මීන ලග්නය

ජූලි 26, 2024

 

ද්වි ගුණයෙන් යුත් ජල රාශියකි. කුඩා අවයවවලින් යුත් එතරම් උස නැති ශරීරයකි. ඇස් තරමක් ලොකුය. පටු උරහිස් ඇත. උකුල ප්‍රදේශය පළල්ය. යම් යම් අමුතු අලුත් දේවල් කෙරෙහි සිත ඇදීයයි. පී‍්‍රතියට, විනෝදයට සතුටින් කල් ගෙවීමට ඇති කැමැත්ත ඉමහත්ය.

සානුකම්පිත හිතක් ඇති කාගෙත් අදහස්වලට ගරුකරන කෙනෙක් වේ. ලෞකික දියුණුව ඉතා හෙමින් සිදු වේ. අනුන්ට උපකාර කිරීමට ලෙඩුන්ට සංග්‍රහ කිරීමට කැමැතිය. එය ඍජුව සෝබනයෙන් තොරව කරයි. සමාව දීම අගය කොට සලකයි. මහජන සේවයට ආශාවක් දක්වන අතර තෑගි බෝග ගරු නම්බු ගැන සැලකීම අඩුය. ඒ ගැන බලාපොරොත්තුවක්ද නැත. කරුණාවන්ත හිතක් ඇත. කිසිවෙක් දුක් විදිනවා දැකීමට කැමති නැත. ගස් වැල් පරිසරයට පවා ඉතා හිතවත්ය. මීන ලග්නය අයත් වන්නේ ගුරුටය. එය සිකුරුගේ උච්ච රාශියයි. කල්පනා ශක්තිය තියුණු වන අතර නිවැරැදිව වැඩ කිරීමේ ශක්තියක් ඇත.

මීන රාශියෙන් දෙවැනි රාශිය වන්නේ මේෂ රාශියයි.

එය කුජට හෙවත් අඟහරුට අයත් වේ. රවිගේ උච්ච රාශියයි. ධනය ලැබීමේ වාසනාව ඇත. අන්‍යයන් ඔහු වෙත ධනය වියදම් කරයි. අන්‍යයන්ගෙන් ලැබීමට ද වාසනාව ඇත. සමිති සමාගම් මාර්ගයෙන් අන්තිම කැමති පත්‍රවලින්ද ධනය ලැබේ. ඇප පොරොන්දු පත්‍ර නැතිව කටයුතු කිරීමෙන් ධනය විනාශ වේ. ධනය සැපයීමට දස්කම් ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී වන අඩුපාඩු නිසා ධනහානි ඇති වේ. කෙසේ වෙතත් ධනපති ජීවිතයකට හා යසස් කාමයට සිත පෙලඹේ. කොහොම වුනත් ධනපතියකු වීමට හැකිය.

මීන රාශියෙන් තුන්වැනි රාශිය වන්නේ වෘෂභ රාශියයි. එය සිකුරුට අයත් වේ. සඳු හෙවත් චන්ද්‍රයාගේ උච්ච රාශියයි. සාහිත්‍ය කාව්‍ය කලාවට, චිත්‍ර, ගීත, නාට්‍ය වැනි දේට සිත ඇදී යයි. ඒවා ඉගෙනීමට ද හැකිය. එයින් ධනය ද සැපයිය හැකිය. ඥාතීන් සහෝදර සහෝදරියන් ගෙන් දියුණුවට උපකාර ඇති නොවේ. ඥාතීන් සතුරෝ ද වෙති. බොහෝ නෑයන් ද සතුරුකම් කරති. ඉගෙනීම දියුණු වුවහොත් පොත්පත් ලිවීම ගැඹුරු ශාස්ත්‍ර හැදෑරීම මඟින් ප්‍රසිද්ධියට පත්වේ. අලුත් දේවල් ඉගෙනීමට කැමතිය. අන්‍යයන් අනුකරණය කිරීමට ද කැමතිය. සහෝදර සහෝදරියන් වැඩි ගණනක් ඇත.

මීන රාශියෙන් හතරවැනි රාශිය මිථුන රාශියයි. එය බුධට අයත් වේ. උපන්ගම දියුණුවට හේතු නොවේ. ගමේ අයගෙන් කිසි සැලකිල්ලක් නොලැබේ. නඩුහබ කරදරවලට පැටලීමට සිදුවේ. පරම්පරාගත උරුම හිමිකම්වලට සතුරු කරදර මතුවේ. ඒවායින් නියම පල ප්‍රයෝජන ගැනීමට නොලැබේ. මව්පියන්ගේ ආයුෂ අඩුවීමට හෝ ඔවුන් අනතුරුවලට භාජනය වීමට ඉඩ ඇත. මහලු වියේදී ස්නායු දුර්වල රෝගද සෑදේ.

මීන රාශියෙන් පස්වැනි රාශිය කටක රාශියයි. එය සඳුට හෙවත් චන්ද්‍රයාට අයිති වේ. ගුරුගේ උච්ච රාශියයි. ව්‍යාපාර කටයුතුවලට මුදල් යෙදවීමෙන් ඉක්මන් ප්‍රතිඵල අත් වේ. සූදු රේස් වැනි දේට සිත ඇදී යයි. මහජන සම්බන්ධතා අනුව කරන කටයුතුවලින් දියුණුව ඇති වේ. ඉතා වාසනාවන්ත දරුවන් ලැබේ. ඔවුන්ගේ දියුණුවද ඇතිවේ. දරුවන්ගෙන් සැනසීම ලැබේ.

මීන රාශියෙන් හයවැනි රාශිය වන්නේ සිංහ රාශියයි. එය රවිට හෙවත් ඉරුට අයත් වේ. ලෙඩ රෝග සතුරු කරදර පිළිබඳව මේ ස්ථානයෙන් තොරතුරු දත හැකිය. ලෙඩ රෝග ඇති වන්නේ කලාතුරකිනි. එසේ ඇතිවන රෝග ඉතා දරුණු තත්ත්වයට හැරේ. පිරිසුදු වාතාශ්‍රය නිතර වුවමනා කෙරේ. වළලුකර සහ ඇඟිලි ආශි‍්‍රත රෝග බඩවැල්වල රෝග පපුවේ අමාරු , ලිංගික රෝග සහ වකුගඩුවල රෝගද හට ගැනේ. ඒවාට නිසි ප්‍රතිකාර වහාම කළ යුතුය. සේවක සේවිකාවන්ගෙන් කරදර ඇතිවේ.

මීන රාශියෙන් හත්වැනි රාශිය වන්නේ කන්‍යා රාශියයි. එය බුධට අයත් වේ. රාහුටද මේ කන්‍යා රාශිය හිමි වේ. විවාහය සම්බන්ධ තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය. වෙළෙදාම, ඉගැන්වීම, ශාස්ත්‍රිය සේවයට, වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනකු විවාහයට ලැබේ. වයසින් අඩු කෙනෙක්ද වීමට පුළුවන. විවාහය හේතුකොට ගෙන සිත්තැවුල් සහ බේද හට ගැනීමට ද ඉඩ තිබේ. ප්‍රථමයෙන් විවාහ වන අයගේ ආයුෂ දුර්වල වේ. පරම්පරාගත හිමිකම් ඇති ධනවත් කෙනකු දෙවනුව විවාහයට ලැබේ. විධිමත් පොරොන්දම් පරීක්ෂණයකින් විවාහය සිදු කිරීමෙන් විපත් මඟහරවාගෙන ජීවිතය ගෙන යා හැකිය.

මීන රාශියෙන් අටවැනි රාශිය වන්නේ තුලා රාශියයි. එය සිකුරුට අයත් වේ. සෙනසුරු හෙවත් ශනිගේ උච්ච රාශියයි. අන්‍යයන්ගෙන් විවාහයෙන් අන්තිම කැමති පත්‍රවලින් ධනය ලැබීමේ වාසනාව ඇත. රක්ෂණ ව්‍යාපාරවලින්ද ධනය ලැබේ. ධන හානි වුවත් ආර්ථිකය පිරිහී ගිය අය ආශ්‍රයට සුදුසු නොවේ. ඒ අය නිසා ධනහානි ඇති වේ. ප්‍රසිද්ධ සතුරකු නිසා මරණය සිදු වේ. යටිඋගුල් අදින මිත්‍රයෝද ඇති වෙති.

මීන රාශියෙන් නවවැනි රාශිය වන්නේ වෘශ්චික රාශියයි. එය කුජට අයත් වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද වේ. වෛද්‍ය, ඉංජිනේරු ගුප්ත විද්‍යා කටයුතු ඉගෙනීමේ වරම් ලැබේ. යම් කිසි දෙයක් ගැන ඔබේ තීරණ නිවැරදි යයි සිතිවිල්ලක් සිතට කාවැදී ඇත. අදහස් උදහස් ප්‍රකාශ කළ යුත්තේ සිතා බැලීමෙන් පසුවය. එසේ නොකිරීමෙන් විරුද්ධකාරයන් මතුවේ. ගමෙන් පිට කරන රැකියා ව්‍යාපාර වඩාත් යෝග්‍ය වේ. ධනය සැපයිය හැකිය. එවිටද යටිඋගුල් සහ සතුරු කරදර මතුවිය හැකිය. පිටරට ගමන් බිමන් සුදුසු නැත. කරදර සහ ධන හානි ගෙන දෙයි. ඥාතීන් නිසා කලකිරීම් ඇති වේ.

මීන රාශියෙන් දසවැනි රාශිය වන්නේ ධනු රාශි යයි. එය ගුරුට අයත් වේ. උත්සාහයෙන් දියුණු ජීවිතයක් ගත කිරීමට හැකිවේ. උසස් තත්ත්වයක් හිමිකර ගැනීමට බලවත් ආශාවක් පවතී. අන්‍යයන්ට කරදර ගැහැට නොවන සේ කටයුතු කිරීමෙන් උසස් ජීවිත තත්ත්වයක් හිමිවේ. උත්සාහය උපක්‍රමය දියුණුවට ආධාර වේ. දියර වර්ග සම්බන්ධ ව්‍යාපාර, කෑම බීම, රබර්, පොල්, කොප්පරා වැනි ව්‍යාපාරවලින් ධනය උපයාගත හැකිය. ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර, ඡායාරූප, සිනමා, ඉංජිනේරු රැකියාද යෝග්‍ය වේ. රජයේ සම්බන්ධය ලබා ගැනීමේ වාසනාව ඇත. ආගමික අංශයෙන්ද සම්බන්ධය ලබාගත හැකිය. මේ අංශවලින් සමාජ තත්ත්වය සහ සැනසීම ලැබේ.

මීන රාශියෙන් එකොළොස්වැනි රාශිය වන්නේ මකර රාශියයි. එය සෙනසුරුට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. මිතුරන් වැඩි වශයෙන් හඳුනා ගැනීමේ වාසනාව ඇතත් අගහිඟ නැති අය ආශ්‍රය ලැබෙන්නේ ටික දෙනෙකි. මහලු වයසේ අය වැඩිපුර ආශ්‍රයට ලැබේ. ඔවුන්ගෙන් බලාපොරොත්තු ඉටුකර ගැනීම එතරම් පහසු නොවේ. ආශ්‍රය කරන කෙනකු පරම හතුරාවීමටද ඉඩ තිබේ. ඔහු නිසා දුක් ගැහැට කරදර විඳීමට ද සිදු වේ.

මීන රාශියෙන් දොළොස්වැනි රාශිය වන්නේ කුම්භ රාශියයි. එය සෙනසුරුට අයත් වේ. ගුප්ත විද්‍යාව පිළිබඳව අවබෝධය ඇත. රහස් සතුරන් නිසා කරදර ඇතිවේ. ඔවුහු හිතුවක්කාර යුක්තියක්, නීතියක් නොතකන අය වෙති. ඔවුන් ආශ්‍රය කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. නැතිනම් ජීවිතයට කරදර ඇතිවේ. මත් ද්‍රව්‍ය ඔබට විෂ සහිත වේ. සිතේ සැනසීම ලබා ගැනීමට ඒවා පාවිච්චි නොකළ යුතුය. උත්සාහයෙන් ඉගෙන ගතහොත් සාහිත්‍යට සහ කතාවට දක්ෂ වේ. නිවැරැදි අවබෝධයත් ධාරණ ශක්තියත් ඇත. ඥානය යොදා කරන කියන සෑම දෙයකින්ම දියුණුව ඇතිවේ.

උත්පත්ති ග්‍රහබල තත්ත්වය අනුව පලාපල අඩු වැඩිවේ. ග්‍රහබල අයහපත් අවස්ථාවල ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන් හා ග්‍රහබල ප්‍රබල අවස්ථාවල උත්සාහවත්ව කටයුතු කිරීමෙන් නිසිපල ප්‍රයෝජන ලබා උසස් තත්ත්වයට පත්විය හැකිය.

පසිංගල් හෝ පළිඟු ගල් පැලඳීම යහපති.

ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.