යමයාගෙත් බල බින්දූ මහා බලගතු මහා විෂ්ණු බලා රාජ තෛලය

සැප්තැම්බර් 29, 2023

 

මහා විෂ්ණු බලා රාජ තෛලය


“බැවිල මුල් මැඩ සියක් පලමක් සිව් සැටක් ජල වක්කරා
පසුවදා මිරිකා පෙරාගෙන දසය වනතුරු කකාරා
ඊට කසපැන් දියත් එපමණ ඇවත දසයට කකාරා
තල තෙලුත් එලකිරිත් සිවු සිවු නැලි බැගින් එහි වක්කරා........”

 

“දෙදුරු තිප්පිලි අසමෝදගන් කරාබුත් වසාවාසි යෙන්
ඉගුරු මිරිසුත් අරළු........”

 

“ආලවඩන සරක්කුත් එහි ලමින්මද රත් කරගන්නේ
කෝල නොව සිත නැන උපදවා බලාතම නයනක් මෙනේ
බලා පදමට දියට බා තෙල් පෙරාගෙන වෙන භාජනේ
ලීලනොකරම පැවසු ඉසිවරු අනුපාන දැන දෙවමිනේ...........”

 

“පාන කරගෙන මැඩපු කල මේ තෙලේ අනුහස් කොයි ලෙසේ
අසාරව සිටි පුරුස සමයෙයි සියලු දෙය රිසිනැත මෙසේ
වසාගන එන තුන් දොසින් එන පිත් අදික මෙන් සියගත මෙසේ
නොසා විෂ්ණූ බලා තෛලය සැම ලෙඩට යමයකු ලෙසේ.........”

(තෛල වට්ටෝරුව හෝ මන්ත්‍ර සම්පූර්ණ කොට නැත)

 

සුබසෙත ඔස්සේ ඔබවෙත මා විසින් තිළිණ කරනු ලබන ශ්‍රී ලංකාද්වීපයේ තිබූ අනර්ඝ ඖෂධ පිළිබඳව පළවූ ලිපිවල පළමුවෙන්ම කතා කරනු ලැබුවේ නාරනන්දන ශ්‍රී විෂ්ණු රාජ තෛලය පිළිබඳවය. එම තෛලය සකසාගැනීම අතිශය අමාරු සහ දුෂ්කර වන අතර එහෙත් ඉතාමත් පහසුවෙන් සකසාගත හැකි තෛලයක් ලෙස විෂ්ණු බලා තෛලය පෙන්වා දිය හැකිය.

අතීතයේ රජදරුවන් විසින් විෂ්ණු දෙවියන් දර්ශනය කර ගැනීමට (බලා ගැනීමට) මෙම තෛලය භාවිත කළ හෙයින් එය “විෂ්ණු බලා රාජ තෛලය” ලෙස හැඳින්වීය. විෂ්ණු බලා තෛලයද අනර්ග ගුණ සමුදායක් ලබා දෙන විෂ්ණු දෙවියන්ගේ උදව් උපකාර ලබාගත හැකි ඖෂධීය මෙන්ම ගුප්තභාවයෙන් පිරිපුන් තෛලයකි. මෙකී තෛලය රාජ තෛල ඛාණ්ඩයට අයත් ලංකාවේ මේ වන විට සොයාගැනීමට නොහැකි වන දුර්ලභ තෙලක් ලෙසද පෙන්වා දිය හැකිය.

අතීතයේ මෙකී තෛලය භූත වෛද්‍යවරුන්,අංජනම්කරුවන්, හුලවාලීන් අතර අතිශය ප්‍රසිද්ධ වී තිබුණේ නොපෙනෙන මානයන් බලා ගැනීමට මේ තෙල භාවිතා කළ නිසාවෙන් විය හැකිය. අංජනම් ශාස්ත්‍රය පිළිබඳව කතා කරන විට(අංජන යනු ඇස හදුන්වන සමාන පදයකි. ඇස ගල්වන ආලේපන සහ තෙල් ගැල්වීම්වලට අංජනම් ගෑම, අංජනම් එළීම ලෙස අර්ථ දක්වන අතර නොපෙනෙන මානයන් ගුප්ත තෛල හෝ ඖෂධ ගල්වා හෝ ඖෂධ තබා හෝ ඇස් දෙකෙන් බැලීම “අංජනම් බැලීම” ලෙස හදුන්වයි.) එයින් සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ඇසට ගෝචර කළ නොහැකි නොපෙනෙන පරිබාහිර ලෝකයන් සහා පරිබාහිර කරුණු දැනගැනීමට දැක ගැනීමට අතීත ශාස්ත්‍රීය ශිල්පීන් භාවිත කළ එහෙත් වර්තමානයේ දැඩි අවභාවිතයකට ලක්වන ශිල්පීය ක්‍රමයක් ලෙසද පෙන්විය හැකයි.

අංජනම් එළියට අධිගෘහිත ප්‍රධාන දේවතා එළි කීපයක් වේ. “විෂ්ණූ එළිය, මැණික්පාල දේවි එළිය,හනුමා එළිය, අංජනම් දේවී එළිය, වදුරුකාලී එළිය, සංඛ භෛරව එළිය....” ලෙස දෙවිවරුන් මූලික කොටගත් අංජනම් එළි පිළිබඳව ලියා ඇති පුස්කොළ සටහන් වලද විෂ්ණු දෙවියන් මූලික කොට ගෙන අංජනම් ශාස්ත්‍රය ගෙන ගිය බව සදහන් වේ.

මෙකී තෛලයේ බල නම්,

“ සිරි ලංකාවේ නැගෙනහිරින් ඉර මුදුන් කොටන විට ඒ දෙශට හැරී තාඹුලේ විෂ්ණු බලා තෛලය අස්ව කෙඳි අගින් ගා ඉරුදෙස බැලු කලට ඉරු එළි නොපෙනේ. සත්තයි තාඹුල හිස ගා විකා යනූ රාජ ශ්‍රීයාවයි...වෙදැගිල්ලේ නිය අගගා බලනු ලෙඩ වින පිල්ලී සූනියම් යක්කූ පෙනන වෙදැගිල්ලේ බේත් අංජනමයි. ඕං විෂ්ණු මහා විෂ්ණු ජය විෂ්ණු බල විෂ්ණු අං ආං ඉං ඊං උං ඌං එං ඒං.......යැයි දිෂ්ටි කොට අස්ව කෙඳින් ඇස අදිනු පාතාල අංජනමයි....”ලෙස මේ තෙල භාවිත වන ආකාර පිළිබඳවද සඳහන් වේ. එහෙත් අංජනම් භාවිතා කිරීමේදී විශේෂයෙන් මේ තෛලය ඇස ගැල්වීමේදී ඉන්දෝරිස් මහ මුදලිතුමන් අවවාදයක් ලබා දී ඇත.

“විෂ්ණු බලා තෙල ඇශ ගල්වන්නේ නම් ගුරුදෙවුරුවන් උපදෙස් ගනූ.

නොවැල නොඅසා නොකල නොහොමන්

නොනැසි නොයනුය නැනගනු.

තෙවල තෙද බස නොමැත බොරු නැත ඇශ් ගෙඩිත් උණුවී දියවෙයි දැනගනූ.

එකල රජපත පරපුරෙන් ආ තෙදය බල ඇති මෙකී තෙල් සඳ බොරුය නැත බලනූ.....”

මේ තෙල ඇස ගල්වන්නේ නම් ගුරු දෙගුරුන්ගේ උපදෙස් නොමැති නොකරන ලෙසත්.එසේ නොඅසා නොකළහොත් ඒ බස නොනැසී යනබවත් එය අනිවාර්යයෙන් මතකයේ තබා ගන්නා ලෙසත්.මේ කියු දෙය කිසි දිනෙක බොරු නොවනා බවත් එසේ නොඅසා ඇසහි මෙය ගෑවොත් ඇස් ගිනිව දියවීයන බවත්. ඒ කාලයේ රාජකියන්ගේ පරපුරෙන් ආ මේ තෙල කිසිදිනක බොරු නොවනා බවත් සදහන් කොට දැඩි අවවාද ලබා දී ඇත.

දෙවිනුවර පෞරාණික පරම්පරාගත වෛද්‍යවරුන් හා භූත වෛද්‍යවරුනුත්, කරන්දෙණිය මහදුරගේ අප පරම්පරාවත් අතර අති රහසිගතව තබාගෙන පාවිච්චි කළ අති දුර්ලභ තෙල් වට්ටෝරුවකි මහා විෂ්ණූ බලා රාජ තෛලය. මේ තෛලයේ බල අපමණය. තුන් දොස් නැසීමට සෘශිවරුන් කී දිව්‍ය ඖෂධයකි.

මේ වන විට විවිධ පොත පතෙහි විවිධ ආකාරයෙන් ලියා සඳහන් කර ඇත. එහෙත් බොහෝ ඒවා සමාන වුවත් බොහෝ වෙනස්කම්ද ඇත. ඒලෙස සඳහන් වූ මේ තෛලය හුදෙක් තවත් එක් ඉතිහාසයක්ම වීමට නොදී එය එලෙසම පුස්කොළ පතෙහි තිබු ආකාරයටම ලීවීමට සිතා ගත් හෙයින් මෙය උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන්ට ඇති දැඩි භක්තිය නිසාවෙන් මෙලෙස සියලූ ලෝ සතුනට පූජා කරන්නෙමූ. ඒ වාගේම මෙහි එන තෛලය මිස එහි බල ගැනිවීම් පිළිබදවත් සම්පූර්ණ තෛල වට්ටෝරුවවත් එම මන්ත්‍රවත් නොලියන්නෙ මෙහි ඇති විසකාරී ඖෂධ නිසාවෙනුත් නොදැන දේශීය වෛද්‍ය විද්‍යාව විනාස කරන මිස දුටුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය.(මෙහි එන මේ තෛලයටම අදාළ යන්ත්‍ර මන්ත්‍ර ප්‍රාණ දිෂ්ටි පුට පලිප්පූ ආදී රහසිගත කාරණා මෙහි නොලියා ඇත්තෙමූ)දැන කරනූ නොදැනෙ දිවි නොතරකරගනු. මෙය හුදෙක් එක් ශාස්ත්‍රීය දැනුමක් මිස අත්හදා බැලිමක් නොවන බව තරයේ මතක තබා ගන්න.

මේ තෛලය කොළ, කහ, නිල් පැහැයන්ගෙන් යුක්ත වන අතර අඩිය යට රත්තරන් මෙන් දිලිසේ. අධික සුවඳක් ඇති අතර තෛලය ඝනකම්ය. මේ තෙල්වල ආරක්ෂාව පිණිස අතීත මුතුන් මිත්තන් මේ දෑ සොරා ගත් පමණට මේ තෛලයවත් පත පොතවත් වට්ටෝරු මන්ත්‍රවත් වැඩ නොකරන ලෙසට

“බැද යකුන් නොබැද යකුන් ලිහුයකුන් නොලිහුව යකුන්ගෙන් බැන්දෙමි...

හොරාට, වනචරයාට, අසත්පුරුෂයාට වින වී නැසියන් උන්ගේ දරු මුණුබුුරන්ද එක වළෙහි වළලාන්ට සිද්ද වෙයන්....

මෙකී තෙල ඇති අප පරපුර රැකියන් දිවිතුරා සත්තයි දෙස් බොරු නැතී.....”

යයි දෙස් දිවිරිලි කොට ලියා සෑම පොතකම ජීවම් කරන ලද කටු මන්ත්‍ර නූල් ගසා ලේවලින් ලියා අත්සන්කොට ලෙයින් කළු මැද ඇත්තේ මේවායේ මතු ආරක්ෂාව වෙනුවෙන් විය හැකිය.

මේ තෛලය අප පූජනීය ස්ථානයක තබා වත් පිළිවෙත් තබන්නේ මෙහි ගුණ සිහිපත් කිරීමටය. මෙය හුදෙක් ඖෂධ ගුණ ඇති වටිනා තෙලක් වන අතර මෙහි ශක්තීන් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය මා නොදන්නා බවත් නමුත් පෞද්ගලික වශයෙන් මෙහි සත්‍ය මා හොඳින්ම දැක ඇති බවත් මතක් කළ යුතුය. මෙය හුදෙක් පළ කරනුයේ අන්‍යමතධාරීන්ගේ මන දොළපිරවීමට නොව නැතිවී යන ශාස්ත්‍රීය සහ බුද්ධිමය ගවේශනාත්ම තොරතුරක් නොනැසී ගොස් ඉදිරියට පවත්වාගෙනයෑමේ චේතනාවෙනුත්,පරම්පරාවේ මිය ගිය ඥාති සමුහයාට පිං පිණිසත් දේශිය වෛද්‍ය චිකිත්සාවේ මතු උන්නතිය උදෙසා මෙම තෛලය ගැනීමේ අරමුණිනුත්ය. (කරන්දෙණිය මහදුරගේ ඉන්දෝරිස් මහාමුදලි නොහොත් මාතර යක්දෙස්සා ගුරුන්වහන්සේගේ වෛද්‍ය පුස්කොලපොත් ඇසුරෙන් ලියන ලදී)

 

පාරම්පරික ආයූර්වේද වෛද්‍ය (ශිෂ්‍ය)

කරන්දෙණිය මහදුරගේ පසිඳු දේශාන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.