මාර දූතිකාවක වූ මැහැල්ල

ජුනි 7, 2024

 

මෙතෙක් කතාව :-

තරුණවියේ පසුවන වෘත්තිකයන් සිවු දෙනකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියැවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ ගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය. ස්වභාවයෙන්ම රාත්‍රියේදී මහ මඟ සිටින ගැහැනියක දැකීම නිසා සන්ත්‍රාසයට පත්වීමේ මානසික රෝගයක් සහිත මේ මිතුරාට

මේ මැහැල්ල මුණ ගැසෙන සෑම මෙහොතකටම පසු ජීවිතයට සමීප වූවකු මියයයි. ඔහු දැන් සිටින්නේ ඇය ගැන බලවත් ක්‍රෝධයකිනි. දිනක් මේ ගැහැනිය හදිසියේ මුණ ගැසෙන ඔහු ඇය වෙතින් පලා නොගොස් ඇයගේ මෙම වෛරී හැසිරීම ගැන ප්‍රශ්න කරයි.

“එහෙම වෙන්ඩ උඹ මගෙ කවුද කියාපං?”

“කවුරුත් නෙමෙයි මාරයා ”

මෙසේ කියූ ඒ මායාකාර මැහැල්ල ඉතාමත් නීච විදියට මගේ මුහුණට කෙළ පාරක් ගහල ගැහැනියකට තබා මීයෙකුටවත් බැරි තරම් වේගයකින් මගේ අතින් ගැළවී ඈතට පැන දිව්වා.

මගේ මතකයේ රැඳුණු තවත් දෙයක් තමයි එවැනි වයස්ගත ගැහැනියකට කිසිසේත්ම නොහොඹිනා ආකාරයකට තම සාය දණහිස්වලටත් ඉහළින් ඔසවාගෙන, දුවපු නොහොඹිනා ආකාරය, එය මා හට මහත් පිළිකුල දනවන දර්ශනයක් වූ බව ඔබට කිව යුතුයි. නමුත් මේ සියල්ලටම වඩා විශේෂයෙන්ම මගේ මතකයේ රැඳී පැවැතුණ කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ උස මහලු ගැහැනිය දිව යනවාට වඩා පියාඹමින් ගිය බවක් මට පෙනෙන්නට වීම. තවත් සුළු මොහොතකින් උදා හිරුඑළිය හොඳීන් වැටෙන්නට වීමත් සමඟ අල්ලපු වීදියට ළඟා වුණු ඇය මොහොතකට නැවතිලා මා දිහා බලා හිටියා. ඊළඟ මොහොතේ ඇය තම සුදු පාට අවාන මා දිහාට විහිදුවා යම්කිසි තර්ජනයක් කළා. තවත් මොහොතකින් ඇතුළත පාරේ තිබුණ වංගුවකින් හැරිලා අතුරුදන් වුණා. මේ මොහොත වන විට මිනිසුන් එකා දෙන්නා තම වැඩ කටයුතු සඳහා යාමට පාරට බහිමින් සිටියා. ඒ අනුව තවදුරටත් ඇය පිටුපසින් පන්නාගෙන. යා හැකි තත්ත්වයක් මට තිබුණේ නැහැ. එහෙම වුණානම් මාව පිස්සෙකුගේ තත්ත්වයට පත් වෙන්නට හොඳටම ඉඩ තිබුණා. නමුත් ගේබ්‍රියෙල් ඔබ තව ටිකක් ඉවසලා මගේ කතාවට ඇහුම්කන් දෙන්න” මගේ නොඉවසිලිමත්භාවය දුටු ටෙලොස්ෆෝරෝ ඉල්ලා සිටියා.

“මගේ දෛවය සමඟ පුදුමාකාර ආකාරයට බැඳී ඇති මේ කරුමක්කාර කාරණය ගැන දැන්ම විවරණයකට එන්න එපා අඩුම තරමින් තව විනාඩි කීපයක්වත් මගේ කතාව අසාගෙන ඉන්න කියා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා”

“හිමිදිරි පාන්දර මට මුහුණ දෙන්න සිදුවුණු මේ අමිහිරි සිද්ධියෙන් හෙම්බත්ව ගෙට පය ගැසූ මොහොතේම මට මුණ ගැසුණේ කවුද? ඒ තමා මගේ කල්‍යාණ මිත්‍ර මේජර් ෆාල්කොන්. ඔහු පැමිණ සිටියේ මේ වනවිට මේ මහ පොළොව මත මට ඉතිරිව තිබූ එකම බලාපොරොත්තුවත් මට අහිමි වූ බව දැනුම් දෙන්නට. ඒ කියන්නේ මගේ පෙම්බර ජෝකීනා ඊට පෙරදින මියගිය බව දන්වා සිටින්නට. ඇයගේ පියා මෙම ආරංචිය මේජර් ෆාල්කොන්ට පවරා ඇත්තේ මේ යක්ෂ ගැහැනිය මට හමුවු මොහොතේම බව මට පසුව දැන ගන්නට ලැබුණා”

මෙසේ කියූ ටෙලෙස්ෆෝරෝ පිළිතුරක් බලාපොරොත්තු නොවූවත්, මගෙන් මෙසේ විමසුවා.

“ඉතින් කියන්න මිත්‍රයා, මගේ ජීවිතයේ සොම්නස, සතුට විනාශ කරන්නට සැදී පැහැදී සිටින මේ වෛරක්කාර හැපින්න මා විසින් මරා දැමිය යුතුද, නැතිද කියා”

“ඇත්තම කියනවානම් මට දෙන්න පිළිතුරක් තිබුණේ නැහැ. ඉතින් ඔහුම තමාගේ ප්‍රශ්නය මේ විදියට විග්‍රහ කරන්නට පටන් ගත්තා.

“ඇත්තටම මිත්‍රයා, එක අතකට මම ඇයව මරා දමන්න ඕනෑය කියන එකේ තේරුම මොකක්ද? ඊට කළින් මට වටහා ගන්න බැරි ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙනවා. මුළින්ම ඈ මනුෂ්‍ය ස්ත්‍රියක්ද, නැතිනම් යම් අමනුෂ්‍ය බලවේගයක්ද කියන එක. ඒ වාගේම ඈ මාව මුළින්ම දුටු දවසේ හඳුනා ගත්තායයි කියන එකේ තේරුම මොකක්ද? ඒ වාගේම මාව ඒ විදියට හඳුනාගත්තේ මොන එහෙකටද? මගේ ජීවිතය සසල කරවන විශාල ඛේදවාචකයක් සිදුවන හැමවිටකම මේ ගැහැනියම මට හමුවන්නේ ඇයි? මට කියන්න, ඈ මගේ දෛවයේ තීරකයාද? නැතිනම් මාරයා හෝ සාතන්ද? අද්භූත බලවේගයක් සේ සලකන්නට සිදුව ඇති මේ සත්ත්වයා කවරෙක්ද?”

ඔහු මගෙන් නොව, තමුන්ගෙන්ම විමසා ගන්නා ආකාරයට පැවසුවා.

“ඉතින් මිත්‍රවරුනි, මෙවැනි අනෙක් හැම විටකදීම කවුරු වුවත් සිදු කරන්නාක් මෙන් මමත් ටෙලෙස්ෆෝරෝගේ හිත හදන්නට බොහෝ දේ කිව්වත්, ඒවායින් පලක් නොවුණ බව කියමින් ඔබලාව වෙහෙසට පත් කරවන එකෙහි තේරුමක් නැහැ” යයි අපේ කතාව කියන්නාවූ ගේබ්‍රියෙල් පැවසුවා.

“ඒ මොකද දැන්...ඔබ හැමදෙනාම මේ කතාව ගැන කියන්නට යන දේ...එනම් මෙහි කිසිම අස්වාභාවික දෙයක් නැතැයි යන්න ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කිරීම තමයි මමත් ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ කළේ. සමහර විට ඔබලාට මෙවැනි නිගමනයකට එන්නත් පුළුවන්. ඒ තමයි මගේ මිත්‍රයාට ඔල්මාදේ යයි කීම. එවැනි තත්ත්වයක් ඔහුට නොතිබුණත් ඒ වන විට ඇතිවී තිබූ කැළඹීම නිසා මනෝ වෛද්‍යවරු “ ආවේගොන්මාදය” වශයෙන් සලකන මානසික රෝගී තත්ත්වයට පත්වී සිටි බව නම් සත්‍යයක්. අනෙක් අතට ඔබලාගේ පැත්තෙන් බලන කල මා ඉදිරිපත් කළ කාරණා ටික එක පෙළට සසඳා බලා ඒවා එක්ක ගැළපී සිදුවුණු හුදු අහම්බ සිද්ධීන් යයි පෙන්වාදීමට ඕනෑ තරම් ඉඩකඩ තිබෙනවා”

“ඒත් මෙහි ඇති අපූර්ව කාරණය තමයි මා මිත්‍ර ටෙලෙස්ෆෝරෝ සන්සුන් මානසික තත්ත්වයකින් පසුවන විට ඇය ගැන තමාටම කියාගත් දේ. එනම් ඇය ඔල්මාදකාරියක්. එක්කෝ හිඟන්නියක්. අසරණ මහලු ගැහැනියක්. නැතිනම් වෛශ්‍යාවන් සපයන්නියක් විය හැකි බව” “ඒ තමයි නිවැරදිව නිගමනය” දැඩි අවධානයකින් යුතුව ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි සෙසු පස්දෙනාම එක හඬින් පැවසුහ.

 

(මතු සම්බන්ධයි)

 

තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.