙන අතර ස්වකීය ජීවන තත්ත්වය උසස් වීමට කටයුතු යෙදෙන්නේය. මෙකී ශුභ ඵල ඒ ආකාරයෙන් ලැබීමට නම් ජන්ම සඳුගෙන් 2,4,6,8,10,11 යන භාවයක මෙකී බුධගේ ගෝචරය සිදුවිය යුතුය.

තුලා ලග්නයට

තුලා ලග්නයට අර්ධ යෝගකාරකත්වයක් උසුලන 9 - 12 අධිපති බුධ ග්‍රහයාගේ 12 වැන්න වූ කන්‍යා රාශී ගෝචරය ශුභ වන්නේ දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇති ජන්මීන්ගේ උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක හෝ 6,8,12 යන දුෂ්ට භාවයක පතිතව ඇත්නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහබලයක් ඇති ජන්මින්ගේ රැකියා විදේශගමන්, උසස් අධ්‍යාපන කටයුතු, ස්වයං රැකියා කටයුතු මෙකී බුධගේ කන්‍යා රාශි ගෝචරයේදී සාර්ථක වන අතර උප්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 6,8,12 යන භාවයක පතිතව ඇති ජන්මින්ගේ විමල නම් විපරීත රාජයෝගය මෙකී බුධගේ කන්‍යා රාශි ගමනේදී සක්‍රිය වන හෙයින් ජ්වර ග්‍රහ බලයක් ඇති තුලා ලග්න හිමියන්ට මෙකී කාල සීමාවේදී අනපේක්ෂිත පදවි ලාභ නිලතල බලතල හිමිවන්නේය. එහෙත් මෙකී සුබපල සර්ව ප්‍රකාරයෙන් ලැබීමට නම් ජන්ම සඳුගෙන් 2,4,6,8,10, 11 යන භාවයක මෙකී බුධ ග්‍රහයාගේ ගෝචරය සිදුවිය යුතුය.

 

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නය හිමියාගේ 8 -11 අධිපති බුධ ග්‍රහයා 11 වැන්න වූ කන්‍යා රාශියේ ගෝචර වීම ශුභ වන්නේ දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා බුධ ග්‍රහයා උත්පත්ති කේන්දරයේ 3,6,10, 11 යන උපචය භාවයක පතිතව ඇත්නම් පමණි. එවැනි ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන්ට මෙකී බුධගේ කන්‍යා රාශි ගෝචර ගමනේදී ජංගම වෙළෙඳ කටයුතු වලින් , පොත්පත් ලිපිද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරවලින්, ගොවිතැන් සහ සතුන් ඇති කිරීමේ ව්‍යාපාරවලින් නීතිය පිළිබඳ කටයුතුවලින්, ජංගම දුරකතන සහ පරිගණක වෙළෙඳාමෙන් නීතිය පිළිබඳ කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබෙන කාලයක් වන්නේය. ඒ නමුත් මෙකී ප්‍රතිඵල වඩාත් හොඳින් ලැබෙන්නේ උත්පත්ති කේන්දරයේ ජන්ම සඳු ලග්නය 2 වැන්න, 4 වැන්න, 8 වැන්න, 10 වැන්න යන භාවයක පතිතව ඇත්නම් පමණි.

 

ධනු ලග්නය

ධනු ලග්න කේන්දරයට බාධක භාවයක් වූ 7 වැන්නට සහ කර්ම ස්ථානය වන 10 වැන්නට අධිපති වන බුධ 10 වැන්න වූ කර්ම ස්ථානයේ ගමන් කිරීම ශුභවන්නේ දැනට බුධ මහ දශා අන්තර් දශා ලබා ඇති උත්පත්ති, කේන්දරයේ බුධ ග්‍රහයා 1,4,7, 10 යන කේන්ද්‍රයෙන් 5, 9 යන ත්‍රිකෝණ ස්ථානයක පිහිටා ඇති ජන්මින්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති ධනු ලග්නයෙන් උපන් ජන්මීන් ගේ රැකියා ව්‍යාපාර, ද්විතීය අධ්‍යාපන, උසස් අධ්‍යාපන, ක්‍රීඩා කටයුතු සාර්ථක වීම, විවාහ කටයුතු සාර්ථකවීම වැනි දෑ සිදුවන්නේය. එනමුත් මෙකී කටයුතු එලෙස සාර්ථක වීමට නම් මෙකි බුධ ග්‍රහයා ගෝචරය වන කන්‍යා රැස ජන්ම සඳුගෙන් 2,4,6,8,10,11 යන භාවයකට වැටිය යුතුය.

මකර ලග්නය

මකර ලග්න කේන්දරයට අර්ධ යෝගකාරක ග්‍රහයෙක් වන 6 - 9 අධිපති බුධ 9 වැන්න වූ කන්‍යා රැසෙහි උච්චව ගමන් කිරීම ශුභ වන්නේ දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති බුධ ග්‍රහයා උත්පත්ති කේන්දරයේ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක පිහිටා ඇති ජන්මීන්ටය. එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න ජන්මින්ගේ විදේශ ගමන් ද්විතීය අධ්‍යාපන උසස් අධ්‍යාපන කටයුතු, විදේශ වෙළෙඳ කටයුතු, රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට මෙකී බුධගේ කන්‍යා රාශි ගෝචරය හේතුවන නමුත් එලෙස එකී කටයුතුª සාර්ථක වීමට නම් උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා ජන්ම සඳුගෙන් 2,4,6,8,10,11 යන රැසක පතිතව සිටිය යුතු වන්නේය.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට 5 - 8 අධිපති බුධ අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. මෙලෙස අර්ධ යෝගකාරකත්වයක් උසුලන බුධ ග්‍රහයා 8 වැන්න වූ කන්‍යා රාශියේ ගෝචරය වීම ශුභ වන්නේ උත්පත්ති නේන්දරයේ බුධ 3, 10, 11 යන භාවයක හෝ 6,8,12 යන දුෂ්ට භාවයක පතිතව ඇති දැනට බුධ ග්‍රහයාට අයත් මහා දශාවක් හෝ අතුරු දශාවක් ලබා ඇති ජන්මීන්ටය. එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න හිමියන්ට කෙටි ගමන්වලින් ජංගම වෙළෙඳ කටයුතුවලින් පොත්හල් සම්බන්ධ ව්‍යාපාර කටයුතුවලින් ලිපිකාර වෘත්තිය කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබීම් ඇති වන්නේය. එමෙන්ම උප්පත්ති කේන්දර බුධ ග්‍රහයා 6,8,12 යන භාවයක පතිතව ඇති ජන්මීන්ගේ උප්පත්තියේ යෙදී තිබුණූ සරල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන් සක්‍රිය වීමෙන් අන්තිම කැමැති පත්‍රවලින් කෙනෙකුගේ මරණයෙන් මිල මුදල්, යාන, වාහන ගේදොර ඉඩකඩම් වැනි සම්පත් හිමි වන්නේය. මෙකී ශුභඵල එලෙස ලැබීමට නම් උප්පත්ති කේන්දරයේ ජන්ම සඳුගෙන් 2, 4, 6, 8, 10, 11 යන භාවයක මෙකී බුධ ග්‍රහයාගේ ගෝචරය සිදුවිය යුතුය.

මීන ලග්නයට

මීන ලග්න හිමියාගේ බාධක භාවයන් වන 7 වැන්නට සහ බන්ධු භාවයක් වන සිව්වැන්නට හිමිකම් කියන බුධ ග්‍රහයාගේ 7 වැන්න වූ කන්‍යා රාශිය ගෝචරය ශුභ වන්නේ දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලබා ඇති උප්පත්ති කේන්දරයේ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක බුධ ග්‍රහයා පිහිටා ඇති ජන්මීන්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මීන ලග්න හිමියන්ගේ ස්වයං රැකියා හවුල් ව්‍යාපාර කටයුතු අධ්‍යාපන මෙකී කාලසීමාවේදි සාර්ථක වන අතර උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා, මිථුන හෝ කන්‍යා රැසක යෙදීමෙන් පැන නැඟුණු භද්‍ර නම් පංච මහ පුරුෂ යෝගයක් ලග්න කේන්දරයේ යෙදී ඇති මීන ලග්න හිමියන්ට, දෙමහල් නිවසක් ලැබෙන අතර විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට උගත් බුද්ධිමත් තරුණයෙක් හෝ තරුණියක් සමඟ යුගදිවියට පිවිසීමට අවස්ථාව උදාවන්නේය. මෙකී ශුභ ඵල ඒ අකාරයෙන් ලැබීමට නම් ජන්ම සඳු උත්පත්ති කේන්දරයේ 2,4,6,9,10,12 යන භාවයක පතිතව සිටිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.