දෙසැම්බර් 16 සිට 22 දක්වා ලෝකයම අඳුරේද?

දෙසැම්බර් 1, 2023

ලබන දෙසැම්බර් 16 වැනිදා සිට 22 දක්වා හිරු අභ්‍යන්තරයේ සූර්ය කුණාටුවක් ඇති වන බවත් එහිදී නිකුත් වන දුහුවිලි හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය හේතුවෙන් පෘථිවියට වැටෙන හිරුඑළිය 90%ක්ම කපා හැරෙනු ඇතැයි නාසා ආයතනය පවසන බවත් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නාසා ආයතනයේ ප්‍රධානී චාල්ස් බොල්ඩන් ප්‍රකාශ කර ඇත්තේ වසර 250කට පසුව එන විශාලම සූර්ය කුණාටුව මෙය වන බවත් මෙයින් ඇතිවන අන්ධකාරයට අමතරව වෙනත් කිසිදු බලපෑමක් ඇති නොවන බවත්ය. මෙය කලබල හෝ බිය විය යුතු තත්ත්වයක් නොවන බව හෙතෙම අවධාරණය කළේය”. යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යමින් තිබේ. මේ පුවතේ සත්‍ය අසත්‍යතාවය අපි මෙරට ප්‍රධාන තාරකා විද්‍යාඥයකු වූ අනුර සී පෙරේරා මහතාගෙන් විමසා බැලීමට කටයුතු කළෙමු.

“ඔය කාරණාව මම මෙලෙස පැහැදිලි කරන්නම්. සූර්යයා කියන්නේ ගිනි බෝලයක්. එහිදී සංයෝග වන නයිට්‍රජන් පරමාණු, හීලියම් පරමාණු බවට පත්වීමේ ක්‍රියාවලියේ දී පිටකරන ශක්තිය තමයි අපිට ආලෝකය ලෙස ලැබෙන්නේ. මේ ආලෝකයට අමතරව සූර්යයාගේ මතුපිටින් ගින්දර විහිදීම සිදුවෙනවා. ඒ විහිදීම සමහර විට පොඩි විහිදීම් හෝ විශාල විහිදීම් විය හැකියි. මෙය සිදුවන්නේ හිරු අභ්‍යන්තරයේ දීයි. මිනිස් ලොවට බලපාන්නේ සූර්යයාගේ මතුපිටින් සිදුවන විපර්යාසයනුයි. සූර්යයා පිහිටා ඇත්තේ පොලො තලයේ සිට කිලෝමීටර් මිලියන එකසිය පනහක් පමණ දුරකින්. එසේ නැතිනම් කිලෝමීටර් කෝටි 15ක් දුරින්. අපේ මුළු සෞරග්‍රහමණ්ඩලයම රඳා පවතින්නේ සූර්යයාගේ ශක්තිය මතයි. ඒ අනුව සූර්යයා මතුපිට යම් දෙයක් සිදු වුණාම එය ග්‍රහලෝකවලට ඍජුව හෝ වක්‍රව බලපානවා. පොළොව ගත්තම ජීවය රඳා පවතින එකම ග්‍රහලෝකය. පොළොවේ දේශගුණික විපර්යාස පාලනය වන්නේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන්. සූර්යයාගේ කිරණ මඟින් පිටවන ආලෝකයෙන් විද්‍යුත් ශක්තිය අවකාශයට පිටකිරීම සිදුවෙනවා.

ඒ විද්‍යුත් ශක්තිය මඟින් ඇතිවන ක්‍රියාකාරිත්වය තුළත් අපේ වායුගෝලය ඉහළ විද්‍යුත් ආරෝපණ තත්ත්වයත් ඇති කරනු ලබනවා. ඒ ආරෝපණය මඟින් කාලගුණික විපර්යාස සිදුවෙනවා.

මේ අනුව බලන විට ගිනිදැල්ලක් ආවත් හිතන තරමේ අඳුරක් ඇති වන්නේ නැහැ. ඉහළ අභ්‍යවකාශයේ සිදුවන විද්‍යුත් ආරෝපණය නිසා ඇතිවන කාලගුණික වෙනස්කම් මත ඝන විශාල වළාකුළු ඇතිවීම මත ඇඳුරක් ඇතිවන්නට පුළුවන්. තාරකා විද්‍යාඥයන් ලෙස අපිට කියන්නට බැහැ මේ දවසේ සූර්යයාගේ ගිනිදැල්ලක් ඇතිවෙයි කියලා. එනිසා මෙවැනි පුවත්වලට කවුරුත් අනිසි බියක් ඇති කර ගත යුතු නොවෙයි.

එනිසා මා පවසන්නට කැමැතියි, නාසා ආයතනයත් සම්බන්ධ කරමින් ප්‍රකාශයට පත්ව ඇති මේ පුවත අසත්‍යයක් වන බව.”

 

(මේ පිළිබඳ අනුර සී. පෙරේරා මහතා කළ ප්‍රකාශය සුබසෙත යූටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකිය)

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.