ආර්ථිකය සහ ලිංගිකත්වය හෙළිකරන සුළැඟිල්ල

ජූලි 19, 2024

පුද්ගලයෙකුගේ සුළැඟිල්ල නමින් හැදින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් එම පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වූ කරුණු ගණනාවක් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.එම නිසා අනෙකුත් ඇඟිලි සේම හස්ත රේඛා ශාස්ත්‍රයේදී බුධ ඇඟිල්ලට විශේෂත්වයක් හිමි වේ. ඇඟිල්ලේ සාමාන්‍ය පිහිටීම වන්නේ රවි හෙවත් වෙදැඟිල්ලේ නිය පුරුක මට්ටමට පිහටීමය.

එම මට්ටමට හෝ ඊට ඉහළ මට්ටමකට බුධ ඇඟිල්ල උස නම් එම පුද්ගලයන් සත්‍යවාදි අන්‍යයන් කෙරෙහි සිතන ඕනෑම කරුණක් අවබෝධ වනසේ අදහස් ප්‍රකාශ කළහැකි ඕනැම විෂයක් ගැන දැනුමක් සහිත පුද්ගලයකු වේ. උසස් අධ්‍යාපනයක් සඳහා හොඳ අවකාශයක් ඇති පුද්ගලයන්ය. සමාජය ගැන පුළුල් අවබෝධයක් ඔවුන් සතුය. තව දුරටත් බුධ ඇඟිල්ල රවි ඇගිල්ලේ නිය පුරුක මැදටත් වඩා දිගනම් හදිසි ධන සම්පත් ලැබීමට හිමිකම් ඇති විය හැකිය.

එමෙන්ම බුධ ඇඟිල්ල ගුරු හෙවත් දබර ඇඟිල්ලේ නිය පුරුක් සංධියට වඩා දිග නම් ජිවිතයේ සියලු සැපසම්පත්වලට උරුමකමක් එම පුද්ගලයාට හිමි වේ. තම මවට සහොදර සහොදරියන්ට මෙන්ම කාන්තාවන්ට වැඩි ආදර කරුණාවක් භක්තියෙන් යුතුව දක්වන පුද්ගලයන් වේ. තවද දබර ඇඟිල්ල තරමටම දික්ව පිහිටා ඇත්නම් මහත්මා ගාන්ධි තුමන් වැනි දාර්ශනිකයන් බිහිවේ. එහෙත් බුධ ඇඟිල්ල ඉතාම කෙටිව පිහිටා ඇත්නම් මේ තත්වයන් සියල්ලම වෙනස්වේ. කරණු තේරුම් නොගන්නා, සුලු දේටත් කිපෙන නිතරම අඩ දබරවලට පැටලෙන බුද්ධිහීන පුද්ගලයෙකු වේ. වංචනික ලෙස මුදල් ඉපයීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇත.

බුධ ඇගිල්ලේ නිය පුරුකෙන් පුද්ගලයෙකුගේ කථිකත්වය ප්‍රධාන කොටගෙන එම පුද්ගලයාගේ ක්‍රියාකාරිබව, සහජ දක්ෂතා, විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම ආදි කරුණු පිළිබඳ තක්සෙරුවක් ලබාගත හැකිය.

නිය පුරුක අනෙක් පුරුක්වලට සාපෙක්ෂව දිගින් වැඩිනම් ඔවුන් ඕනැම වේලාවක තමන්ට ලැබෙන ඕනැම මාතෘකාවක් ඔස්සේ අසන්නාගේ අවධානය රඳවාගෙන කථාකිරිමේ දක්ෂයෙකු වේ. එනම් හොඳ දේශකයෙකුගේ බුධ ඇඟිල්ලේ නිය පුරුක දික්ව පිහිටා තිබේ.

එමෙන්ම එම පිහිටිම සහිත පුද්ගලයා විද්‍යාත්මක නීතිමය ඉගෙනීම්වලට දක්ෂයෙක් වේ. කාලය කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන අතර කථාවෙන් අනුන් වසඟ කරගැනිමේ ස්වභාවයක් ඔවුන් සතු වේ. නිය පුරුක කෝනික ස්වභාවයක් ගන්නේ නම් ගුප්ත විද්‍යා විෂයයන් සඳහා දක්ෂතාවයක් දක්වන අතර යමක් අවබෝධ කරලීම සඳහා විහිලු තහලු කිරිමට පෙලඹෙන ස්වභාවයක් ඔවුන් සතුය.

එමෙන්ම නිය පුරුක හතරැස් ස්වභාවයක් ගන්නේ නම් පුද්ගලයා විද්‍යාත්මක විෂයන් පිළිබද ඉතා දක්ෂ දේශකයෙකු තත්වයකට පත්වන ඉගියකි. නිය පුරුක ස්පැටියුලේට් හැඩයක් ගන්නේ නම් ඉංජිනේරු වෘත්තිය තම රැකියාව බවට පත් කර ගනි.

ඇගිල්ලක පුරුක්වල පිහිටා ඇති විශේෂිත වු ලක්ෂණයන්ද පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ තිව්‍ර කිරිමටත් හීන කිරිමටත් හේතුවේ. විශේෂයෙන් පළමු පුරුක හෙවත් නිය පුරුකේ තරු සලකුණක් පිහිටා ඇතිනම් දේශපාලන මඟක ගමන් කිරිමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. සිරස් රේඛාවන්ද ඇගිලි පුරුක්වල දකින්න ලැබෙන අතර එම රේඛා තුනක් පිහිටිම ගුප්ත ශාස්ත්‍ර හැදැරීම සඳහා හොඳ පිහිටිමකි. කතිර ලක්ෂණය ඇගිල්ලේ ස්වභාවය මත ප්‍රතිපල ලබාදෙන අතර ශුභ ලකුණු සහිත ඇඟිල්ලක කතිරය ඇත්නම් තැනට සුදුසු ආකාරයට ක්‍රියාකිරිමට අවශ්‍ය ප්‍රඥාව හෙවත් ස්ථානෝචිත ප්‍රඥාව පුද්ගලයාට ලබා දේ. අශුභ ලකුණු සහිත ඇඟිල්ලක නිය පුරුකේ කතිර සලකුණ පිහිටා ඇත්නම් සොර සිත් ඇතිවේ. ලිංගික දුර්වලතා නිසා විවාහ නොවීමට බොහෝ ඉඩකඩක් තිබේ. ග්‍රිල් සලකුණ පොදුවේ නිය පුරුකේ පිහිටිම එතරම් සුබ ලකුණක් නොවේ.

එසේම බුධ ඇඟිල්ලේ මැද පුරුක පුද්ගලයකුගේ තර්කන හැකියාවන් කියාපාන අතර මැද පුරුක දික්ව පිහිටා ඇතිනම් නිතිඥ වෘත්තිය වැනි තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන රැකියාවන් සඳහා යොමුවේ. මෙවැනි පිහිටීමක් සහිත ගණිතය හා විද්‍යාව වැනි විෂයන්වල නියැළෙන ගුරුවරුන් ඉතා දක්ෂ ලෙස තම වෘත්තිය මෙහෙවයි. නමුත් මැද පුරුක කෙටිව පිහිටා ඇත්නම් විචාර බුද්ධියෙකින් තොරව කටයුතු කරන පුද්ගලයකු බිහි කරයි. නිය පුරුකේ මෙන් මැද පුරුකේ සිරස් රේඛා දෙකක් හො තුනක් පිහිටා ඇත්නම් ගුප්ත ශාස්ත්‍ර ඉගනීමට උනන්දු වේ. එසේම තරුවක් පිහිටා ඇත්නම් අත්ල හිමියා අයහපත් ආකල්පවලින් යුතු පුද්ගලයෙකු බවට පත්වේ. එමෙන්ම කතිරයක් සලකුණු ඇත්නම් සිරගතවීමකට ලක්විය හැකි ප්‍රවණතාවයක් පෙන්වන බැවින් අත්ලේ අනෙකුත් ලක්ෂණද පරික්ෂා කර තහවුරු කර ගැනිම නුවණට හුරුය.

බුධ ඇඟිල්ලක තුන්වැනි පුරුක පුද්ගලයාගේ ව්‍යාපාරික හැකියාවන් ආර්ථිකමය තත්වයන් පෙන්වන අතර තුන්වැනි පුරුක දික්ව පිහිටා ඇත්නම් ව්‍යාපාරික කටයුතුවලින් මුදල් ඉපයීම සාර්ථකව සිදුකළ හැකිය.පුරුක කෙටිව පිහිටා ඇතිනම් විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවන බව බලාපොරොත්තු විය යුතුය.

එසේම එම තත්ත්වය නිසා වංචා සහගත ලෙස මුදල් ඉපයීම සඳහා පෙලඹවිය හැකිය.කතිර සලකුණද තුන්වැනි පුරුකේ පිහිටිම අසුබ ආකාරයට අත්ල හිමියාට බලපාන අතර ග්‍රිල් සලකුණ පුද්ගලයා නොමඟ යැවිමට ඉඩ ඇති බව පෙන්නුම් කරන ලක්ෂණයකි. මේ ආකාරයට බුධ ඇඟිල්ලේ ස්වභාවය මත පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය දක්ෂතා වෙනස් වන අතර තහවුරු කරගැනීම සඳහා අනෙකුත් ලක්ෂණද පරික්ෂා කළ යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.