වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අතීතයේ සිට පැවැත එන අපේ පුරුදු
ලෝකයේ විවිධ ජාතීන් අතර අපේ ශ්‍රී ලංකාවාසීන්ට ඇත්තේ අන් කිසිවකුටත් නැති බුද්ධි පරාසයක් සහ සම්පත්ය.
සිංහලයන්ට ලෝකයේ විශ්ව භාෂාවන් සහ ලලිත කලා මාධ්‍යයන්හි සුවිශේෂි දක්ෂතා ඇත්තේ ය. ලොව ඕනෑම භාෂාවක් කතා කළ හැකි, ඕනෑම නර්තනයක් නැටිය හැකි, ඕනෑම ගායනක්, වාදනයක්, කළ හැකි ඕනෑම චිත්‍ර ශෛලියක් ඇඳිය හැකි ජන්ම පුරුද්දක් හිමි වී ඇති බැව් පරම සත්‍යයකි.
හෙළයින් (සිංහලයන්) මහා රාවණ යුගයටත් පෙරාතුව සිට දේශීය සම්ප්‍රදායට එකඟව සොබා දහම අනුව ජීවත් වූ ශ්‍රේෂ්ඨ ජාතියකි. කෘෂිකාර්මික ජීවිතයකට හුරු පුරුදු වූ සිංහලයින් කිසිවකුට අත නොපා ජීවත්වීමට අතිශයින්ම දක්ෂයින් ය. වෙළට බැස සීසානවිට ඔවුන්ගේ කටින් පිටවන ගායන තාල රටා හරි අපූරුය. ගොයම් කැපීම හා මැඩීමටද ගායනා ශෛලිය උපයෝගි කරගනියි. ඡ්‍යොතිෂය නැකත් යන්ත්‍ර මන්ත්‍ර කෙම් ක්‍රම හා ශාන්තිකර්මවල උපත කෘෂිකර්මයයි. සී සෑමේ සිට අලුත් සහල් මංගල්‍යය දක්වාම සියලු කාර්යයන් කරනුයේ නැකත් අනුවය. කෙත ආරක්ෂා කිරීමට යන්ත්‍ර මන්ත්‍ර හා කෙම්ක්‍රම මෙන්ම පූජා විධි ඇතුළත් ශාන්තිකර්ම වේදයන්ද කරනු ලැබේ. හේන් ගොවිතැන ඇතුළුව ගොඩ මඩ දෙකම ඉතාම සරුසාර අන්දමට අපේ ගොවියන් විසින් කරනු ලබන්නේ තෙරුවන් නැමැද දේව ආශීර්වාදය ලබා ගෙනය.
ඡ්‍යොතිෂ විද්‍යාවත් ආයුර්වේදයත් හෙළයා සතු මහඟු මහා සම්පත් ය. දරුවකු ජන්ම ලාභය ලැබූ මොහොතේ දී කෙසෙල් පැළයකට එක් පිහි හෝ කැති පහරකින් කපා පසුව ජන්ම පත්‍රය හෙවත් වේලාපත්කඩය සාදා ගන්නේ උඩට ඇදුණ ගොබයේ දිග ප්‍රමාණය මැන ගැනීමෙනි.
දරුවා බිහි වීමට අපහසු නම් බිම බස්නාහිර දිශාවට ඇදී ගිය පෝට වැලක් කතා නොකර ගලවා ගෙන වංගෙඩියට දමා කොටන විට ශබ්ද තරංග උද්දීපනීය කම්පන වේගය හරහා දරුවා පහසුවෙන් බිහිවේ. එදා ගැබිනි මවක් මාස 7 දින 22 ලැබූ විට වතුර බෝතල් 2ක් පමණ පානය කරන්නේ ගර්භාෂය තුළ සිටින දරුවාට පිහිනීමට අවශ්‍ය වන ජලය රැක ගැනීම සඳහා ය. අද මව වතුර නොබොන නිසා කෘත්‍රීම සැත්කම්වලට නැඹුරු වී සිටින්නී ය. විවාහයත් දාරක සම්පතත්, සොබාදහමට එකඟව කළ යුතු ක්‍රියාවන් ය. එදා විවාහ වී පළමු වසර තුළ දරුවකු හිමිකර ගනී. අද සිදුවී ඇත්තේ සිරුර වැහැරී රූපලාවණ්‍යය නිසරු වන නිසා දරුවන් බිහිකිරීම ප්‍රමාද කිරීමේ කලාවක් නිර්මාණය කිරීමයි. සිය දියණියගේ වයස 30ට පෙර දරුවකු බිහිකිරීම ඉතාම සුබදායක වන බැව් පැරැණි දෙමාපියන් දැන සිටියේ පළපුරුද්ද අනුවය. දාරක සරුබීජ ඇත්තේ සැමියාටය. බිරිඳට ඇත්තේ දාරක සම්පත රඳවා ගැනීමේ ශක්තිය රෝපණය කර ගැනීමයි. මෙය ශාරීරික විද්‍යාව අනුව ස්වභාවයෙන්ම සිදුවේ. ගබ්සාවීම හෝ ගබ්සා කිරීම එතරම් සුදුසු නැති ක්‍රමයකි. අපේ පැරැණි අය ගැබ් දැරීමේ ශාන්තිකර්ම කරන ලදී. ගොක් කොළය කෙසෙල් පතුරු නවකොළ අත්ත, කහදියර, හීරැස්ස පළු, දුම්මල හා බෙරහඬින් සියලුම විෂබීජ විනාශ වේ. පැරැණි අපේ දේශීය ශාන්තිකර්මවල විද්‍යාත්මක ක්‍රමවේද රැසක්ම ගැබ්වී තිබේ. ලොව කිසිම විද්‍යාඥයකුට නිපදවිය නොහැකි ලේ (රුධිරය) හා එයින් උපදින ශ්වේත සුදු වර්ණ මවුකිරි තරම් මෙලොව තිබෙන එකම ප්‍රතිශක්තිකරණ දියරයයි. එළවළු, පලතුරු හා දේශීය සහල් පාරිභෝජනයට ගත් අතර පැරැන්මෝ සිය උදරය මිනී පිට්ටනියක් කර නොගත්හ. සිංහ ධේනුව, සහ කොටියා සතකු දඩයම් කරන්නේ උන්ගේ ගොදුරු ආහාරම පමණි. ආදි වාසී වැදි ජනයා ද දඩයම් කරන්නේ ඔවුන්ගේ කෑමට පමණි. නමුත් සත්ව දඩයම් කරන මිනිසුන්ගේ එකම අභිලාෂය වෙළෙඳාම් කර මුදල් හම්බකර ගැනීමයි.
දිනකට ලක්ෂ ගණන් සතුන් මරති. මහා පාප කර්මයකට මිනිසා අත ගසා තිබේ. ගොඩදිය සතුන් මැරීම, ගස්වැල් කැපීම වැනි සොබාදහම විනාශයන් කිරීමේ පාප කර්මය දැන් මිනිසාට පටිසන්දී තිබේ. සතුන්ට මෙන්ම ගසට ද ජීවයක් තිබේ. ගස ඉව හොඳින්ම කල්තබා හඳුනා ගනී. කිව්‍යු උද්‍යානයේ එක්තරා මල් ගස් වර්ග කීපයක්ම උදේ කාලයේ උද්‍යාන පාලකයා ගස සමීපයට එන විට එකී ගස්වල අතු ඔහු වෙත නැමෙන බැව් දැනගෙන තිබේ. ගසකට අපි ආදරය, සෙනෙහස කරන්නේ නම් ගසද පෙරළා අපට ආදර සෙනෙහස දක්වන්නේ ය. එය ඇත්තකි.
කොරෝනා වැනි මහා වසංගතයක් ලොව පුරා මහා ගින්නක් සේ පැතිර යද්දී අපේ මේ කුඩා දිවයිනේ සිටින ජනතාව එක් පැත්තකින් මහා වාසනාවන්තයින් ය. අඩු මරණ සංඛ්‍යාවක් ඇත්තේ ය. සොබාදහම විනාශ නොකර අපේ දේශීය සහල්, ආහාර පාන, එළවලු, පලතුරු, පළා වර්ග පාරිභෝජනයට ගෙන පවිත්‍රකාරකීය වායුව ආශ්වාස ප්‍රශ්වාස කර ජීවත් වීමට සැදී පැහැදී සිටින අපි වාසනාවන්තයෝ වෙමු.
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේ දී
දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල