කුජ දෝෂයට බිය නොවන්න

නොවැම්බර් 3, 2023

සාමාන්‍යයෙන් කේන්දරයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එහි කුජ හෙවත් අඟහරු ග්‍රහයා තැන්පත් වීමෙන් විවාහ දිවියේ ගැටලු පැනනැගීමට ද හැකියාවක් ඇත. එනිසා පොරාන්දම් ගැළපීමේදී නැතහොත් විවාහ සීහුම් පරික්ෂාවේදී කුජ දෝෂ පරික්ෂාවට විශේෂ තැනක් හිමි වේ.

 

විවාහයේ ස්වභාවය දැනගැනීමට හේතු වන තවත් භාව කීපයක්‌ වෙයි. ඒවා 1, 2, 4, 7, 8, 12 වන අතර එකී භාවයන්හි කුජ තැන්පත් වීම කුජ භෞම දෝෂය ලෙස හැඳීන්වේ. එහෙත් භෞම දෝෂය තිබූ පමණින් තමන් විවාහයට නුසුදුස්සකු වන්නේ නැති බව ඔබ තරයේ සිහි තබාගත යුතුය. විසි පොරොන්දමේ එන ‘රජ්ජු’ පොරොන්දමේ ‘ශිරෝ’ රජ්ජුවට අයත් නැකත් තුනම කුජ ග‍‍්‍රහයාට වෙන්කර දීම නිසා කුජගේ බලය විවාහයේදී වැදගත් සේ සැලකේ. දෙදෙනාගේම කේන්ද්‍රවල කුජ දෝෂය ඇතිවිට ද කුජ දෝෂය භංග වේ. ලේ ධාතුවට අධිපති ලෙස ගැනෙන්නේ කුජය. පතිපතිනි යුවළගේ ලේ ධාතුව සමාන වීම විවාහයකට හොඳ පිහිටීමකි.

කුජ 7 සිටීම විවාහයකට බාධාවකැයි බියෙන් පසු නොවී කුජ හතට එවැනිම කුජ හත කේන්දරයක්‌ ගැළපීම යහපත්ය. කුජ දෝෂය ලග්නයේ චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ යම් කේන්ද්‍රයක වේ නම් එවැනි කේන්දර ගැළපෙන්නේ එවැනිම කුජ දෝෂ සහිත කේන්දරයක් සමඟ පමණි. නැතහොත් එම දෝෂ භංග වන ආකාරයට වෙනත් ගැළපීම් ඇති කේන්දර සොයා ගැනීමට ද හැකිය. කුජ හතේ පිහිටි කාන්තා පිරිමි දෙපිරිසම කුජ දෝෂයේ අයහපත් ප්‍රතිඵලවලින් තොරව සතුටින් යුගදිවි ගෙවන අවස්ථා අපමණ දැකිය හැකිය.

ඔබ කුජ ග්‍රහයාට පමණක් බිය වුව ද රවි, චන්ද්‍ර, ශනි, රාහු හා කේතු යන ග්‍රහයන් ද අයත් වන්නේ පාපි කොටසටය. ඉහත සඳහන් භාවවල එම ග්‍රහයන් තැන්පත් වීමෙන් රවි දෝෂය, ශනි දෝෂය, රාහු දෝෂය ඇති වන බවට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ අඩුවෙනි. එහෙත් 3, 6, 10, 11 යන උපචය භාවවල ඉහත පාපීන් සිටින විටද කුජ දෝෂය ශුන්‍ය වන බැවින් ශුභ පල ගෙන දේ.

කුජ ග්‍රහයා ගුරු සමඟ සම්බන්ධවීමෙන් හෝ දෘෂ්ටි ගතවීමෙන්ද කුජ දෝෂය භංග වේ. කුජ යම් කේන්ද්‍රයක 4, 7 භාවවල ස්‌වක්‍ෂේත්‍රව මේෂ, වෘශ්චික, මකර, කටක යන රාශිවල ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගන් 7 වන්නේ කුජ සිටින විට ද මේ දෝෂය භංගවේ. මේෂ, කටක, තුලා, මකර යන චර රාශි හිමියකුගේ ලග්න, චන්ද්‍ර, සිකුරු යන තිදෙනාගෙන් 1, 2, 4, 8, 12 යන භාවයක්‌ වී නම් එහි කුජ සිටින අවස්‌ථාවලදී භෞම ‌දෝෂය භංග ‌වේ. කුජ 1, 2, 4, 7, 8, 12 භාවවලදී බුධ සමඟ සංයෝග වී හෝ දෘෂ්ටි ලැබීම නිසාද කුජ දෝෂය ශුන්‍ය වේ.

මිත්‍ර රවි, චන්ද්‍ර, ගුරු යන ග්‍රහයන්ගේ රාශිවලදී ද කුජ දෝෂය බල නොපායි. භෞම දෝෂ යෙදෙන ස්ථාන හය අතරින් කුජ ග‍‍්‍රහයා හත්වැන්නේ පිහිටීම සුවිශේෂී බවක් ගෙනදී ඇත. උපතින් කුජ හත්වැන්නේ පිහිටි කාන්තාවන්ට පිරිපුන් පියයුරු මෙන්ම, පුළුල් උකුළක් හිමි වන බව සෘෂි මතයයි.

කුජ පිළිබඳ කතාවේදී වැදගත් යෝග දෙකක් ද සැලකිල්ලට ගැනේ. ඒ කුජ සමඟ සෙනසුරු සංයෝග වීමෙන් ඇතිවන ශනි මංගල යෝගය සහ කුජ සමඟ චන්ද්‍රයා සංයෝග වීමෙන් ඇතිවන චන්ද්‍ර මංගල යෝගයයි. කුජ ශනි යෝගය ඇති පුද්ගලයන් මනා ඉවසීමක් ඇති ධාරණ ශක්තියෙන් පිරිපුන් ගුණවත් අයය. ශක්තිමත් නීරෝගි ඔවුන් ඉතා උසස් තනතුරු ද හොබවනු ඇත. එසේ වන්නේ සුබ දෘෂ්ටි ලැබ සිටියොත් ය. අසුබ දෘෂ්ටි ලැබ සිටියොත් දරුණු ගතිගුණ ඇති පුද්ගලයන් වේ. ශනි දෙවැන්නාධිපතිව කුජ මංගල යෝගය ඇති වුවහොත් නිත්‍ය වශයෙන්ම අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නකු වන බව ඡ්‍යොතිෂ මතයයි. චන්ද්‍ර මංගල යෝගය ද යහපත් ලෙස පිහිටීම අධික ත්‍යාගවත් නිර්භීත ශක්තිමත් පුද්ගලයන් බිහි කරයි. විවෘත හදවතින් යුතු ඔවුන් ප්‍රීතියෙන් කල්ගත කිරීමට කැමැතිය. එහෙත් අයහපත් දෘෂ්ටි ලැබුවහොත් ඉවසීමෙන් තොර අධම ක්‍රියාවල යෙදෙන විරුද්ධ ලිංගිකයන් හා මත්පැන් නිසා විනාශයට පත්වන අය බවට පත්වේ.

මේ කෙසේ වෙතත් ඡ්‍යොතිෂ්‍යයෙහි කුජ ‌දෝෂය ශුන්‍ය වන ක්‍රම 22ක් ‌පෙන්වා දී ඇති බැවින් කුජ දෝෂයට බියෙන් විවාහයට පසු බෑම සුදුසු නොවන බව පැවසිය යුතුමය. ඔබගේ ආදර බන්ධනය ඇති කරගන්නේ කුජ දෝෂය පරීක්ෂා කිරීමෙන් පසු නොවේ. එනිසා යම් අයුරකින් ඔබට කුජ භෞම දෝෂයක් ඇති බව පැවසේ නම් කොළොන් වෘක්ෂ පූජාව මඟින් එය දුරු කරගත හැකිය.

කොළොන් ගස ඉති, අතු, දරන සමයෙහි වර්ණ නැටි සහිත වටකුරු පත්‍රවලින් අනූන ශාකයෙකි. රතු නෙළුම්, රතු කනේරු ඇතුළු මල් වර්ග 09 රතු ගෙඩි 09,16,25 වශයෙන් සකස්කොට පූජා කිරීම සහ කැවිලි පලතුරු පඬුරු ආශි‍්‍රත පූජා වට්ටියක් ද අවශ්‍ය වෙයි. මෙහිදි භාවිත කෙරෙන සියලු තොරතුරු සඳහා ඊළඟ කලාපය කියවන්න.

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ

විජිත ඩී. ලියනආරචිච්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.