හදන ගෙවල්වල රාක්ෂ මුහුණ එල්ලන්නේ ඇයි?

ජූලි 26, 2024

ස්වභාව ධර්මයෙහි පවතින ජීව අජීව සියලු සත්ත්වයන් හා වස්තුන්හි යහපැවැත්මට බාධා පමුණුවමින් හානිදායක විපත් ඇති කරන්නා වූ ගුප්ත බලවේග ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වන මිනිසා දැඩි ඇල්මකින් හා කුතුහලයකින් සැමදා වෙළී පවතියි. ඒ අතර ‘වස් දොස්’ හෙවත් ‘වහඹ සඳහා ප්‍රධාන ස්ථානයක් හිමි වේ. වස් යනු වස විෂ විනාශය හානිදායක යන අරුත් ප්‍රකාශ කරන්නකි.

“ඇස්වහ, කටවහ, හෝවහ දෝෂයි

ඉඟියෙන් පවසන මායා රහසයි”

මෙය සමාජයේ කා අතරත් පවතින තත්ත්වයකි. ස්පර්ශයට නොදැනෙන සිතට දැනෙන අධි මානසික බලවේග 3ක් ලෙස ඇස්වහ කටවහ හෝවහ සමාජ සන්දර්ශනයෙහි අන්තර්ගත වී ඇත.

සුන්දරත්වයෙන් යුතු වස්තුවක් හෝ කෙනකු දෙස එක එල්ලේ බලා සිටම මඟින් ඇස උපයෝගීව සිදු කරනු ලබන විෂ දෘෂ්ටිය “ඇස්වහ” ලෙස හැඳින්වේ. ඇස ප්‍රධානව මෙය සිදු වන අතර, සරුවට වැඩුණු එළවළු කොටුවක්, බුලත් කොටුවක්, ඵල දැරූ කොස් ගස්, පොල් ගස් මෙන්ම සුන්දර යුවතියක්, දිගු වරලසක් විෂ සහිත පුද්ගලයන්ගේ මායාකාරී නෙතට හසු වූ කල වස් වදින බව ගැමියන්ගේ විශ්වාසයයි. මේ නිසා එවැනි පුද්ගලයන්ගේ නෙත ගැටීමට හුදෙක් අකමැති තරුණියන් සමාජයේ නැතුවාම නොවේ. විෂ වැදුණු කල සරු එළවළු කොටු රෝග බෝ වී විනාශ වේ. පොල් ගස් කණාටු වේ. කොස්වල ඵල ක්ෂය වේ. ගැහැනු ශරීර දිනෙන් දින ක්ෂය වී වරලස අඩු වී යයි. දිනෙන් දින පිරිහී යනු ලබන මේ සියල්ල සිදු වන්නේ ඇසෙන් කරනු ලබන ඉඟි මැරීම මතය. සියලු විනාශයන් හා හානිදායක විපත් පුද්ගල ශරීරයට වැදී ග්‍රහණය වීම නිසා මිනිසා අසරණ වේ. ඇස්වහ පිට කරනු ලබන පුද්ගලයන් මෙන්ම එයට ග්‍රහණය වී දුක් පීඩා විඳින මිනිසුන් අතීතයේ සිට වර්තමානය දක්වාම සමාජයේ දැක ගත හැකිය. කුඩා ළමයින්ගේ නළලේ තිලකය විශාලව තබන්නේ මේ නිසාය. උක්ත ලෙස නෙත ගැටී කරන ඉඟිමරණයේ දී පවතින තීව්‍රතාවය පදනම් කරගෙන ප්‍රබල විනාශකාරී වදන් හේතුවෙන් සිදුවන සංසිද්ධීන් කටවහ ලෙස හැඳින්වේ. තමාට අහිමි දෙය දෙස බලා

“කවදාවත් ඒ වගේ ලස්සසනක් දැකල නෑ සත්තයි”

“ඒ කොණ්ඩෙ මාරයි”

“ මේ වගේ ගෙඩි මේ ගහට”

බොරු පුරසාරම් දොඩමින් වචන සමඟ විෂ මුදා හැරීම තුළ කටවහ දෝෂ පැලපදියම් වේ. එය ග්‍රහණය වන පුද්ගලයා හෝ වස්තුවේ විනාශය, ඇස් ඉදිරිපිටදීම සිදු වන අවස්ථා දැක ගත හැකිය. ඉන් මිදීමේ උපක්‍රමද ගැමියා විසින් ම සකසා ගනු ලැබීම අපූර්වත්වයකි.

ඒ අලුතින් සකසන ලද ගෙවල්වල ජනෙල් වීදුරුවේ ‘බුදුසරණයි’ ‘මේ නිවසට යහපතක්ම වේවා’ ලෙස සඳහන් කිරීමයි. එවිට මිනිසුන්ගේ මුවින් කියවෙන්නේ වස විෂ නොව මේ වදන් පෙළයි. එමඟින් ශාන්තිය උදාවන බව අලුත් නිවාස හිමියාගේ ප්‍රත්‍යක්ෂතාවයි. ඒ අසලින්ම පුහුල් ගෙඩියක් රාක්ෂ මුහුණක් එල්ලා තැබීම සිරිතයි. ඒ නිවසේ දෘෂ්ටි ගෝචරය වෙනස් කර රාක්ෂ මුහුණට නෙත යොමු කිරීමට ය. ඒ බැවින් කතා බහට ලක් වන්නේ රාක්ෂ මුහුණ හෝ පුහුල් ගෙඩිය පිළිබඳව ය. එමඟින් නෙත් මුළා කිරීමක් සිදු වේ.

(ඉතිරි කොටස ලබන සතියේ... )

 

ගුප්ත ශාස්ත්‍රවේදී, බණ්ඩාරවෙල

එස්.ටී.එස්. ද සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.