තුලා ලග්නය

ජුනි 21, 2024

චර ගුණයෙන් යුක්ත වූ තුලා රාශිය වායු භූත බලයට අයත් වේ. උපතේදී ඒ ඒ භාවවල සිටි දුටු ග්‍රහයන්ගේ තත්ත්වය අනුව ජීවිතයේ සුබ අසුබ පල ලැබෙනු ඇත.

සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු සිහින් උස්වූ ශරීරයක් වන අතර කාටත් පි‍්‍රයමනාප පෙනුමක් ඇත. මධ්‍යස්ථ ගතිගුණවලින් හෙබි කරුණාවන්ත අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති අය වෙති. බුද්ධිය ඥානය වාග්චාතුර්යය උපතින්ම ලද තුලා ලග්න හිමි අය සමාදානය ගරු කරන නිහතමානී අය වෙති. සමාජයට හිතවත්ය. ඇවිදීමට කැමතිය. තම සැපත අන්‍යයන් වෙනුවෙන් කැප කිරීමට ද කැමතිය. සාහිත්‍ය කලාවට මෙන්ම රටට ආදරය ඇති අය වෙති. මූලිකත්වය ගෙන කටයුතු කිරීමට දක්ෂය. මනුෂ්‍යත්වය ගරු කරන පරාර්ථයට කැමති නිරහංකාර අය වෙති. තුලා රාශියට සිකුරු අධිපතියා. මෙය සෙනසුරුගේ උච්ච රාශියයි. එබැවින් ඔබ සුමඟ ගියහොත් ගරු සම්මාන ලැබෙන අතර නොමඟ ගියහොත් සසර දුෂ්කර කරගන්නා අගතිගාමී දිවියකට යොමු වේ.

තුලාවෙන් දෙවැනි ස්ථානය වෘශ්චික රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයිති වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද වේ. ලැබීම් අතින් වාසනාවන්ත වන අතර ධන විනාශවීම්වලටද හේතු ඇත. අන්තිම කැමති පත්‍රවලින්ද දේපොළ හිමිවීමට වාසනාව ඇත. මුදල් ණයට දීමේදී කල්පනාකාරී වන්න. ඒ සම්බන්ධ කරදර ඇතිවීමට ඉඩ තිබේ. ධනය උපයනමාර්ග කරදරයකින් තොරව ඇතිවන නිසා පී‍්‍රතිය සතුට ඇතිවේ.

තුලා රාශියෙන් තුන්වැන්න ධනු රාශියයි. එය ගුරුට අයත් වේ. කලා කටයුතුවලට, නිර්මාණවලට, සාහිත්‍ය කටයුතුවලට මේ සහජ ස්ථානය අධිපති ගුරුගෙන් ලැබෙන බලය අතිමහත්ය. නිසියාකාරව අධ්‍යාපනය සහ පුහුණූු කටයුතු කළොත් මව්පියන් දූරදර්ශීව ඒ සම්බන්ධ යොමු කළොත් අන්‍යයන් පුදුමයට පත්කරවන නිර්මාණකරුවන් බිහිවේ. හොඳ වැදගත් ඥාති පිරිසක් ඇති අතර ඔවුන්ගෙන් නිසියාකාර ඍජු ආධාර උපකාර නොලැබේ. උගත්කමින් මෙන්ම ධනයෙන් යුතු සහෝදර සහෝදරියන් ඇත. ඒ අය ඔබේ සම්බන්ධයෙන් දුරස්වීමෙන් වළක්වාගත යුතුය. ඔබේ බලාපොරොත්තු ඉටුවනතුරු සැනසීමක් නැත. සමහර අවස්ථාවල ඒනිසා කෝපයද ඇති වේ. එම කෝපය ඉක්මනට නිවී යයි. කෙසේ වුවත් ඔබ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්තයෙකි.

තුලා රාශියෙන් හතරවැනි රාශිය, මකර රාශියයි. එය සෙනසුරුට අයත් වේ. කුජගේ උච්ච රාශියයි. මහලු වයස වන විට වස්තුව පිළිබඳ සිත ඇදී යයි. ඒනිසාම එම කාලය ඒ සඳහා කැප කරයි. ජීවිතයේ අගකාලයේදී කිට්ටුවර අයගෙන් වෙන්වී හුදකලාව ජීවත්වීමට සිදු වේ. ගම්වැසියන්ගේ කුහකකම්වලින් පීඩාවිඳීමට සිදු වේ. පියා හෝ පියාගේ වැඩ කටයුතු නිසා කරදර විඳීමට සිදු වේ. මහලු වයසේදී පියා තත්ත්වයෙන් පිරිහීමට හෝ අසාධ්‍ය රෝගයකින් දුක්විඳීමට ලක්වේ. නැතිනම් අකාලයේ පියා මිය යනු ඇත. මහලු කාලයේදී ඔබට දරුවන්ගේ උපකාර ලැබේ. පිට ප්‍රදේශවල ජීවිතය ගත කිරීම වඩා සුබදායක වේ. ඉඩකඩම් , නිවාස අයිතිය හිමිවීමේ භාග්‍ය ඇත.

තුලා රාශියෙන් පස්වැනි රාශිය කුම්භයයි. එය සෙනසුරුට අයත් වේ. පි‍්‍රයමනාප ලෙස තැනට සුදුසු සේ කටයුතු කිරීමේ හැකියාව ඇත. දූ දරුවන් කෙරෙහි කලකිරීමට ඉඩ ඇත. දරුවන් විනයානුකූලව ඇති දැඩි නොකළහොත් කුඩා කාලයේදී සිත්තැවුල්වලට නින්දා අපහාසවලට ලක් වීමට ඉඩ තිබේ. මුදල් සම්බන්ධ කටයුතුවලදී බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. විශාල ලාබ මෙන්ම පාඩු ද ඇතිවෙයි. ලෞකික සැප සම්පත් විඳීමට සතුටෙන් සැපෙන් කාලය ගෙවීමට ඉතාම කැමතිය. නොනිසි ලෙස පේ‍්‍රමය, ආලය පිළිබඳ කටයුතු නොපවත්වයි. යම්කිසි දෙයක් කරන විට භක්තියෙන්, ආදරයෙන් කරගෙන ගියත් අතරමගදී ඒවාට බාධා ඇති වුවොත් එය අතහැර දමයි. ඒ නිසා බොහෝ අවස්ථාවල පාඩු සිදු වේ. ආර්ථික දියුණුවට බාධා සිදු වේ. දූ දරුවෝ ටික දෙනෙකි. බාලකාලයේදී වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතුය. මහලු කාලයේදී දරුවන් හේතුකොට ගෙන සතුට ඇති වේ.

තුලා රාශියෙන් හයවැනි රාශිය මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියයි. ලෙඩ රෝග පිළිබඳ තොරතුරු මෙයින් දත හැකිය. සොයා ගැනීම අපහසු තත්ත්වයේ රෝග වැලඳේ. තවද නහරගත රෝග, වකුගඩු මූත්‍රා රෝග, යෝනි රෝග දෙපාවල රෝග ද වැලඳීමට ඉඩ ඇත. කල් නොයවා ප්‍රතිකාර කළ යුතුය. නැතිනම් එම රෝග උත්සන්න වී කරදර විඳින්නට සිදු වේ. සේවක සේවිකාවන්ගෙන් හා පහත් තත්ත්වයේ අයගෙන් කරදර විඳින්නට සිදුවේ. එමෙන්ම අලාභ හානි ද සිදු වේ.

තුලා රාශියෙන් හත්වැනි රාශිය මේෂ රාශියයි. එය කුජට අයත්වන අතර රවිගේ උච්ච රාශිය ද වේ. විවාහය පිළිබඳ තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය. කල් නොයවා විවාහය සිදු වේ. ඉක්මන් තීරණ නිසා හදිසියේ විවාහය සිදු වේ. විවාහ දෙකක් සිදුවීමට ද ඉඩ තිබේ. පාලනයටත් හැසිරවීමටත් ආශාවක් දක්වන උසස් සිතුවිලි ඇති ඉක්මනින් කෝපවන කෙනකු විවාහයට ලැබේ. ධෛර්ය සම්පන්න නිර්භයව ක්‍රියාකරන අය ආශ්‍රයට ලැබේ. භේදවීම්, දික්කසාද, මරණ ඔබගේ විවාහයට බලපාන බැවින් පොරොන්දම් පරීක්ෂාවෙන් ඒවා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුය. එවිට යහපත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය.

තුලා රාශියෙන් අටවැන්න වෘෂභයයි. එය සිකුරුට අයිති වේ. සඳුගේ උච්ච රාශියයි. අන්තිම කැමැති පත්‍රවලින් බූදල්වලින් ධනය හිමි වීමට වාසනාව ඇත. විවාහයෙන් හවුල් ව්‍යාපාරවලින් රක්ෂණ ක්‍රමවලින් ගින්නෙන් හෝ අනතුරුවලින් සිදුවන රක්ෂණ ආවරණවලින් ලාබ ලැබීමට වාසනාව ඇත. ජීවිතයේ අවසාන කාලය යහපත් වේ. හදිසි ලෙඩ රෝගවලින් ජීවිතය ගලවාගත හැකිය.

තුලා රාශියෙන් නවවැනි රාශිය මිථුන රාශියයි. එය බුධට අයිති වේ. අවබෝධය ධාරණ ශක්තිය පවතී. ඉගෙනීමට දක්ෂය. ඉගෙනීම දියුණුකර ගැනීමට දුර්වලතාවයක් පවතී. එය මඟහරවා ගත යුතුය. එවිට ශාස්ත්‍රීය අංශයෙන් උසස් දියුණුවක් ලද හැකිය. භෞතික විද්‍යාවට ද කැමැත්තක් දක්වයි. දුර ප්‍රදේශවල සංචාරය කිරීමට ලැබේ. පිට පළාත්වල පදිංචි වූ විට රහස් සතුරු කරදර මතුවේ.

තුලා රාශියෙන් දසවැන්න කටකයයි. එය සඳුට අයිති වේ. ගුරුගේ උච්ච රාශියයි. රැකියාව පිළිබඳ තොරතුරු මේ ස්ථානයෙන් දත හැකිය. යහපත් සමාජ තත්ත්වයක් ඇති වන්නේ වැඩිපුරම කලාව නිසාය. වෛද්‍ය අංශ, බන්ධනාගාර සේවය වෙළෙඳ කටයුතුවලින් ධනය ලැබිය හැකිය. ජලය සම්බන්ධ කටයුතුවලින්ද ආදායම් ලැබිය හැකිය. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවේ. එම නිසා තනිවම ව්‍යාපාර කටයුතු කළ යුතුය. ජීවිතයේ මැදි වයසේදී ව්‍යාපාර කටයුතුවලින් අලාභ හානි ඇතිවේ. සමාජ සේවයට කැමතිය. ඥානාන්විතව එය කළ යුතුය.

තුලා රාශියෙන් එකොළොස්වැනි රාශිය සිංහ රාශියයි. එය රවිට අයත් වේ. මිත්‍රයන්ගෙන් දියුණුවට ආධාර උපකාර ලැබේ. ආශ්‍රය කරන අයගෙන් හිරිහැර අලාභ හානි සිදු නොවේ. රජයේ නිලධාරින් උසස් ප්‍රභූන් ආශ්‍රයට ලැබුණ විට අභිවෘද්ධිය ළඟා කෙරේ. තුලා රාශියෙන් දොළොස්වැනි රාශිය කන්‍යා රාශියයි. එය බුධට අයිති වේ. ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. ඒ සම්බන්ධ පුහුණුවක් ලැබුවහොත් එයින් ඔබේ දියුණුව ඇතිවේ. අන්‍යයන් සමඟ කතා කිරීමේදී පරෙස්සම් විය යුතුය. වචන වැරදුණ හොත් සතුරු කරදර මතු වේ. ඒ නිසාම කාලයක් යන තුරුම සිත්තැවුල් පීඩා විඳීමට සිදු වේ.

උත්පත්ති ග්‍රහබලය අනුව පලාපල අඩු වැඩි වේ. පූර්ව කර්මය අනුව සිදු වන්නේ යයි කියන දේවල් ද උත්සාහයෙන් වෙනස් කරගත හැකිය. ග්‍රහබලය දුබල අවස්ථාවල ප්‍රවේශම් වීමෙන් සහ ග්‍රහබලය සුබදායක ලෙස ප්‍රබලව ඇති අවස්ථාවල තවදුරටත් උනන්දු වීමෙන් දිවිමග දියුණුව වැඩිදුරටත් සාර්ථක කරගත හැකිය.

දියමන්ති, බෙරලියන්තු, සුදු, නිල් මැණික් පැලැඳීම යහපති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.