ජූලි මාසයේ උපන් ඔබ ගැනයි...

සැප්තැම්බර් 1, 2023

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. ජුනි මාසයේ 21 න් පසු 26 දක්වා මිථුන රාශියේ බලය කෙමෙන් අඩුවන අතර කටක රාශියේ බලය කෙමෙන් වැඩිවේ.

ජුනි මාසයේ 26 සිට සඳුගේ බලය ජුලි 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර ජුලි 21 න් පසු කටකයේ බලය අඩුවෙමින් සිංහයේ බලය වැඩි වෙමින් ගමන් කරයි. ජුලි මාසය ජල තිවංකයට අයිති වන අතර සඳුගේ බලය ක්‍රියාත්මක වේ.

අන් අයගේ සුබ සිද්ධිය බලාපොරොත්තු වන හෘද්‍යාංගම භාවයෙන් පිරුණු හදවතක් ඇති ආකර්ෂණීය පුද්ගලයන් ජුලි මාසයේ උත්පත්තිය ලබයි. මොවුන් ඉතා උසස් ඉහළ තනතුරුවලට හිමිකම් සහිත පුද්ගලයන් වන අතර ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වන පුද්ගලයන් වේ. හෘද්‍යාංගම තත්ත්වයක් පැවතුණද ඔවුන් ආදරය ප්‍රකාශ කරන්නේ කලාතුරකිනි. එම නිසා සමාජය හැඟීම් නොමැති අයෙකු ලෙස හෝ උපේක්ෂාවෙන් හැඟීම් සමඟ ක්‍රියාකරන අයෙකු ලෙස වරදවා වටහා ගැනිමට ඉඩ ඇත. මේ තත්ත්වය නිසා විවාහ ජීවිතය සඳහාත් යම් බලපෑමක් ද ඇතිවේ.නිර්මාණ කුසලතාවය ඉතා ඉහළය. අති දක්ෂ චිත්‍ර ශිල්පීහු ලේඛකයෝ සංගීතඥායෝ රංග ශිල්පියෝ සහ නාට්‍යකරුවෝ ජුලි මාසයට හිමිකම් කියති. මොවුන්ට විශාල දැනුම් සම්භාරයක් මනසේ රඳා පවත්වා ගැනීමට හැකියාව ඇත. එසේම විශාල ව්‍යාපෘති හා ව්‍යාපාර සංවිධානය කිරීමේ හැකියාව ඇත. එසේම ජුලි මස උත්පත්තීන් සඳහා මානසික ශක්තීන් සහ ගුප්ත විද්‍යාව ආගම පිළිබඳව හැදැරීම දර්ශනවාදය ද උරුම වේ. මොවුන් තමන්ගේම මින්සුන්ට ඉතා බෙහෙවින් ඇලුම් කරන අතර එසේම පවුලේ චාරිත්‍රවලට සහ සම්ප්‍රදායන්ට ගරු කරයි.

ජුලි මාසයේ උපන් පුද්ගලයන් අවදානම් ගැනීමට පසුබට වන්නේ නැත. සමහර අවස්ථාවලදි තමා විසින් කාලයක් තිස්සේ ගොඩනඟාගත් තත්ත්වයන් එම අවදානම් ගැනීමේ ස්වභාවය නිසාම සහමුලින්ම කඩා වැටෙන තත්ත්වයටද පත්වන අවස්ථා නැතුවාම නොචේ. එසේම ජයග්‍රහණය පෙනි පෙනී ආපසු හැරෙන අවස්ථාද නැතිවාම නොවේ. තමාගේ සාර්ථකත්වය පිළිබඳ සතුටද පත් නොවීමද ජුලි මාසයේ උපන් අයගේ දුර්වලකමකි. විරෝධතා හා විවේචන සමාජයෙන් එල්ල වේ. එම තත්ත්වයන් නිසා නිශ්ශබ්දව අභ්‍යන්තරව මනසින් පීඩාවට පත්වීම්වලටද මුහුණදීමට සිදුවේ.

මේ මාසයේ උපන් පුද්ගලයින් සඳහා අහාර ජීර්ණ පද්ධතියේ ආබාධ ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ආහාර මාර්ගයේ ගෙඩි පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී. හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගැනීමෙන් මෙවැනි අවදානම්වලින් ගැළවීමේ හැකියාව ඇත. අනාගතය පිළිබඳ බියවීම කරදර වීම සහ මානසික ආතතිය වළක්වා ගත යුතුය. තවද ආත්‍රයිටිස් රුධිර ධාවන පද්ධතියේ දුර්වලතා මෙන්ම පෙනහලුවල දුර්වලතා ඇතිවිය හැකිය. සඳුගේ කාල පරිච්ඡේද මේ සඳහා වැඩි බලපෑමක් ඇති කරයි. හොඳ මානසිකත්වයක් පවත්වා ගැනීම මේ බලපෑම් අවම කර ගැනීමට පාදක වේ. මොවුන්ගේ විශේෂයෙන්ම ශාරිරික ශක්තිමත් බව සෑම විටම මානසික තත්වය මත රඳා පවතී. හැඟීම් දුක්ඛිත වන්නේ නම් නැතහොත් නිරා්ගි නොවන හැඟීම් ඇතිවන්නේ නම් එය සෘජුවම ශාරිරික නිරෝගිතාවයට බලපායි.

ජුලි මාසයේ උපන් පුද්ගලයන්ට නිත්‍යානුකූල ව්‍යාපාර සාර්ථක වන අතර කොටස් වෙළෙඳපොළ සහ සූදුව ඔවුන්ට සාර්ථක වන්නේ නැත. තෙල් සම්බන්ධ කටයුතු හෝ ගල් අගුරු,නාවික, විදුලි පැරණි ,භාණ්ඩ ඖෂධ මෙරටට ගෙන්වීම වැනි අංශයන් සාර්ථකත්වය සඳහා සුදුසු වේ. කලාකරුවෙකු ලෙසින් ජනතා ප්‍රසාදය හිමිකර ගත හැකිය. තවද ඉඩම් සංවර්ධනය හා පතල් කටයුතු ආර්ථික දියුණුව සඳහා ජුලි මාසයේ පුද්ගලයන්ට සුදුසු වේ. කරුණු එසේ වුවත් අනිත් අයගේ වංචා සහගත ක්‍රියා නිසා තමාගේ ආර්ථිකය බිඳ වැටීම් සිදුවිය හැකිය. මුදල් සම්බන්ධ කටයුතුවලදි ඉතාම ප්‍රවේශම් විය යුතු අතර විවිධ කාලවකවානුවලට අත්සන් කිරීමේදි කොන්ත්‍රාත්තු හා ගිවිසුම් අත්සන් කිරිමේදී ද හොඳින් සොයා බලා කටයුතු කළ යුතුය.නීතියක් වශයෙන්ම මුදල් තත්ත්වයන් ඉහළ පහළ යන බැවින් අවදානම් අඩුකර ගනිමින් හදිසි අවස්ථාවකටද වෙන්කර ගනිමින් කටයුතු කිරීමෙන් ඔහුන්ගේ මුදල් අස්ථිරතාවය නැතිකර ගත හැකිය. නමුත් කිසිම බලාපොරොත්තුවක් නොමැති අසාමාන්‍ය මුදල් ප්‍රමාණ ලැබීමටද ජුලි මාසයේ උපන් පුද්ගලයන්ට හිමිකම ඇත.

ජුලි මාසයේ උපන් පුද්ගලයන්ට විවාහයට සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ජල තිවංකයට අයත් ජුනි 21 සිට ජුලි 21 දක්වා අයවලුන් සහ ඔක්තෝබර් 21 සිට නොවැම්බර් 21 දක්වාද පෙබරවාරි 19 සිට මාර්තු 21 දක්වා උපන් අයද වේ.

රෝහණ විජේවීර, අනුරුද්ධ රත්වත්ත, සරත් අමුණුගම, අර්ල් ගුණසේකර, බර්ටි ප්‍රේමලාල් දිසානායක, සිරිසේන ගම්ලත්, යන දේශපාලනඥායන් ද ගීතා කුමරසිංහ, සුමින්ද සිරිසේන, හෙන්රි ජයසේන, විමල් කුමාරද කොස්තා, ක්ලිටස් මෙන්ඩිස්, කින්ස්ලි ජයසේකර වැනි කලාකරුවන්ද හෂාන් තිලකරත්න, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රිකට් තරු ද ජුලි මාසයේ උපන් අය වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.