ජූලි 27 සිට අගෝස්තු 02 දක්වා උපන් ඔබගේ ගතිගුණ

ජූලි 26, 2024

 

ජූලි 27

(පෞද්ගලික අංකය 9):

 

මෙතෙක් ජූලියට හිමිව පැවැති කලාකාමී බව පිරුණු චංචල ගති ස්වභාවය වෙනස් මානයකට හැරවෙන සංධිස්ථානයක තමයි ඔබේ උපත සනිටුහන් වෙන්නේ. නාහේට නාහන ස්වභාවයත් යහළුවන් මත්තෙ නැහිල්ලත්, සාමූහික ක්‍රීඩා ළැදියාවත් ඔබ කෙරෙන් කැපී පෙනේවි. පැදුරු සාජ්ජ දමන්නත් ඔබ හරි රුසියෙක්. ආගමට දහමටත් පුදුමාකාර ළැදියාවක් දක්වනවා. උසස් අය සමඟ සමාජ සම්බන්ධතා පවත්වා ගෙන යාමට ඔබට ඇත්තේ සුවිශේෂි හැකියාවක්. වියපත් අයගෙන් බොහෝ පල ප්‍රයෝජන ද පෙන්නුම් කෙරෙනවා. අවදානම්වලට අත වනා පිළිගන්නා ස්වභාවයක්ද ඔබ කෙරෙන් පෙන්නුම් කෙරෙනවා. ඩෙංගු වසංගතයට ගොදුරු වීමේ වැඩි අවදානමක්ද පවතිනවා. ඔබ තරුණ වයසේ පසු වෙන්නෙක් නම් නොගැළපෙන ලිංගික සම්බන්ධතා නිසා නම කැතවීමේ අවදානම ගැනත් දෙවරක් හිතා බලනවා නම් හොඳයි. සුළිසුළං, ගිනි අවි හා ගින්දර ආදියෙන් අනතුරු නිතර ඇති වීමෙන් ආර්ථික වශයෙන් නැත්තටම නැති වීමේ ඉඩ වැඩියි. ආරක්ෂණය ඔබේ ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් කර ගත යුතු අතරම කෝප ගන්නා ස්වභාවය පාලනය කර ගෙන ඔබ සතු මුදල් මවන රහස් අත්හදා බැලීමෙන් විස්්මිත ප්‍රතිපල අත්කර ගතහැකි වනු ඇත.

 

ජූලි 28

(පෞද්ගලික අංකය 1 හෝ 4 නැඹුරුව):

මේ දවසේ උපන් අය අතරින් ශරීර ස්වභාවය අනුව කෙසඟ හා කොණ්ඩය ඉතා අඩු අය සමාජයෙන් තරමක් හුදෙකලා වෙලා ජීවත් වෙන්න කැමතියි. උසට සරිලන මහතින් හෙබි පිරුණු ශරීරය හා කොණ්ඩය තරමක් ඇති අය අනික් කොට්ඨාසයට වඩා සමාජශීලීබවින් අනූනයි. පොදුවේ මේ අය දකොට්ඨාසයම යන යන තැන නායකත්වය හඹා යන්නයි කැමැත්ත. නායකත්වය, මමත්වය පිළිබඳ හැඟීම් කැපී පේනවා. නෑකම නොතකා සාධාරණය ඉටු කිරීමත් සුවිශේෂීයි. පොදුවේ හොඳ ආත්ම විශ්වාසයක් මේ අයට හිමියි.

තරමක් ආත්මාර්ථකාමී වුණත් කරන හැම දෙයක්ම හොඳට, හරියට කරන්න ඔබ කැමති විත්තිය මීට කළින් ඔබටම අවබෝධ වෙලා නැද්ද? ඕනෑම මාසයක 28 දින උපන් අය තුළ යම් පමණකට හෝ ලලනා ගති ඇතුළත් බව පැවසෙනවා. කෙතරම් උගත් හෝ ශක්තිමත් අයකු තුළ වුවද මානසික තලය තුළින් මේ තත්ත්වය කැපී පෙනෙනු ඇති. එහෙත් එය හරි හැටි හඳුනා ගැනීමෙන් පසු ඔබට තත්ත්වය පාලනය කරගත හැකි වේවි. ඔබ කෝප ගැන්වූ විට සිදුවන අනර්ථය කිසිවෙකුටත් සිතා ගැනීමටත් බැරි තරම්. ඒ වගේම දුෂ්කර ළමා කාලයක් වැඩි වශයෙන් කැපී පෙනේවි. ජීවිතයේ මුල් වසර 37 ට පා තැබීමත් සමග ඔබේ නැඹුරුව අංක එකටමයි. එතැන් පටන් ශීඝ්‍රගාමී ධාවන පථයකට ඔබේ දිවියේ ගමන් මග අවතීර්ණ වනු ඇති.

 

ජූලි 29

(පෞද්ගලික අංකය 2)

අවුරුද්දේ වෙන කවරදාක හෝ පෞද්ගලික අංක 2 න් උපන් අයට වඩා අභ්‍යන්තරයෙන් ඔබ ඉතා ශක්තිමත්. ඒ කොහොම වුණත් ඕනෑම මාසයක 29 න් උපදින අය සඳු හා කුජ යන ජන්මාන්තර වෛරක්කාරයන් දෙදෙනාගේ ගැටුම්වලට මැදිව නිස්කාරණේ පීඩා විඳීනවා. දිවි ගමනේ සැලසුම් නිරතුරුව දෛවෝපගතව අවුල් සහගත වනු ඇති. ඔබට ආරාධනා කරන්න කැමතියි ජුලි 29 උපන් ඔබ දන්නා අයගේ ජීවිත දිහා සමීපව එබිකම් කරලා ලබා ගන්නා දැණුම අනුසාරයෙන් ඔබේ ජීිවිතය සාර්ථක කර ගන්න කියලා. ඒ වගේම සිහිපත් කරන්න කැමතියි පෞද්ගලික අංකය 2 ට අයත් ප්‍රබලම කොට්ඨාසයකට ඔබත් අයිතියි කියලා. අලියා තමන්ගේ විශාලත්වය දන්නේ නෑ කිව්වට ඔබ ඔබ සතු ජවය, ශක්තිය දෙක සුළු කොට තකන්න නම් එපා කිසිම දවසක. සොඳුරු අඥාදායකත්වයක් ඔබ වෙතින් කැපී පෙනෙන අතර සුවිශේෂී තනතුරු ඔබ පස හඹා එනු ඇති. නිර්මාණකරණය තුළින් සුවිශේෂී ලැබීම් ද ඇති. ජලාශ්‍රිත ප්‍රදේශයක වාසයට රුචිය.

ජූලි 30

(පෞද්ගලික අංකය 3)

ජූලි 30 උපන් දින හිමි අය මුල් වසර 21 ක කාලය තුළ විවිධ වසංගත ලෙඩ රෝගවලට පහසුවෙන්ම ගොදුරු විය හැකියි. කොහොම වුණත් අංක 3 කියන්නේ ජීිවිතයේ තමන්ම හොයා ගන්නා මඟක දැඩි උත්සාහයෙන් හා කැපවීමකින් යුතුව ගමන් ගන්නා අංකයක් බව දැනටමත් ඔබ දන්නවා ඇති. ස්වෝත්සාහයෙන් ජීවිතයේ බොහෝ ලෞකික සැප සම්පත් ලඟා කර ගන්නා අයෙක්. ඇසළ මහේ අග උපන් ඔබට බිනර මහේ හිරුගේ ආකර්ෂණය විසින් දායාද කරන දරාගැනීමේ ශක්තිය සුළුපටු නෑ. සිහින මඟින් හෝ විවිධ ඉඟි මගින් අනාගත සිදුවීම්වල පෙර නිමිති ඔබ කොතෙක් නම් දැක ඇති මුත් ඒවා නොසලකා ඇතිද? ස්වභාව ධර්මයෙන් ඔබ වෙත දායාද කර ඇති එකී සුවිශේෂී හැකියාව නොසලකා අපතේ යවන්න එපා කියලත් දැණුවත් කරන්න කැමතියි. ඔබ තුළ ඇති අනුකම්පා සහගත බව නිසා පහළ තලවල ඉතා ප්‍රසිද්ධ වීමට නියමිතයි. විශාල ව්‍යාපෘතිවලදී වගේම දේශපාලන නායකත්වයේදී ඔබ ඉතා සාර්ථක වනු ඇති. තනතුරු වලට වගකීම් මත්තේම නැහෙද්දී තමන්ගේ සෞඛ්‍ය තත්වය අවදානමට නොදා කටයුතු කරනවා නම් යහපති.

ජූලි 31

(පෞද්ගලික අංකය 1 හෝ 4 නැඹුරුව):

ජූලි 31 කියන්නෙත් ද්වී ස්වභාවයක් ඇති උපන් දිනයක්. ඔබ වඩාත් සමාජශීලී නම් පෞද්ගලික අංකය 1 ටත් එසේ නොවන්නේ නම් පෞද්ගලික අංකය 4 ටත් අයත් බව අනුමාන වශයෙන් ගළපා ගත යුතුයි. ගුරු හා රවි ගේ බලපෑමෙන් 31 යන අංකය තුළ නායකත්වයට උපන් හපන්කම් ගැබ් කර ඇති. තමන් කෙරෙහි පවතින පමණට වැඩි අභිමානයත් ආත්ම විශ්වාසයත් පාලනයෙන් සංයමයකින් යුතුව මෙහෙයවීමෙන් ඔබට වැඩි වාසි අත් කරගත හැකියි. කෙසේ වෙතත් ඔබ තුළ වැඩි වශයෙන් අංක 4 ට නැඹුරු ගති ලක්ෂණ ඇත්නම් හුදෙකලාවට ප්‍රිය නමුත් සමාජ ප්‍රතිශෝධනයන්ට සම්බන්ධ කරුණුවලදී ඔබ සතු නායකත්ව ගුණාංග වඩාත් විස්මිත ආකාරයට තීව්‍ර ලෙස නැගී සිටිනු ඇත. වචනය පාලනයකින් තොර නිසා නිතර සමීපතමයන් හා ගැටෙනු ඇත, විවාහය ඇතුළු හවුල් කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි. රැකියාවට සෘජුව සම්බන්ධ නැති මාර්ගයක් ඔස්සේ සාර්ථකත්වය ඔබ කරා පැමිණෙනු ඇත

අගෝස්තු 1

(පෞද්ගලික අංකය 1 හෝ 4 නැඹුරුව)

 

මෙතෙක් සුබසෙත පුවත්පත තුළින් ලබා ඇති දැණුම අනුව ඔබේ පෞද්ගලික අංකයේ නැඹුරුව හරියටම ගළපා ගැනීම ඔබ විසින්ම කළ යුතු වෙනවා. පෞද්ගලික අංකය හා මාසයේ අංකය යන 2 ම රවිට නතු වීම නිසා මෙහිදී ඔබට හිමි වන සුවිශේෂී බලය කයිරෝ මහතා විසින් 'ඩබල් ෆිගර් නම්බර්ස්' ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

'ද්විත්ව අංක' යන අදහස මෙයට ගළපා ගත්තත් වරදක් නෑ. ද්විත්ව අංක සමග පෞද්ගලික අංකය 1 හිමි අයගේ ජීවිතයේ මුල් වසර 37 දෛවය විසින් පසුබෑමකට ලක් කරනවා. ඉතා අමිහිරි අත්දැකීම් සහිත ඉතා දුෂ්කර ළමා කාලයක් හිමි වෙනවා. නිසි වියේදී ජීවිතය නැවත සාර්ථක මාවතකට අවතීර්ණ වෙනවා. එහෙත් වයස 37 න් පසු ඔබ සෑම අංශයකින්ම තුළ බැබළීමකට ලක්වෙනවා. පෞද්ගලික අංකය 4 ට බර නම් එවන් අයට වයස 37 න් පසුවත් යම් යම් වයස්වලදී දුක් පීඩා හා කරදර පෙරළා ළඟා විය හැකියි. අගෝස්තු 1 දින උපන් අය තුළ දේශපාලන ළැදියාව වගේම හොඳීන් මිනිසුන් වටහා ගැනීමේ ඉව ශක්තියක් හිමියි. වහා කෝප ගැන්වෙන ස්වභාවය ඔබගේ සාර්ථකත්වයට හිතකර නැත.

අගෝස්තු 2

(9 පෞද්ගලික අංකය 2):

මේ උපන් දිනයේ සුවිශේෂීත්වය පුද්ගලික අංකය 2 තුළින් ඔබට ලබා දෙන තරමක් චංචල ස්වභාවය අගෝස්තුවට අයත් ප්‍රබල රවිගේ ශක්ති කදම්භය විසින් ජව ගන්වනු ලැබීමයි. මේ නිසා බැලූ බැල්මෙන් කෙනෙකුට පෙනෙනවාට වඩා ඉහළ දරා ගැනීමක් සමඟ උසස් කලාත්මක රසවින්දනයක් ඇති නිවුණු මනුසත් ජීවයක් ඔබේ ශරීර කූඩුව ඇතුළත වාසය කරන බව දන්නේ ඔබට සමීපතමයන් විතරමයි. කලාවට වගේම ක්‍රීඩාවටත් ඔබව එකසේ නැඹුරු කරවන්නේ මේ ස්වභාවය විසිණි. විරුද්ධ ලිංගික ආකර්ෂණය ඔබ කෙරෙහි සුවිශේෂී වන අතර ඒ තුළින් නිතර අමුතු අකාරයේ ආදර සම්බන්ධතා ඇති වීමට නියමිතයි. උසස් තනතුරු ඔබ හඹා එනු ඇත. ඔබගේ ගුණයහපත්බව ඇසුරු කරන්නන් කෙරෙහි යහපත් විපර්යාස ඇති කිරීමට සමත්ය. බුද්ධිය හා හැකියාව මඟින් මෙන්ම තරමක් අසාමාන්‍ය මාර්ගවලින් ඔබ වෙත මුදල් ගලා එනු ඇත. අසමාන්‍ය පරිත්‍යාගශීලීභාවය නිසාම ඔබ කෙරෙහි ධනය නොවේ.

 

එස්.පී.එන් සේනානායක

විශේෂ ස්තූතිය

අයිරිෂ් ජාතික

කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.