නිවැරැදිව ලක්ෂ්මි පූජාවක් තබමු

සැප්තැම්බර් 1, 2023

 

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් සේවය කළ කාලයේ කතරගම අවසාන රන්දෝලි ඇසළ මහ පෙරහර නැරැඹීමට සහ මාතර – කතරගම දුම්රිය සහ ලංගම බස් රථ ඒකාබද්ධ සේවාව අධීක්ෂණය කිරීමට සුවිශේෂ (ඍධ්ර්‍ථ) ආරාධනා පත්‍රයක් සහ වාහන අවසර පත්‍රයක් මොනරාගල දිස්ත්‍රික් ලේකම්තුමා ගෙන් ශීඝ්‍රගාමී එක් දින තැපැල් සේවාව මඟින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ලැබී තිබුණි. එහෙත් එතුමා වෙනත් රාජකාරි කටයුතු රැසක් එදිනට කලින්ම යොදාගෙන තිබූ බැවින් එකල වාණිජ අධිකාරිවරයා වශයෙන් සේවයේ නියුතු මා හට ඊට සහභාගි වන ලෙසට නියෝග කළ අතර ලැබී තිබුණු එම අවසර බලපත්‍ර සහ ආරාධනා පත්‍ර මා වෙත ප්‍රදානය කිරීමට එතුමා වග බලා ගන්නා ලදී.

හදිසියේ නමුදු ලැබුණු ආරාධනාව සහ නියෝගය පිළිගෙන කොළඹ සිට කතරගම යාමට ලහි ලහියේ සූදානම්ව කතරගම ගමනට අවශ්‍ය පූජාභාණ්ඩ ද කඩිනමින් රැස්කොට මාගේ පාසල් වියේ පටන් කලණ මිතුරකු වූ එවකට ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ කේ.ඒ. සෝමරත්න මහතා ද සමඟ අපි පසු දින කතරගම බලා පිටත්වීමු. මුලින් මාතර දුම්රිය ස්ථානයේ බස් රථ සහ දුම්රිය ඒකාබද්ධ සේවාව සිදු කරන ආකාරය අධීක්ෂණ රාජකාරි අවසන් කොට අපි එදින සවස් භාගයේ අපගේ කතරගම සුඛෝපභෝගි නවාතැන් බංගලාවට ගොස් විවේක පහසුව සිට කතරගම අවසන් රන්දෝලි ඇසළ පෙරහර සිත් සේ නැරඹීමු. ඉන් අනතුරුව අපි දෙදෙනා ඉතා පහසුවෙන් රාත්‍රී 11.00 පමණ කතරගම මහ දේවාලයට ගොස් අප විසින් “මනාව සකස් කර සූදානම් කර තිබූ පූජාවට්ටි අප රියැදුරු මඟින් ගෙන්වාගෙන එම පූජාව ද ඉතා බැතියෙන් සහ සැහැල්ලුවෙන් සිදු කර කදිර දෙවිඳුන්ට පින් පෙත් දී නැවත නවාතැන් බංගලාවට පැමිණියෙමු.

පසුදින හිමිදිරියේම අවදිව කිරිවෙහෙරට ගොස් කිරිපිඬු සහිත දානය පූජාකොට මහසෙන් දෙවිඳුගේ පිළිරුවට දිගු නෙළුම් මල්වලින් නිර්මිත අලංකාර මල්මාලයක් ද පූජාකොට ඉන්පසු දැඩිමුණ්ඩ දේවාලයට ගොස් ආශිර්වාද යාතිකාවක් ද කරගෙන කතරගම දේවාලය අසල අෂ්ටඵල බෝධියට සිවුරක් ද පූජාකොට එම බෝධිය ද නහවා බෝධි පූජාවක්ද සිදු කොට නැවත නවාතැන් බංගලාවට පැමිණීමු.

ඉන්පසු සෙල්ලකතරගම ගොස් ගඟේ දේවාලයේ ගණ දෙවිඳුන්ට පුද පූජා සිදු කර පූජා වට්ටියක්ද තබා ඉන් අනතුරුව ලක්ෂ්මී තිරුපති දේවාලයට ද ගොස් අපි රැගෙන ආ පූජාවට්ටි දහවල් මුළුතැන්ගේ මහ පූජාවට තබා ලක්ෂ්මී සහ විෂ්ණු දෙවිදුන්ට පින් පෙත්දී නැවත කතරගම අපගේ නවැතැන් බංගලාවට පැමිණ දිවා ආහාරයද ගෙන විවේක සුවයෙන් ගත කළෙමු.

එහිදී මා මිතුරු සෝමරත්න කීවේ තවත් පූජා වට්ටියකටත් වඩා පලතුරු පූජා භාණ්ඩ කළමනා ඉතිරිවී ඇති බැවින් ඒවා සියල්ල උපයෝගීකොට ගෙන වැඩසිටිකන්ද දේවාලයට කතරගම සිට පා ගමනින්ම ගොස් පූජාවක් සිදුකොට දෙවියන්ට පිංපෙත් පැමිණවීමට යමු යැයි යෝජනා කළෙන් මම ද ඊට එකඟවීමි. එදින සවස් භාගයේදී අපි කුඩා අතුරු වැලිපාරවල් ඔස්සේ වැඩිහිටි කන්ද දක්වා පූජා භාණ්ඩද කරපින්නාගෙන පා ගමනින්ම ගමන් කළෙමු. වැඩසිටිකන්ද මුදුනේ පිහිටි දේවාලය දක්වා අපි පියගැට පෙළවල් නඟිමින් තැනින් තතැන සුළු මොහොතක් ගිමන් හරිමින් කන්ද තරණය කළෙමු. කඳු මුදුනට ළඟාවත්ම අපි දෙදෙනාට දැඩි වෙහෙසක් දැනුණ බැවින් පියගැට පෙළට නුදුරින් තිබුණූ බෙලිමල් විකුණන කුඩා කඩයකින් බෙලිමල් වීදුරු දෙකක් මිලදී ගෙන එය පානය කළෙමු. එම කඩය පවත්වාගෙන යන්නේ තරුණ අක්කා කෙනකු සහ ඒ අයගේම බාල මලනුවන් සමඟිනි. මඳ වේලාවක් එහි නතරව නැවත කඳු මුදුනට ගමන් ඇරඹීමට අපි දෙදෙනා සූදානම් වීමු. එහිදී ඒ අසලම තිබූ විශාල ගසක් යට ඉතා ශාන්ත පෙනුමැති තාපසයකු බඳු අයකු භාවනා ඉරියව්වෙන් සිටිනු දැක අප දෙදෙනා එතනට ගොස් එතුමාට වැද නමස්කාර කොට අපි රැගෙන ආ පලතුරු සහ පූජා කළමනා බෑගයෙන් වැඩිපුර තිබූ එක වල්ලේ රැදුණු තැඹිලි ගෙඩි දෙකක් ගෙන එතුමාට මහත් බැතිබරව එය පූජා කළෙමු. එතුමා එම පූජා කළ තැඹිලි ගෙඩි දෙක තම අත්ලෙහි රඳවා ගෙන මොනවාදෝ මන්ත්‍රයක් මඟින් මොහොතක් ජපකොට එය පසෙකින් තබා අප දෙදෙනාගේම හිස පිරිමැද ආශිර්වාද කළේය.

ඉන් පසු එතුමාද අපේ ආගිය තොරතුරු විමසා ඉතා සුළු මොහොතකින් අප හා සමඟ ඉතා ප්‍රසන්නව කුලුපග විය. එතුමාගේ දේහධාරි, ප්‍රතාපවත් පෙනුම සහ නෙත් සඟලේ තිබූ කරුණාභරිත ස්වරූපය මොහොතකට අප වශීකෘත වූවෙමු. එම දිදුළන දෙනෙත් හා පැවසූ වදන්වල මිහිරියාව අප දෙදෙනා මහත්සේ අමන්දානන්දයට පත්වීමු.

එම ඍජු කායකින් ශෝභමාන වූ දිගු රැවුලකින් යුතු මනා පෞරුෂත්වයෙන් හෙබි එතුමා අප දෙදෙනා වෙත එන විට තම දීප්තිමත් නෙත් සඟල යොමුකර ඔබලාට දැන ගත යුතු යම් ගැටලුවක් වෙත්දැයි විමසීය. ඉන් වහා ප්‍රයෝජනය ගත් මා මිතුරු සෝමරත්න කීවේ තම වැඩිමහල් පුතු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට අපේක්ෂා කළ බවත්, හදිසියේ එම පුතා දියේ ගිලී අවාසනාවන්ත ලෙස මිය ගිය බවත්, දෙවැනි පුතා සංඛ දැනට නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයේ උසස් පෙළ හදාරන බවත් තම පුතණුවන් කොළඹ ආනන්ද විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හැදෑරීමට අවකාශයක් ඇති දැයි විමසමින් එම කටයුත්ත ඉටු කර ගැනීමට එතුමාගේ ආශිර්වාදය අපේක්ෂා කරන බවත්ය. එකෙනෙහිම එතුමා මොනර පිහාටු මිටියක් වැනි දෙයකින් මා මිතුරාගේ හිස ස්පර්ශ කිරීමට සලස්වා ආශිර්වාදකොට ඔබගේ අපේක්ෂාව ලබන සතිය වන විට ඉටුවීමට කටයුතු සැලැස්වීමට ආශිර්වාද කරන බව පැවසීය. එවිට මා මහත්සේ විස්මිත වූයේ එම දරුවා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තරම් ප්‍රසන්න ප්‍රතිඵල අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිදු නොවී තිබුණු බැවිනි. එමෙන්ම මා මිතුරා තම දරුවා වෙනුවෙන් සකස් කොට පාසලට ඉදිරිපත් කර තිබු අයදුම්පත්‍රය ද සම්මුඛ පරීක්ෂණයකට හෝ නොකැඳවා ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඒ වන විට කොළඹ ආනන්ද විද්‍යාලයේ වාණිජ අංශයේ උසස් පෙළ පන්ති අරඹා මාස කිහිපයක්ම ගෙවී ගොස් තිබීමද විශේෂ කරුණකි.

කෙසේ වෙතත් ඒ ප්‍රතාපවත් පුද්ගලයාගේ ආශිර්වාදයත් සමඟ මා මිතුරාගේ දිදුළන අපේක්ෂා සහගත නෙත් යුගල මම සැබවින්ම දුටිමි. එහි අපේක්ෂාවේ සතුට දෝර ගලා නිම්හිම් නැතිව තිබිණි. එහි දාරක පේ‍්‍රමය අපූරුවට සිත්කම් වී තිබිණි.

ඒ සමඟම ඒ මහා බ්‍රාහ්මණයකු බඳු තේජාන්විත පුද්ගලයා මා දෙසට හැරී ඔබටත් යමක් දැනගන්නට අවශ්‍ය දැයි විමසීය. එම අවකාශයෙන් උපරිම ඵල නෙලා ගනු වස් ලක්ෂ්මී දෙවඟනට පුද පූජා පැවැත්විය යුතු නිවැරැදි කාලවේලාවක්, නිවැරැදිව පූජා වට්ටියක් සකසා ගන්නා ආකාරයත් විමසීය.

ඉතා ශාන්ත ගති පැවතුම් ඇති ඒ මහා පුරුෂයා ඊට නොවලහා පිළිතුරු දුනි. ඉදින් අපි කතරගම වැඩසිටි කන්දේදී අසා දැනගත් කරුණු පහකින් ඔබට දායාද කරන්නෙමු. එහෙත් එය පිළිපැදීම හෝ නොපිළිපැදීම ඔබ සතුය.

අප දැනගත් එම කරුණු මොනවාදැයි පසුවට විස්තර කරමි. ඉන් අනතුරුව අප දෙදෙනාම තාපසතුමාට වැඳ නමස්කාර කොට, කෘතඥතාවයද පළකර ඒ වන විට සන්ධ්‍යාභාගය එළඹ සිටි බැවින් එතුමා ගෙන් සමුගෙන නැවත පියගැටපෙළ කඩිනමින් තරණය කොට වැඩසිටි කඳු මුදුනේ පිටි දේවාලය අසලදී අප රැගෙන ආ පූජා භාණ්ඩ, පලතුරු ආදිය ඉතා ඉක්මනින් සකසා පූජා වට්ටියද රැගෙන අපි එම දේවාලයට මහත් බැතියෙන් යුතුව පිවිසීමු.

පුදුමයක මහත.......අපි ඒ බ්‍රාහ්මණයකු බදු ප්‍රතාපවත් පුද්ගලයාට පූජා කළ එකවල්ලේ තැඹිලි ගෙඩි දෙකම එම මහාදේව පිළිමයේ පා මුල රැඳී තිබෙනු අපි දුටුවෙමු. අපි දෙදෙනාම මොහොතකට විස්මයට පත්වීමු. පූජාව කඩිනමින් නිමකොට ආපසු එනවිට තාපසතුමා රැඳී සිටි ස්ථානයේ එතුමා අතුරු දහන්වී තිබිණි. මම විශාල ගස අසලම බෙලිමල් විකුණමින් සිටි අක්කා සහ බාල මලණුවන්ගෙන් තාපසතුමා ගැන විමසීමි. එවිට ඔවුන් කීවේ එවැන්නකු කවරදාකවත් ඔවුන් නොදැක්ක බවත්ය. “ඔය මහත්වරු දෙදෙනා නම් එම ගහයට රැඳී සිටිනු දුටුවාය” යැයි ද පැවසීය.

රෑ බෝවී එන නිසා කඩිනමින් වැඩසිටිකන්දේ කඳු පාමුල වෙතට අපි පැමිණි විට එහි වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක්ද අපට මුණ ගැසුනෙමු. අපි දුටු තව්සා පිළිබඳ විමසා සිටි විට එම ස්වාමීන් වහන්සේ මේ වැඩසිටිකන්දේ ඇසළ පෙරහර සමයේ මෙවැනි අද්භූත සිදුවීම් රැසක් සිදුවන බවත් තම කරුණ ඉටුවනතුරු සහ දින 100ක් නිවැරැදිව පුද පූජා පහන් දල්වා අවසන් වන තුරු මෙම පුවත කිසිවකුට නොකිවයුතු බවට එම හාමුදුරුවන්ගෙන් අපට උපදෙස් දුන්හ. අපි දෙදෙනාම එය එලෙසම ඉටුකරලීමට වග බලා ගතිමු. අඩුතරමින් අප ගමන් කළ වාහනයේ රියදුරුටවත් මෙපුවත් නොපැවසූවෙමු. එදින රාත්‍රියේම කතරගම සිට කොළඹ බලා පිටත්වීමු.

මා මිතුරා කතරගම සිට කොළඹ යන තෙක්ම කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිතුමා සහ වාණිජ අංශ ප්‍රධානාචාර්යවරයා මුණගැසීමට යාමට නිතර ඇවටිලි කරන ලදී.

අපි ඊට පසු දිනම අපගේ සියලුම වැඩ පසෙකලා පෙරවරු 7.30ට පමණ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා මුණ ගැසුනෙමු. මේ වන විට වාණිජ අංශයේ උසස් පෙළ පටන් ගෙන මාස 3කට වඩා කාලයක් ගත වී තිබුණි. මා මිතුරාගේ දරුවා අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයෙන් ප්‍රශස්ත ප්‍රතිඵල ලබා නොතිබුණත් වාණිජ අංශයේ අලුතින් ඇතුළත් වූ සිසුවකු තම මවුපියන් සමඟ විදේශ ගතවී ඒ වන විට එක් පුරප්පාඩුවක් තිබිණි. ඉන්පසු අප දෙදෙනා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් ජාතික පාසල් අධ්‍යක්ෂතුමා මුණගැසුනෙමු. පුදුමයක මහත, එතුමා මා කොළඹ විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන කාලයේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගවලට සූදානම් වන කාලයේ එකට පාඩම් කළ මා මිත්‍රයකු වීම නිසා එදිනම පුරප්පාඩු ඇතිනම් උසස් පෙළ පන්තියට ඇතුළත්කර ගැනීමට විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක් එතුමාගෙන් ලබා ගතිමු. ඉන් නික්ම නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් දරුවා පාසලෙන් ඉවත් කරගත් සහතික ද ගෙන කොළඹ ආනන්ද විදුහලේ වාණිජ අංශයේ ප්‍රධානාචාර්යතුමාගේ නිර්දේශයද ගෙන ඊට විදුහල්පතිතුමාගේ අනුමැතියද ගෙන පසුදිනම පාසල් සංවර්ධන සමිතියට රජයේ නියමිත පහසුකම් ගාස්තු ගෙවා මා මිතුරා පුතණුවන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කෙරුණි. කතරගම වැඩසිටිකන්දේ වැඩ විසූ එම තව්සාගේ අනාවැකිය සඵල විය.

 

ඉදින් අපි ලක්ෂ්මී දෙවඟන උදෙසා නිවැරැදිව පුද පූජා පූජා වට්ටි සැකසිය යුතු ආකාරය ද සොයා බලමු. එයට පෙරාතුව පහන් දැල්වීමේ උචිත හෝරා කාලයන් සහ පහන් දැල්වීම නොකළ යුතු වේලාවන් මොනවාදැයි හඳුනා ගනිමු.

පහන දැල්වීමේ උචිත හෝරා කාලයන් මෙලෙස දැක්විය හැකිය.

රාත්‍රී 10.01 සිට 10.23 දක්වා ගම්භාර සූනියම් දේව දිෂ්ටිය

රාත්‍රී 10.23 සිට 10.47 දක්වා දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය

රාත්‍රී 10.47 සිට 11.11 දක්වා කතරගම දේව දිෂ්ටිය

රාත්‍රී 10.36 සිට 12.00 දක්වා සත්පත්තිනි දේව දිෂ්ටිය

රාත්‍රී 12.00 සිට 12.12 දක්වා සරස්වතී දේව දිෂ්ටිය

රාත්‍රී 12.12 සිට 12.24 දක්වා විෂ්ණු දේව දිෂ්ටිය

රාත්‍රී 12.24 සිට 12.36 දක්වා ඊශ්වර දේව දිෂ්ටිය

රාත්‍රී 12.36 සිට 01.00 දක්වා හතරවරම් දේව දිෂ්ටිය

රාත්‍රී 01.00 සිට 01.24 දක්වා සුමනසමන් දේව දිෂ්ටිය

රාත්‍රී 01.24 සිට 01.48 දක්වා විභීෂණ දේව දිෂ්ටිය

රාත්‍රී 01.48 සිට 02.00 දක්වා ශක්‍ර දේව දිෂ්ටිය

සවස 05.00 සිට 05.24 දක්වා ධර්මදේවතා දිෂ්ටිය

සවස 05.24 සිට 05.48 දක්වා මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය

රාත්‍රී 08.07 සිට 08.24 දක්වා භද්‍රකාලි දේව දිෂ්ටිය

පහන් දැල්වීම නොකළ යුතු වේලාවන්

රාත්‍රී 06.00 සිට 06.24 දක්වා මහසොහොන් දිෂ්ටිය

රාත්‍රී 06.24 සිට 06.48 දක්වා ඊරියක්ෂ දිෂ්ටිය

රාත්‍රී 06.48 සිට 07.12 දක්වා සූනියන් ඔඩ්ඩිස යක්ෂ දිෂ්ටිය

රාත්‍රී 07.12 සිට 07.36 දක්වා කඩවර දිෂ්ටිය

රාත්‍රී 07.36 සිට 08.07 දක්වා කළුකුමාර දිෂ්ටිය

රාත්‍රී 08.07 සිට 08.24 දක්වා භද්‍රකාලි දිෂ්ටිය

රාත්‍රී 08.24 සිට 08.48 දක්වා මදන යක්ෂ දිෂ්ටිය

රාත්‍රී 08.48 සිට 09.12 දක්වා ගොපලු යක්ෂ දිෂ්ටිය

රාත්‍රී 09.12 සිට 09.36 දක්වා බහිරව දිෂ්ටිය

රාත්‍රී 09.36 සිට 10.01 දක්වා කොහොඹ යක්ෂ දිෂ්ටිය

 

පස්වරු 6.00 සිට රාත්‍රී 10.01 දක්වාවූ කාලය යක්ෂ දිෂ්ටි හෙළන වේලාව බැවින් එම කාලය තුළ පහන් දැල්වීම නොකරන්නේ නම් වඩාත් මැනවි. මෙහිදී පිළිමය උතුරු දිසාවට හිදුවා තැබීම ද නැඟෙනහිර පහන දැල්වීම සුදුසුය.

මේ පහන් දැල්වීමේදී ලක්ෂ්මී දෙවිදුන් අරඹයා රාත්‍රී 12.12 සිට රාත්‍රී 12.24 දක්වා පහන් දැල්විය හැකිය. එනම් විෂ්ණු දෙවියන් හා දෙවියන්ගේ පි‍්‍රයම්භිකාව ලක්ෂ්මී දෙවිඳුන් වන බැවිනි. එම වේලාව දෙවිඳුන් දෙදෙනකුගේ එකවර බැල්ම යෙදෙන වේලාවන් බැවිනි.

කිසියම් ලෙසකින් රාත්‍රී කාලයේ ලක්ෂ්මී දෙවිඳුන් වෙනුවෙන් පහන් දල්වා පුද පූජා පැවැත්වීමට නොහැකිනම් අඩුතරමින් සන්ධ්‍යා භාගයේ සවස 4.00ට ලක්ෂ්මී දෙවිඳුන් වෙනුවෙන් පහන් දල්වා පුද පූජා පැවැත්විය හැකියි. එසේ වුව ද එය ප්‍රශස්ත වේලාව නොවන බව මතක තබා ගන්න. ඉන් ප්‍රතිඵල නිසි ලෙස ලැබීමට වසරක් පුරා අපේක්ෂා සහිතව නෙත් දල්වා බලා සිටීමට සිදුවනු ඇත.

රාත්‍රී 12.12 සිට රාත්‍රී 12.24 දක්වා විෂ්ණු ලක්ෂ්මී දේව දුෂ්ටි සංක්‍රාන්ති වේලාව වඩා වැදගත් වනු ඇත. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුකූලව බලන කල

පොල්තෙල් පහන් 1000 = තලතෙල් පහන් 01

තලතෙල් පහන් 100 = එලඟිතෙල් පහන් 01

එමෙන්ම

පහන්තිර 1ක් පමණක් දැල්වීමෙන් = සතුට ලැබේ

පහන් තිර 2ක් එකට අඹරා දැල්වීමෙන් = පවුල් ජීවිතය සාර්ථක වේ

පහන් තිර 3ක් එකට අඹරා දැල්වීමෙන් – දරු සම්පත් ලැබේ

සියුම් පහන් තිර 5ක් එකට අඹරා දැල්වීමෙන් = පංචභූත ශක්තිය ලැබෙයි

සියුම් පහන් තිර 9ක් එකට අඹරා දැල්වීමෙන් = නවග්‍රහ දෝෂ දුරුවේ.

 

කතරගම වැඩසිටිකන්දේ අපට විද්‍යාමාන වූ එම තාපසතුමා විසින් ලක්ෂ්මී දෙවිඳුට පූජා වට්ටියක් සැකසිය යුතු ආකාරය ඉතා පැහැදිලිව අපිට කියා දුනිමු. අපි පූජා වට්ටියට අවශ්‍ය කළමනා මොනවාදැයි පෙළ ගස්වා ගනිමු. ලක්ෂ්මී දෙවිඳුන් අලංකාරයට සහ පිරිසිදුකමට ඉතා කැමති දෙවඟනකි. එබැවින් පලතුරු තෝරා ගැනීමේදී ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ප්‍රථමයෙන් තමන් බලාපොරොත්තු වන පූජා වට්ටිය පලඟාන සෝදා කහ වතුරින්ද සෝදා පවිත්‍රව වියළා ගත යුතුය. ලොකු බුලත්කොළ 21ගෙන පිරිසුදු ජලයෙන් පළමුව නහවා ඉන්පසු කහ වතුරින්ද සෝදා පලඟාන/පූජාවට්ටිය ඇතිරිය යුතුයි. පලතුරු අඩුතරමින් වර්ග 7ක්වත් තෝරාගත යුතුය. එයට අඹ, කෙසෙල් (රත්කෙහෙල් /කෝලිකුට්ටු / ආනමාලු /ඇම්බුන්) ඇඹුල් කෙසෙල් ආදි) දෙළුම්, බෙලි, දිවුල්, කොමඩු, කළු උක්ගස්, මිදි, දොඩම්, නාරං , වෙරළු, ඇපල් ( කොළ/රතු/ කහ පැහැති) පේර ආදී පලතුරු තෝරාගත හැකිය. එම පලතුරු ගෙඩි ප්‍රථමයෙන් පිරිසුදු ජලයෙන් නහවා පසුව කහ වතුරින්ද සෝදා පවිත්‍ර කර එක් එක් පලතුරෙන් සුවඳ වෑහෙන පරිදි පිහියෙන් කුඩා කොටසක් කපා ඉවත් කළ යුතුය. (ගෙඩි පූජාවක් නම්) පලඟානේ මැද තැඹිලි ගෙඩියක් /කුරුම්බා ගෙඩියක් ඇස්ස කපා ඉවත් කොට නැවත එහි රඳවා තැබිය යුතුය. අලංකාර ලෙස පවිත්‍රව පලතුරු, පූජා වට්ටියේ අසුරා හඳුන්කූරු පැකට්ටුවක් එහි සුවඳ වෑහෙන පරිදි හිලක් සකස් කොට තිබිය යුතුය. කපුරු පැකට්ටුවක්ද එය එකක් විවෘත කොට තැබිය යුතුය. පහන්තිර පැකට්ටුවක්ද විවිධ වර්ණයෙන් යුතු පුෂ්පයන් කිහිපයක්ද කැවිලි වර්ග තබන්නේනම් අඩුතරමින් කැවිලි වර්ග 7ක් වත් තැබීමට වග බලා ගන්න.

මෙතෙක් භාවිතා නොකළ මුදල් නෝට්ටු අලුත්ම කාසි කිහිපයක්ද පඬුරු ලෙස තබා පඬුරු සෝදා පවිත්‍ර කර කහ දියරෙන්ද සෝදා පිරිසුදු සුදු රෙදි කඩකින් බැද පූජා වට්ටියේම තැබිය යුතුය. ඔබ කැමති නම් පස්ගෝරස ස්වල්පයක් බැගින් පූජා වට්ටියට ඇතුළත් කළ හැකිය. (එළඟිතෙල් සූකිරි, ගිතෙල්, මී පැණි, පොරි, විලඳ ආදියද එක්කළ හැකිය)

ඉන්පසු සියුම් ඉටි කවරයකින් මුළු පූජා වට්ටියම වසා තබා කහ පැහැති හෝ රන්වන් පැහැති සළුවකින් වැසිය යුතුය. එසේම පූජා වට්ටිය තැන් තැන්වල නොතැබීමට වග බලා ගත යුතුය. ඒ වෙනත් දෙවිවවරු ඒවා පරිභෝජනය කරන බැවිනි.

කෝවිල් අසල ඇති පිච්චමල් (අමු) මල් මාලාවක්ද, මෙතෙක් භාවිතයට නොගත් අලුත් නෝට්ටුවලින් සමන්විත මුදල් මාලයක්ද පූජා වට්ටියට එක් කරන්නේ නම් වඩාත් මැනවි. ඒ ලක්ෂ්මී දෙවිදුන් ධනයට අධිපති බැවිනි. ඇතැම් පිරිස් රන්, රිදී, මුතු, මැණීක් විශේෂයන්ද දෙවිඳුන් පිදීමට පූජා වට්ටිය තුළ බහාලති. අනතුරුව සුවඳ පැන් (රෝස වතුර ආදී) පූජා වට්ටියට ඉස අංග සම්පූර්ණ කළ යුතුය. අප පළමුව අලංකෘත ලක්ෂ්මී පිළිමයක් ගෙන එය පිරිසුදු ජලයෙන් නහවා කිරිවලින්ද නහවා පසුව නැවත ජලයෙන් සෝදා කහවතුරින්ද සෝදා පිසදා සකස් කර ගත යුතුය.

කතරගම වැඩසිටි කන්දේදි අපිට විද්‍යමාන වූ ඒ තාපසතුමා දැක්වූ පරිදි ලක්ෂ්මි දෙවියන් උදෙසා පහන් දැල්වීම අඩුතරමින් දින 100ක් වත් නොකඩවා ලක්ෂ්මී දෙවිඳුන්ගේ අලංකෘත පිළිමයකට සිදු කළ යුතුයි. එම දල්වන පහන එළඟිතෙල් පහනක් නම් වඩාත් මැනවි. රාත්‍රී 12.12 සිට රාත්‍රි 12.24 දක්වා යෙදෙන විෂ්ණු දේව දිෂ්ටිය වේලාව තුළ ලක්ෂ්මි දෙවඟනගේ සම්ප්‍රාප්තියත් සිදුවන බැවින් එම කාලවකවානුව තුළ පහන් දල්වා විනාඩි 12ක කාලයක් තුළ ලක්ෂ්මී දෙවියන්ටත් විෂ්ණුූ දෙවියන්ටත් පින් පෙත් පමුණුවා ලක්ෂ්මී භජන් ගීත ගැයීම හෝ එම භජන්ගී වාදනයට සලස්වා ඊට ඇහුන්කන්දීම කළ යුතුය. බැතිමතාද ඊට කලින් පිරිසුදු වී අලුත් වස්ත්‍රයකින් හැද පැලඳ හැකිනම් සුදු වස්ත්‍රයෙන් සැරසී බැති බරින් යුතුව එම පූජා කටයුතු නිම කළ යුතුයි. එම දින 100 තුළ බැතිමතා මස්මාංශ යෙන් තොරව සිටින්නේ නම් ප්‍රතිඵලය ඉතා සාර්ථක වනු ඇත. එම දින 100 කිලි ස්ථානයන්ට යෑමෙන් වැළකී සිටින්නේ නම් වඩාත් මැනවි.

ඔබට යම් ලෙසකින් දින 100 කරගෙන යාමේදී එක් දිනක් හෝ කුමන හේතුවක් නිසාවත් මඟ හැරී ගිය හොත් නැවතත් මුල සිට දින 100ක් පහන්දැල්වීම කළ යුතුමය. දිනපතා අමු මල් මාලයක් එම පිළිමය ගෙල වටා පැලඳ විය හැකිනම් සුවඳ දුම් ඇල්ලිය හැකිනම් වඩාත් මැනවි. දෛනිකව හඳුන්කූරු දැල්විය යුතු අතර කපුරු දැල්වීම, සුවඳ පැන් ඉසූ වර්ණ මල් වට්ටියක් පූජා කිරීම කුඩා පැන් බඳුනක් පූජා කිරීම නොකඩවා සිදු කළ යුතුම ය. දින 100 පුරාම අලුත් කුලුඳුල් කාසියක් පඬුරක් තැබිය හැකිනම් වඩාත් මැනවි. එක් දිනක් හෝ නියමිත කාලපරාසය පසුවී නම්, නැවතත් මුල සිටම දින 100ක් පහන් දැල්වීම කළ යුතුමය.

මෙම භාරධූර කාර්ය කිරීමට යාමේදී මට ද වාර 2ක්ම මුල සිට යෑමට සිදුවූයේ එක් දිනක් නින්දයාම නිසාද තවත් දිනක් නියමිත කාලය තුළ පූජාව කිරීමට ප්‍රමාදවීමක් නිසායි.

එහෙත් කිසිවිටකවත් මම එය අත් නොහැරී යෙමි. දින 100 පුරා පහන් දැල්වීමි. මෙහිදී මා හට මතකයේ රැඳෙනුයේ සිග්මන් ප්‍රොයිඩ් නම් ලොව පතළ බටහිර මනෝවිද්‍යාඥයාගේ කියමනකි. “ඔබට යමක් හොඳ හෝ නරක සිදුකිරීමට අවශ්‍ය නම් එම කාර්ය 100 වතාවක් වත් ඉටුකරන්න. එවිට එක් වතාවක් එම වැඩය පිළිබඳ හොඳ හෝ නරක යටිහිතේ තැන්පත් වනු ඇත. ඔබ ජන සමාජයේද මෙවැනි දෑ අසා ඇති. මේ යන්ත්‍ර රාජයා 108 වතාවක් ජපකොට ඇති බවයි. එයින් කියවෙන්නේ 8වතාවක් යටිසිතට එය කාවද්දා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පූජා විධික්‍රමය පුද්ගලයානුබද්ධය. ඒ කෙරෙහි තදබල විශ්වාසයක් තිබීමද අත්‍යවශ්‍ය වන අතර ඔබ කවරදාකවත් නොසිතූ පරිදි ධනවතකු කිරීමට මෙම බැතිබර පහන් දැල්වීම උපයෝගී කළ හැකිය. එසේ වුවද තම තමන් සිදු කළ කර්මානුකූල ක්‍රියාවල ප්‍රතිඵල හමුවේ. මේ ධනවත් වීමේ කාලවකවානු ද වෙනස් විය හැකිය. කෙසේ වුවද මේ ක්‍රමවේදයන් අනුගමනය කර ජීවිතයට නවමු අත්දැකීමක් ලබාගනු මැනවි. දින 100ක් පහණ දල්වා පින් පෙත් පමුණුවන ලෙසට දන්වනුයේ දින 100 අවසානය වන විට ඔබ ලක්ෂ්මී මෑණියන්ගේ බැතිබර දායකයකු වී අවසන් බැවිනි.

මගේ එක් යහළුවකු කීවේ එතුමා නොකඩවා දින 365 (වර්ෂයක් පුරා සිදු කළ බවත්) 366 වන දින විශාල ධන ලාභයක් ලැබූ බවත්ය. මැණික් කර්මාන්තයේ නියළුැණු එතුමා එතැන් පටන් සම්පූර්ණයෙන්ම පරම්පරා ගණනාවකට අවැසි ධනය ලබා ගැනීමට සමත්වීම විස්්මයජනකමය. ඉවසීමේ ගුණය සහ බැතිබර භාවය වඩාත් ඔප් නැංවී තිබුණි.

 

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය

විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.