ශ්‍රී විෂ්ණු යෝගය උදා කරමින් සිකුරු වෘෂභයට එයි

මැයි 10, 2024

 

මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ

ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග අනතුරු බහුල වේ

 

ලග්න දොළසටම ශ්‍රී විෂ්ණු යෝගය උදා කරමින් 19 වැනිදා පෙරවරු 8.43ට සිකුරු ග්‍රහයා වෘෂභයට සංක්‍රමණය වෙයි. එය ජුනි මස 12 වැනිදා සවස 6.29 දක්වා පවතිනු ඇත. ඒ අනුව වෘෂභ, සිංහ, වෘශ්චික සහ කුම්භ යන ලග්න සතරට මාලවී යෝගය යෙදීමෙන් එම ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරී යයි.

එමෙන්ම මේ මුහුර්තයෙන් උපදින දරුදැරියන් ඉතා භාග්‍යවත් පිරිසක් බවට පත් වේ. ලග්න දොළසටම යෙදෙන ශ්‍රී විෂ්ණු යෝගයේ බලයෙන් සියලු ලග්න හිමියන්ට තම අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමේ ශක්තිය තම තමන්ගේ උත්පත්ති ග්‍රහබලය මත අඩු වැඩි වශයෙන් යෙදෙනු ඇත.

ප්‍රභූ වනිතාවන් හට මෙන්ම සාහිත්‍යකරණයේ යෙදෙන්නන්, පුවත්පත් සඟරා ආදියෙහි කටයුතු කරන ලේඛක ලේඛිකාවන් කෙරෙහි වරප්‍රසාද රැසක් හිමි වන කාල සීමාවකි.

තමන්ට හිමි රාශියක් වන වෘෂභයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිකුරු පවතින කාලය පුරා කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ සිව්වැනි භාවයේ මාලවී යෝගය පැවතීම නිසා පවතිනවාට වඩා අසාමාන්‍ය ලෙස සුබවාදී පරිවර්තනයක් ආර්ථික හා සමාජීය වශයෙන් දක්නට ලැබෙන අතර සිංහ ලග්න හිමි ජනරජ කේන්දරයේ දස වැන්නේ හෙවත් කර්මස්ථානයේ යෙදෙන මාලවී යෝගයෙන් එය තවදුරටත් තහවුරු වනු ඇත.

එහෙත් මැයි පළමුවැනිදා වෘෂභයට පැමිණි ගුරු තුන් වැනිදා අස්ත වීමත්, ජුනි 03 වැනිදා උදා වීමත් ඔක්තෝබර් 09 වැනිදා වක්‍ර වීමත් අනුව මේ සුබවාදී බලපෑම්වල යම් යම් වෙනස්කම් සිදුවිය හැකිය. එයට හේතුව ජුනි 12 වැනිදා සතුරු රවි සම වනතුරු ගුරුත් සමඟ පාපකර්තරී වීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස යාන වාහන, නාවික ගුවන් මහාමාර්ග ආශ්‍රිත ආපදා විපත්ති ඇති විය හැකිය. තුන්දොස්, කළවා බන්ධන, විණ බන්ධන, සෙනසුරු මාරක ඒරාෂ්ටක දෝෂ ආදිය යෙදුණ ඇතමුන්ට මෙන්ම කර්ම ශාප, ශර්පශාප, අමනුෂ්‍ය දෝෂ, සංසාරික දෝෂ, මාරක ග්‍රහ අපල බලවේග පවතින අයට සුබපල අඩුවිය හැකි බැවින් විෂමාචාර ග්‍රහ කිරණ දුරස්ථ කිරීම සඳහා ආශිර්වාදාත්මක සෙත් ශාන්ති කිරීමෙන් සහ දෙවියන් ඇතුළු සමස්ත ලෝකවාසී පෘථඞජන ඥාති හිතෛෂීන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෝෂ දුරු කරගත හැකිය.

යුක්තිය, නීතිය, සාධාරණත්වය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ පෙරළිකාර සිදුවීම් රැසක් ඉදිරියෙහි ලොව පුරා විද්‍යමාන වෙයි. බැංකු හා මූල්‍ය ආයතන, සුබ සාධන ආයතන සාමාන්‍ය පොදුජනතා යහපත පිණිස සක්‍රීය වෙයි. සාමකාමී සහජීවනය අගයන පසුබිමක් නිර්මාණය වෙයි.

 

මේෂ ලග්නය

රවි, ගුරු 02 වැන්න වූ ධනස්ථානයෙහි සතුරුවද සිකුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් අනූනව ද තැන්පත්ව ඇත. 11 වැන්න වූ අයස්ථානයේ ශක්තිමත් සෙනසුරු ස්වක්ෂේත්‍ර වෙයි. 03, 06 අධිපති බුධ ග්‍රහයා ලග්න ගතවද උදා තුලා රාශියෙහි ශ්‍රී විෂ්ණු යෝග බලයද ලැබී ඇත. මේ අනුව උසස් දියුණුවකට භාග්‍යය යෙදී ඇත.

වෘෂභ ලග්නය

සිකුරු සංක්‍රමණයේ දී මෙන්ම 02, 05 අධිපති බුධ ග්‍රහයා 12 වැන්නේද යෙදීම සතුටුදායක වෙයි. ශනි 11 ස්ථාන ආලෝක ග්‍රහබල යෙදී ඇත. මාලවි පංචමහා පුරුෂ යෝගය සිකුරුගෙන් ලග්නගතවද සෙනසුරු ස්වක්ෂේත්‍රය 10 වැන්න වූ කර්මස්ථානගතවීමද සංසාරික පුණ්‍යය කටයුතු තුළින් සැප සතුට භාග්‍යය උදාවෙන කාල පරාසයකි.

මිථුන ලග්නය

සිකුරු 12 වැන්නට සංක්‍රමණයවීමේ දී සෙනසුරු ස්වක්ෂේත්‍රව භාග්‍යස්ථාන ගතවීම ද විෂ්ණු යෝගය 12 වැන්නේ ද යෙදෙමින් ජවබල සම්පන්න ග්‍රහ ගමන් මඟක් උදාවී ඇත. මේ අනුව ආරම්භක කටයුතු මෙන්ම අපේක්ෂාවන් බොහෝ දුරට සාර්ථක බවක් නිර්මාණය කෙරෙනු ඇත. නිර්ණාමික නාමික සොර සතුරු බලවේග නැසී යයි.

කටක ලග්නය

තෙවැන්න වූ වික්‍රමස්ථානාධිපති මෙන්ම 12 අධිපති යුරේනස් සමව කර්මස්ථානය වූ 10 වැන්නේ ද ස්වක්ෂේත්‍ර සිකුරු අයස්ථානය වූ 11 වැන්නේ ද තැන්පත්ව ශුභවාදි පසුබිමක් නිර්මාණය වන්නේ ය. සෙනසුරු 08 වැන්න වූ මෘත්‍යස්ථානාධිපතිව සෙනසුරු අෂ්ටම මාරක ඒරාෂ්ටක අපල ගෝචර වශයෙන් යෙදී ඇත. ඥාති හිතෛෂී සැමදෙනා අතර ජනපි‍්‍රය අයෙකු වෙයි. උයන් දියුණුවකටද කාශ්‍යප යෙදී ඇත.

සිංහ ලග්නය

විෂ්ණු යෝග ආශිර්වාද කර්මස්ථානය වූ 10 වැන්නෙහි නිර්මාණය වී ඇත. මෙයින් පංචමහා පුරුෂ මාලවි නම් වූ ප්‍රබල යෝග බලය උදාවී ඇත. එසේම සෙනසුරු 7 වැන්නෙහි ස්වක්ෂේත්‍රව සසයෝගබලයද උදාකොට ඇත. 02, 08 ස්ථානයන්හි ආලෝක ග්‍රහ කිරණ සුබවාදීව ද යෙදී ඇත. දිගුකාලීන අරමුණු රැසක් සුබවාදීව විසඳා ගැනීමේ භාග්‍යය උදාවෙන බවක් පෙනී යයි.

කන්‍යා ලග්නය

ආලෝක ග්‍රහ කිරණින් ප්‍රභාවත් වූ කන්‍යා රාශි හිමියනට විෂ්ණු යෝගය මෙන්ම සිකුරුගේ ග්‍රහ කිරණ 09 වැන්න වූ භාග්‍යස්ථානයෙන් දස අතට විහිදී ඇත. ස්වක්ෂේත්‍ර සෙනසුරු 02, 06, 10 යන අර්ථකෝණය බබුළුවා යෙදී ඇත. මෙහි සෞරග්‍රහමණ්ඩලයෙහි ප්‍රබලත්වය කන්‍යා රාශි ජන්මලාභීන් වෙත ලැබී ඇත. මෙතෙක් පැවැති බාධක අභිබවා දියුණුව කරා ළඟා වෙයි. සිතැඟියාවන් ඉටුවෙයි.

තුලා ලග්නය

විෂ්ණු යෝගය 08 වැන්න වූ මෘත්‍යස්ථාන ගතවද ස්වක්ෂේත්‍ර සෙනසුරුගේ තැන්පත් වීම 05 වැන්නෙහි ද යෙදී ඇත. දෙස් විදෙස් සංචාරක අවස්ථා මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්ද ලබා ගැනීමෙහි භාග්‍යය උදාව පවතිනු ලබයි. වාසනාවෙහි රුවන්දොරටුව විවර වෙයි.

වෘශ්චික ලග්නය

07 වැන්නෙහි ශ්‍රී විෂ්ණු යෝගය ද මාලවියෝග බලයද ලග්නගතව යෙදී ඇත. ස්වක්ෂේත්‍රව සෙනසුරුගෙන් 04 වැන්නෙහි පංචමහා පුරුෂයෝග අතරින් සසයෝග බැල්මද වෘශ්චික රාශි හිමියාට නො අඩුව ලැබෙනු ඇත. ලග්නාධිපති මෙන්ම 06 අධිපති අඟහරු 05 වැන්නෙහි ස්වක්ෂේත්‍රමුල ත්‍රිකෝණව තැන්පත්ව ඇත. 03, 11, 07 කාම කෝණය ආශි‍්‍රත ග්‍රහචාරය පාපකර්තරී වී ඇත. ශනි සිකුරු බැල්ම ලග්න ගතව යෙදී ඇති බැවින් ආරම්භ කරන ලද කටයුතු ඉතා සාර්ථකව සිදු වනු ඇත.

ධනු ලග්නය

ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙනසුරු 03 වැන්න වූ වික්‍රමස්ථානගතව තැන්පත්ව ඇත. 06 වැන්නෙහි ස්වක්ෂේත්‍ර සිකුරු ග්‍රහයාද විෂ්ණු යෝගබලයද යෙදී ඇත. ලග්නාධිපති ගුරු සතුරුව රවි සතුරුව 10 වැන්නට ත්‍රිකෝණ දෘෂ්ටියක් ද යෙදී ඇත. මේ ග්‍රහචාරයන් අනුව වෙළෛඳ ව්‍යාපාර දියුණුව ගෙනදෙනු ඇත. ලෝකෝත්තර ජීවිතයට නැඹුරුව අනාගතය කෙරෙහි යොමු වෙයි.

මකර ලග්නය

නිර්මාණශීලී බව අගයන උත්සහය උනන්දුවද ප්‍රබලව ඇති ජන්ම ලාභයකි. අධ්‍යාපනය, සෞඛ්‍යය බාහිරව සමගි සමාදාන බව දුෂ්කර වේ. මේ ජන්මියාගේ උපන් හඳහනේ රෝග සතුරු බලවේගද යෙදී ඇතොත් අප්‍රමාදව සෙත් ශාන්ති කටයුතු කළයුතු බවක් පෙනී යයි. කොන්ද, තුනටිය ආමාශය ආශි‍්‍රතව රෝගාබාධ ප්‍රබලව දෘශ්‍යමාන වෙයි.

කුම්භ ලග්නය

ලග්නගතව පංචමහා පුරුෂයෝග අතරින් සස යෝග බලයද මාලවි යෝග බලය 04 වැන්නේ ද ශ්‍රී විෂ්ණු යෝගය ද බලපානු ඇත. බුධ යුරේනස් සුසංයෝගය වික්‍රමස්ථානගතව ජන්මියා ප්‍රබලතම දියුණුව සඳහා යොමු කෙරෙයි. යාන වාහන, ගොඩමඩ ඉඩකඩම් පිළිබඳ කටයුතු සාර්ථක වෙයි.

මීන ලග්නය

01 - 07 ආලෝක ග්‍රහතරු දෙකකින් ඔබගේ ඉදිරි ගමන් මඟට ආලෝකය ගෙනදෙයි. 03 වැන්න වික්‍රමස්ථානගතව 01, 07, 11 කාම කෝණය සමඟ ආකර්ෂණීය බවක් විදහා දැක්වෙනු ඇත. 02, 06, 10 අර්ථ කෝණය සක්‍රිය වෙයි. ශ්‍රී විෂ්ණු යෝගය 02 වැන්න වූ ධනස්ථානගතව ක්‍රියාත්මක වෙයි. මේ අනුව රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව ජීවිතය පුරා ආලෝකයක් ලැබෙනු ඇත. 04, 08, 12 භාවස්ථාන සෙනසුරු 12 වැන්නේ වීම නිසා ජීවිතයෙහි ස්වර්ණමය කාල පරාසයක සමාරම්භයක් පෙන්වයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.