මහපට ඇඟිල්ලෙන් හෙළිවන බුද්ධිමත්බව

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
ඔක්තෝබර් 13, 2023

යම් කිසි පුද්ගලයකුගේ මනස පිළිබඳ පැහැදිලි අවබෝධයක් මහපට ඇඟිල්ල පරික්ෂා කිරීමෙන් ඉතා පහසුවෙන් දැනගත හැකිය. මහපට ඇඟිල්ලේ ප්‍රමාණය එහි හැඩය හා ඒ මත විද්‍යාමාන වන සලකුණු පරික්ෂා කිරීමෙන් මේ බව තහවුරු කරගත හැකිය. මහපට ඇඟිල්ල අනෙක් ඇඟිලි හතරෙන් වෙන්ව පිහිටා ඇත. එසේම එය ඕනැම අතකට නැවීමට පුළුවන. යමක් අල්ලා ගැනීමට මෙන්ම ඒ සමාන කාර්යයක් කිරීමට නම් මහපට ඇඟිල්ල අත්‍යවශ්‍ය වේ. ඇඟිලි පහ අතුරින් වැදගත් ඇඟිල්ල වශයෙන් මහපට ඇඟිල්ල හැඳින්වීම වරදක් නැත. හොඳට ප්‍රබලව ඇති මහපට ඇඟිල්ල සහිත පුද්ගලයන්ට තමාගේ දක්ෂතා නිසි මඟට යොමු කිරීමට ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් ඇත. දුර්වල මහපට ඇඟිල්ලක් ඇති තැනැත්තා එසේ නොවේ.

පරිනාමය ගැන සැලකීමේදි තිරිසන් සතුන්ගේ මහපට ඇඟිලි එතරම් ප්‍රබලව වැඩී නැත. මිනිසාට ආසන්න වශයෙන් සමාන චිම්පන්සියාගේ සහ ගෝරිල්ලන්ගේ ද මහපට ඇඟිල්ල සම්පුර්ණයෙන්ම වර්ධනය වී නොමැත. එම සතුන්ගේ මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලේ පාමුල දක්වාවත් වර්ධනය වී නොමැති අතර, ඔවුන් බුද්ධි වර්ධනය අතින් දුර්වලය. නමුත් මිනිසාගේ ප්‍රබලව වැඩුණු මහපට ඇඟිල්ලක් ඇති අතර, අධිෂ්ඨාන ශක්තිය සහ බුද්ධිමය හැකියාව උපරිමයෙන් තිබේ. මිනිසාට යමක් ඉදිරි අනාගතය සඳහා සැලසුම් කළ හැකිය. මහපට ඇඟිල්ල නොදියුණු සත්ත්වයන්ට එම හැකියාව නොමැතිය.

විශාල මහපට ඇඟිල්ලක් සහිත පුද්ගලයෝ තමන්ගේ බුද්ධි මහිමයෙන් අදහස් සහ තීරණ ගනිති. මෙවැනි පිහිටීමක් සහිත පුද්ගලයන් සමාජයේ ප්‍රධානින් වන අතර, අනෙක් අය විසින් තමාව පාලනය කිරීමට කිසිසේත් ඉඩ නොදේ. තමාගේ විත්ත ශක්තිය අනුව නිර්මාණය කරගත් මූලධර්ම ඔවුන් සතුය. ඒ නිසා ප්‍රබල සංවිධාන ශක්තියකින් යුක්තය. බුද්ධිමත් බව සහ විශ්වාසවන්ත බව පෙන්වයි. ඔවුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ඉතා දක්ෂ පුද්ගලයන් වේ.

කුඩා මහපට ඇඟිලි සහිත පුද්ගලයා හැඟීම්වලට වහල්ව ජීවත්වන අය වේ. සරුව පිත්තල ලෝකයට ආශා කරන්නේ මොවුන්ය. පහන් දැල්ල සොයා පියඹන මෙරු මෙන් මොවුහු ද හැඟීම් වලට වහල් වී කටයුතු කරන්නට යාමෙන් අකාලයේ දිවිමඟ අසාර්ථක කරගනී. බුද්ධිමත් බව තර්කන ශක්තිය සහ අධිෂ්ඨනය අඩුම අය කුඩා මහපට ඇඟිල්ලක් සහිත අය වේ. නමුත් තමා ඇසුරු කරන අය අනුව හැඩ ගැසීමේ හැකියාව සහ දරා ගැනීමේ ශක්තිය ඔවුන්ට ඇත. සතුරන්ට විරුද්ධව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එසේම විනෝදයෙන්, ප්‍රීතියෙන් කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි. අනාගතය ගැන පැහැදිලි සැලසුමක් නැත. ඉතාම කුඩා මහපට ඇඟිලි සහිත පුද්ගලයින් අපරාධ කිරීමට පෙලඹීමේ සම්භාවිතාවය වැඩිය. එමෙන්ම විශාල මහපට ඇඟිල්ල හිමි පුද්ගලයන් සහ කුඩා මහපට ඇඟිල්ලක් සහිත පුද්ගලයන් අතර සම්බන්ධතාවයන් තබා ගැනීම අසීරුය.

මහපට ඇඟිල්ල ආකාර තුනකට පිහිටයි. මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලට ආසන්නව පිහිටා ඇත්නම් ඔවුන්ගේ මානසික තත්ත්වය ඉතාම නොදියුණු මට්ටමක පවතී. පාදඩ ලෝකයේ ඇති නොදියුණු පහත් අදහස්වලින් ඔවුන් යුක්තය. හැමවිටම තමාගේ තෘප්තිය ගැන පමණත් සිතා කටයුතු කරයි. අනෙත් අය ගැන කාරුණිකව සිතීමේ හැකියාව ඔවුන්ට නොමැත. අදහස් සහ හැසිරීම කපටි ස්වභාවයක් ගනී. මොවුන් අත උසස් මානුෂික ගුණාංග ඇත්තේම නැත. මෙවැනි පිහිටීමක් ඇති කාන්තාවක් පවුල් ජීවිතයේදි ඔවුන් ගෙදර ප්‍රධානියා තමාමයි සිතා තමාට අවශ්‍ය විදියට සියල්ලන්ම පාලනය කිරීමට පෙලඹේ. ස්වාමියා පිළිබඳව අනුකම්පා සහගතව සිතීමේ හැකියාව අඩුය. නමුත් මහපට ඇඟිල්ල ප්‍රමාණයෙන් විශාලව පිහිටා ඇති විට මේ තත්වය අඩු කරයි.

මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර විශාල පරතරයක් සහිතව පිහිටා ඇත්නම් අනුකම්පා සහගත කාරුණික ආදරණීය සිතුවිලිවලින් යුත් මනසක් පිහිටයි. සිකුරු මණ්ඩලයේ ඇති උණුසුම් කාරුණික හදවතක ඇති ලක්ෂණ මෙයින් පෙන්වයි. අනෙකා කෙරෙහි විශ්වාසවන්ත බව අනෙකා තේරුම් ගැනීමේ හැකියාවෙන් ද යුක්තය. මේ පුද්ගලයන් වඩාත් ප්‍රායෝගික වන අතර, සාමාන්‍ය දැනුමෙන් ප්‍රයෝජනය ගනී. ත්‍යාගශීලි පුද්ගලයන්ය. මහජන සම්බන්ධතා සඳහා වඩාත් උචිතය. මෙහිදී මහපට ඇඟිල්ල වඩාත් විශාලනම් වඩා යහපත්ය. නමුත් මහපට ඇඟිල්ල කුඩා වන විට යහපත් ලක්ෂණ අඩුවේ.

මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල වඩාත් ඇත්ව හෝ ළංව පිහිටා නැතිව මධ්‍යස්ථව පිහිටා ඇත්නම් වඩාත් ප්‍රායෝගිකය. තමාගේ ජීවිතයේදි සෑම කාර්යයක්ම එක් අනන්තයකටවත් නොගොස් සාමාන්‍ය ආකාරයට කරයි. සමතුලිත මනසක් ද ප්‍රායෝගික ජීවිතය දෙස බැලීමේ හැකියාවකින්ද යුක්තය. ධනවත් වීමේ හැකියාවෙන්ද යුක්තය.

මහපට ඇඟිල්ල උඩ පුරුක්වලින් පසුපසට නැවීමට හැකි පුද්ගලයා සමාජශීලිය. බුද්ධිමත්ය.ඕනෑම සමාජයකට අනුවර්තනය වීමට හැකියාවක් ඔවුන්ට ඇත. එසේම ඔවුන් මහත්මා ගතිගුණ අනුකම්පාව සමඟ සංවේදි සිතුවිලි සහිත පුද්ගලයන්ය. මහපට ඇඟිල්ල පසුපසට නැවිය නොහැකි සෘජු ආකාරයෙන් සිටින පුද්ගලයා ඉහත ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්නුම් කරයි. මහපට ඇඟිල්ල දිග හැරිය විට එම ඇඟිල්ලත්, දබර ඇඟිල්ලත් අතර කෝණය අංශක 45 ට අඩුනම් පටු අදහස් සහ පටු මනසකින් යුක්තය. එසේම අලසය. එහෙත් අධිෂ්ඨාන ශක්තිය වැඩිය. අංශක 45ත් 90 අතර කෝණයක සහිත නම් හොඳ ආත්ම ශක්තියක් ඇත. විවේක බුද්ධියෙන් සහ විවෘත මනසකින් යුක්තය. අන්‍යයන් සහ හොඳ මිතුරු සබඳතා පවත්වයි. පරිපාලන කටයුතු සඳහා සුදුසුය. ඇඟිලි දෙක අතර පරතරය අංශක 90 ට වඩා වැඩිනම් ඔවුන්ගේ ජය පරාජය පිළිබඳව ශෝකවීමක් දක්නට නැත. අනෙකා ගැන ඕනැවට වඩා සිතයි. මේ අය සංවේදීි මනසකින් යුතුª පුද්ගලයන්ය.

සාමාන්‍යයෙන් මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලේ දිගෙන් භාගයක් එනම් දබර ඇඟිල්ලේ දෙවැනි පුරුක දක්වා දිග නම් එය වසනාවන්ත ලක්ෂණයකි. නමුත් මහපට ඇඟිලි පිහිටීම ඉතා පහත නම් මෙය වෙනස් විය හැක. දිග මහපට ඇති පුද්ගලයා දියුණු මනසකින් සහ බුද්ධියකින් යුක්ත නිසා ධනවතෙකු වේ. කොට මහපට ඇඟිලි සහිත පුද්ගලයා සෑම අංශයකින්ම දුර්වලයෙකි. නිතරම සතුරන්ගෙන් පළි ගැනීමට මාන බලමින් කල් ගෙවන පුද්ගලයකකු වේ.

මහපට ඇඟිල්ල ගැන තව දුරටත් ලබන සතියේ සාකච්ජා කරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.