ශීර්ෂ රේඛාව

ජුනි 30, 2023

අත්ලෙන් හෙළි වන ජීවිත රහස්

දීර්ඝ ශීර්ෂ රේඛාවක් ඒකාකාරී වක්‍රයකින් චන්ද්‍ර මණ්ඩලය දෙසට ගමන් කරන්නේ නම් එම පුද්ගලයන්ට ලේඛන කටයුතු මෙන්ම සමාජ විද්‍යාව මනෝ විද්‍යාව සම්බන්ධ කටයුතු සාර්ථක වෙයි. එසේම පර්යේෂණාත්මක කටයුතු මෙන්ම නිර්මාණාත්මක දෙයට මොවුන් කැමැතිය.

හස්ත රේඛා පරීක්‍ෂාවේදි ඉතාම වැදගත් රේඛාවක් වන්නේ ශීර්ෂ රේඛාවයි. පුද්ගලයකුගේ බුද්ධි මට්ටම එනම් ඔහු ලෝකය දකින ආකාරය, මානසික තත්ත්වය, ආකල්ප සහ කල්පනා කිරීමේ ශක්තිය ආදී මානසික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ කරුණු අඩංගු වන්නේ ශීර්ෂ රේඛාවෙනි. එම නිසා පුද්ගලයකුගේ ශීර්ෂ රේඛාව පිහිටා ඇති ආකාරයෙන් හැඩයෙන් හා වර්ණයෙන් එම පුද්ගලයාගේ ජීවන තොරතුරු රැසක් අවබෝධ කරගත හැකි ය.

 

ශීර්ෂ රේඛාව අත්ලක හරස් අතට එනම් මහපට ඇඟිල්ල සහ ගුරු ඇඟිල්ල හෙවත් දබර ඇඟිල්ල අතර පිට දාරයෙන් ආරම්භ වි බුධ ඇඟිල්ල හෙවත් සුළැඟිල්ල පැත්තට ගමන් කරයි. මෙම රේඛාව ජීවන රේඛාවට මදක් ඉහළින් ආරම්භ වන්නේ නම් ඔහුගේ සිතිවිලි සහ වැඩ අතර ගැටුමක් නැතිව සමතුලිතව වැඩ කරන අනුන් පාලනය කිරිමට කැමති ආත්ම විශ්වාසය ඇති පුද්ගලයෙක් බිහිකරයි. මෙම පිහිටීම සමාජ වැඩවලදි මූලිකත්වය ගන්නා දේශපාලකයින්ට මෙන්ම පූජකයින් නළු නිළියන් වීමට යහපත්ය. එහෙත් ශීර්ෂ රේඛාවේ ආරම්භය ජීවන රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය වැඩි නම් එම පුද්ගලයා අවදානම් වැඩවලට ඇඟිලි ගසයි. අනුවණ ආකාරයේ වැඩවලට මැදිහත් වී අනවශ්‍ය කරදර ඇති කර ගනී. මොවුන් කවදාවත් ප්‍රේම සම්බන්ධතාවලින් තෘප්තිමත් වන පුද්ගලයන් නොවේ. ජීවන රේඛාව එක්ව ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේ නම් එවැනි අයෙක් තින්දු තීරණ ගැනීමේදි පරිස්සම්කාරීව කටයුතු කරයි. තමන්ගේ දක්ෂතා ගැන අවතක්සේරුවෙන් කටයුතු කරයි. එසේම ඔවුන් තර්කානුකූලව බුද්ධියෙන් කල්පනා කර ජීවන ගමන සහ සෑම කාර්යයක්ම සකස් කර ගනී. එසේම ශීර්ෂ රේඛාව ජීවන රේඛාව එක්ව ආරම්භ වී ටික දුරක් එක් රේඛාවක් ලෙස ගමන් කර වෙන්වේ නම් සෑම කාර්යයකදී නුවුවමනා පරිස්සමක් ඇති නිසා වැඩ කරනවාට වඩා නොකර සිටීමට පෙළඹේ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය අඩුය.

ශීර්ෂ රේඛාව අත්ලේ කුජ මණ්ඩලයෙන් ආරම්භ වන්නේ නම් එම පුද්ගලයා වහා කිපෙන අදහස් හා සැලසුම් වෙනස් කරන ඉවසීම අඩු අයෙකි. බොහෝ කටයුතු බාර ගන්නා අතර ඒවා සියල්ල අසාර්ථක කර ගනී. තවද ශීර්ෂ රේඛාව හෘද රේඛාවෙන් ආරම්භ වන්නේ නම් පුද්ගලයා තර්කානුකූල බවට වඩා හැඟීම්වලට මුල්තැන දි කටයුතු කරයි. මැදඟිල්ල යට ප්‍රදේශයෙන් ආරම්භ වන්නේ නම් ඉතාමත් මුරණ්ඩු වන අතර එම නිසාම අසංතෝෂයෙන් කටයුතු කරයි.

පුද්ගලයකුගේ අත්ලේ පිහිටි ශීර්ෂ රේඛාව වඩා නොගැඹුරුව වඩා පළල හෝ සිහින් නොවි රෝස පැහැයට හුරුව ගුරු මණ්ඩලයෙන් හෝ එකි පහළ සිමාවෙන් ආරම්භව අත්ලේ හතරෙන් තුන් කොටසක් දක්වා ගමන් කරයි නම් එය යහපත් ශීර්ෂ රේඛාවක් ලෙස හඳුනා ගත හැකිය. රේඛාව සිහින් කඩතොළු සහ වෙනත් බාධා සහිත නම් දුර්වර්ණ ශීර්ෂ රේඛාවක් ලෙස හඳුනා ගත හැකිය. යහපත් ශීර්ෂ රේඛාවක් චන්ද්‍ර මණ්ඩලය දෙසට යම් බෑවුමක් සහිතව පිහිටා ඇති තැනත්තා සත්‍යවාදි අවංක පුද්ගලයෙකි. ප්‍රායෝගික සැලසුම් ඇති අධික්ෂණයටත් මුදල් ඉපයීමටත් දක්ෂයෙක් වේ. ඔහුට තර්කානුකූලව කරුණු අවබෝධ කර ගත හැකිය. හොඳ සිතීමේ ශක්තියක් ඇත. සිහි බුද්ධියෙන් කටයුතු කරන අතර යහපත් දේම කරන පුද්ගලයකු බිහිවේ. දුබල ශීර්ෂ රේඛාවක් සහිත පුද්ගලයාට සිත එකඟ කරගෙන වැඩ කිරීමට අපහසුය. යහපත් අදහස් ඇතත් ක්‍රියාත්මක කිරීමට නොහැකිය. යමක් තේරුම් ගැනීමට අපහසුය. ඔවුන්ගේ හෘද රේඛාව ප්‍රබල නම් තීන්දු ගැනීමේදි බුද්ධියට වඩා හදවතට තැන දී කටයුතු කරයි.

ශීර්ෂ රේඛාව අත්ලෙන් භාගයට වඩා දිගින් වැඩි නම් එම රේඛාව දිර්ඝ ශීර්ෂ රේඛාවක් ලෙස හැඳින්විය හැකිය. එවැනි රේඛාවක් සහිත පුද්ගලයා විචක්ෂණ බුද්ධියත් ඇති පුද්ගලයෙකි.තැනට සුදුසු ආකාරයට වැඩ කිරීමේ හැකියාවක් ඔහුට ඇත. නමුත් කෙටි ශීර්ෂ රේඛාවක් සෘජුව ඇත්නම් ප්‍රායෝගිකව කටයුතු කරන පුද්ගලයකු බිහිවේ. ඔවුන්ගේ සංවේදී භාවය අඩුය.තර්කාණුකූලව ඔප්පු කරනතුරු කිසිම දෙයක් පිළිගන්නේ නැත. ගැඹුරට සිතීමේ හැකියාවක් නොමැත. එහෙත් එම කෙටි ශීර්ෂ රේඛාව වක්‍ර වී නම් තමා දන්න අල්ප දැනුමෙන් බොහෝ කටයුතු කරනු ලබයි. එසේ වුවත් අනුන් යටතේ බොහෝ දුරට සේවය කිරීමට සිදුවන පිහිටීමකි. දීර්ඝ ශීර්ෂ රේඛාවක් ඒකාකාරී වක්‍රයකින් චන්ද්‍ර මණ්ඩලය දෙසට ගමන් කරන්නේ නම් එම පුද්ගලයන්ට ලේඛන කටයුතු මෙන්ම සමාජ විද්‍යාව මනෝ විද්‍යාව සම්බන්ධ කටයුතු සාර්ථක වෙයි. එසේම පර්යේෂණාත්මක කටයුතු මෙන්ම නිර්මාණාත්මක දෙයට මොවුන් කැමැතිය. සන්නිවේදන ක්‍ෂේත්‍රයේ රැකියාවන් සුදුසුය. එහෙත් රේඛාව චන්ද්‍ර මණ්ඩලයේ පහළ කොටසට ගමන් කරන්නේ නම් මානසික ආබාධවලට ලක්වීමට ඉඩ ඇත.

දම් වැලක ආකාරයෙන් ශීර්ෂ රේඛාව පිහිටා ඇත්නම් පුද්ගලයා නිරන්තරයෙන් මානසික ආතතියෙන් පෙළේ. චංචල මනසක් ඇත. සිතුවිලි එකඟ කරගෙන කටයුතු කිරිමට නොහැකිය. ගැට සහිත ශිර්ෂ රේඛාවක් පිහිටා ඇත්නම් නිදන්ගත ස්නායු ආබාධ හිසේ අමාරු ආදිය ඇති බව පෙන්නුම් කරයි. රේඛාව රතු පැහැයෙන් යුක්ත නම් අධි රුධිර පීඩනය පෙන්වයි. රේඛාව කහ පැහැයෙන් නම් අඩු මානසික තත්ත්වයක් සහ පිත් රෝග ඇති බව පෙන්වන තත්ත්වයකි. රේඛාව රෝස පැහැය සහ කළු පැහැය කලවම් වු වර්ණයකින් යුක්ත නම් එය ප්‍රබල ශීර්ෂ රේඛාවක් ලෙස හැඳින්විය හැකිය.

ශීර්ෂ රේඛාවේ දුපතක් පිහිටීම සුබ ලකුණක් නොවේ. දුපත පිහිටි කාලයම කනගාටු කාලයකි. බොහෝ දුරට මානසික පීඩාවලට ලක්වීම දැකිය හැකිය. දුපත පිහිටා ඇත්තේ රවි ඇඟිල්ල ප්‍රදේශයේ නම් ඇස් පෙනීමේ දුර්වලතා ඇති වේ. දුපත ඇත්තේ බුධ ඇඟිල්ල යට ප්‍රදේශයේ නම් ජීවිතයේ අවසාන කාලයේ මානසික ආබාධ ඇතිවන බව පෙන්වන සලකුණකි. රේඛාවේ තරු සලකුණක් පිහිටීම බරපතළ තත්ත්වයකි. හදිසි අනතුරු නිසා හිසේ තුවාල සිදුවිය හැකිය. මෙහිදී අත් දෙකම පරික්ෂා කළ යුතුය. අත් දෙකෙහිම එකම ස්ථානයෙහි පිහිටා ඇත්නම් මරණය සිදුවිය හැකිය. කතිරයද ශීර්ෂ රේඛාවට අසුබ ලකුණකි. කතිරය රේඛාවේ පිහිටි ස්ථානය අනුව අනතුර සිදුවන ස්වභාවය වෙනස් වේ. කවයක් රේඛාව මත පිහිටියේ නම් ඔහුට සාමකාමී මනසක් නැත. දරුණු හිසේ රදයක් ඇති බව පෙන්වන සලකුණකි. කෙටි හරස් රේඛාවක් පිහිටා ඇත්නම් රැකියාවේ හෝ මුදල් ප්‍රශ්න නිසා ජීවන ගමනට ඇතිවන බාධා පෙන්වන අසුබ පිහිටිමකි. රේඛාව පිහිටා ඇත්තේ කෑලි කැඩුණු ස්වභාවයෙන් නම් ජීවිත කාලය පුරාම වැරැදි තීන්දු ගනී. මෙය සිදු වන්නේ යහපත් කල්පනාවක් නොමැතිකම නිසාය. අත් දෙකෙහිම ශනි මණ්ඩලය යටදි ශීර්ෂ රේඛාව දෙකට කැඩී ඇත්නම් හිසට සිදුවන අනතුරු නිසා මරණය සිදුවිය හැකිය. මෙහිදි දෛව රේඛාවද පරික්ෂා කළ යුතුය. එහෙත් කැඩුණු ස්ථානය සමචතුරස්‍රයකින් ආවරණය වී ඇත්නම් කිසිදු හානියක් සිදුනොවේ. පවුලේ අර්බුද නිසා ළමා කාලය කරදරකාරීව ගෙවන පිහිටීමක් ලෙස ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව කතිර ලකුණකින් සම්බන්ධ වීම දැක්විය හැකිය.

ශිර්ෂ රේඛාව ගැන තවදුරටත් ලබන සතියේ කථාකරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.