ඔබේ අංකය 5 නම්...

ජුනි 16, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 4 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 5 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 5,14, 23 යන දිනවලින් එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 5 ය. පෞද්ගලික අංක 5 හිමියන්ට හිමිවන්නේ බුධගේ බලයයි. එම නිසා ඔවුන් අතිශයින්ම වෙනස් වන සුලු ගතිගුණවලින් යුක්තය.

මැයි මාසයේ 21 ත් ජුනි මාසයේ 21 අතර සහ අගෝස්තු මාසයේ 21ත් සැප්තැම්බර් 21 අතර කාල සීමාවේ ඉපදුණ අයකු නම් බුධගේ බලය වැඩි නිසා එම ගති ගුණයන්ද තීව්‍ර වේ.

පෞද්ගලික අංක 5 පුද්ගලයන් පහසුවෙන් මිතුරන් ඇති කර ගනී. ඔවුන්ගේ ආකර්ෂණීය බව සහ හැසිරීම නිසාම ඕනෑම පෞද්ගලික අංකයකින් ඉපදුණ ඕනෑම අයකු සමඟ මිතුරන් ලෙස කටයුතු කළ හැකිය. එයට හේතු වන්නේ යහපත් මිතුරන් ඇසුරින් හොඳ පුද්ගලයෙකු වශයෙන්ද අයහපත් මිතුරන් ඇසුරේදී අයහපත් පුද්ගලයකුගේ තත්ත්වයට පත්වන නිසාය. එනම් තමා ඉදිරියේ සිටින පුද්ගලයා හොඳම මිතුරා ලෙස කතාකොට ඔහු වෙන්වු පසු තව දුරටත් ඔහුව මනසේ තබා ගන්නේ නැත. මොවුන්ට හොඳම මිතුරන් වන්නේ ඕනෑම මාසයක 5 වෙනිදා 14 වෙනිදා 23 වෙනිදා ඉපදුණ අයවේ.

සුවිශේෂි තීක්‍ෂණ ඥානයක් බුද්ධිමත් භාවයත් ක්‍රියාශීලිතාවයක් ඇති අංක 5 හිමියෝ ජීවිතයේ ඕනෑම පරාජයක් අභිබවා නැඟී සිටිති. ඔවුන්ට ගැටලුවක් කරුණු විශ්ලේෂණය කොට අනිත් අයට පෙන්වා තහවුරු කිරිමේ හැකියාව ඇත. නොඑසේ නම් ගැටලුවක් නොමැති බව ඔප්පු කිරිමට දක්ෂයෝය. අංක 5 හිමියන්ට නොකළ හැකි කටයුත්තක් නොමැත. ව්‍යාපාරික ලෝකයේ පෞද්ගලික අංක 5 හිමියෝ විශාල වශයෙන් කැපී පෙනේ. ඕනෑම භාෂාවක් ඉගෙනීමට විශේෂ දක්ෂතාවයක් තිබේ. අන් අයට වඩා වේගවත්ව විවිධ භාෂා ඉගෙනීමට සමත් වෙති. ලෞකික සැප සම්පත් ලැබීම් අතින් ඉතා වසනාවන්තයෝ වෙති. විශේෂයෙන් ලොතරැයි දිනුම් ලැබීමට වසනාව ඇත. ජීවිතය කෙසේ හෝ ජය ගැනීමට සුබවාදිව සිතීමෙන් කුමන රැකියාවක නියුක්ත වුවත් දක්ෂතාවය හා උපායශීලි භාවයක් නිසාම පෙරමුණට පැමිණේ. මොවුන් සෑම තැනකදී ඉතා කඩිසර පුද්ගලයන් වශයෙන් කැපී පෙනේ. මොවුන්ට නිදහසේ පවා සිටීමට වේලාවක් නැත. සිය කාලය යම් කටයුත්තක යොදා උපරිම ඵලනෙළා ගනී.

බොහෝ විට පෞද්ගලික අංක 5 හිමියෝ මානසික ආතතියෙන් පෙළෙති. සිතිවිලි ඉතාම වේගවත්ය. එම නිසා සෙමින් කරන වැඩවලට කැමැත්තක් නැත. මුදල් ඉක්මනින් ඉපයීමට හැකි මාර්ග සොයාගෙන යති. එම නිසා සූදුවට යොමු විය හැකිය. කොටස් වෙළෙදපොළ හි මුදල් ආයෝජනය සඳහා පෙළඹේ. කුමන ක්‍ෂේත්‍රයක වුවද අවදානම ගැනීමට බිය වන්නේ නැත. පෞද්ගලික අංක 5 හිමි පුද්ගලයන්ගේ චරිතයේ පුදුමාකාර නම්‍යතාවයක් ඇත. ඕනෑම අභියෝගයක් හමුවේ නොසැළී ඉදිරියට ගමන් කරයි. ප්‍රශ්න හමුවේ වැටෙන්නේ නැත. එමෙන්ම දැඩි මානසික පීඩනයකින් වුවද ඉක්මනින් යථා තත්ත්වයට පත්වේ.

මොවුන්ගේ පෞරුෂය ඉතාම සිත් ගන්නා සුලුය. එමනිසා ඔවුන් යටතේ පාලනය වන යමෙක් වේ නම් ඔහුව අනුගමනය කිරිමට පෙලඹේ. ආදර සම්බන්ධ කටයුතුවලදි අනෙකාට ඉතා හොඳින් ආදරය කළ හැකි සේම හැකි විගස ඔහුට හෝ ඇයට ද්‍රෝහී වීමට පුළුවන. යම් කිසි ආදර සම්බන්ධයක් නතර කළ පසු ඔහු හෝ ඇය පූර්ණව අමතක කර දමයි. තවද එකවර දෙදෙනකුට ආදරය කිරිම සිදුකරයි. ඔහු බොහෝවිට නිවාස දෙකක් තබා ගැනීම සිදුකරයි. එහෙත් උපායශීලිව එක් නිවෙසක් වසන් කර තබා ගැනීම වග බලා ගනී. අංක 5 හිමියන් විවිධත්වයට ප්‍රිය කරන අතර ඒකාකාරිත්වයට කැමති නැත. එක මොහොතකදී වැඩ කිහිපයක් කිරීමට දක්ෂය. එහෙත් සමහර වැඩවල සාර්ථකත්වය පෙනි පෙනී අත්හැර දමන අවස්ථාද නැතිවාම නොවේ. සංචාරයට කැමැතිය වේගවත්ව රථවාහන පැදවීම සඳහා ඉතා කැමතිය.

අංක 5 පෞද්ගලික අංක හිමියන්ගේ දුර්වලතාවයක් වන්නේ සැලසුම් එක දිගට ක්‍රියාත්මක නොකිරිමයි. සැලසුමක් එක දිගට ක්‍රියාත්මක වන්නේ වෙනත් අරමුණක් ඒ සඳහා සම්බන්ධ වන්නේ නම් පමණි. එම නිසා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ස්ථාවරභාවය පුරුදු පුහුණු කළ යුතුය. සෞඛ්‍ය ගැන කථා කිරීමේදි අංක 5 හිමියන්ට මනස ඉතා වැදගත්ය. මනස නිරෝගී නම් පුද්ගලයා කායිකව නිරෝගී වේ. වේගයෙන් වැඩ කිරිමට හුරුවීමෙන් ස්නායු පද්ධතිය හා සම්බන්ධ අසනීප මොවුන්ට සෑදීමට ඉඩ තිබේ. ශරිරයේ කොටස්වලට ස්නායු ආබාධ සෑදීම සිදුවේ. මීට අමතරව පෙණහලු දුර්වල විය හැකි අතර නියුමෝනියාව සහ චර්ම රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇතිවේ. එම නිසා මානසික සුවය පිළිබදව ඉතා සැලකිලිමත් විය යුතුය.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 5 ට යෙදෙන 5,14,23 දිනයන්ය. සතියේ සුබ දිනයන් වන්නේ බදාදා සහ සිකුරාදාය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු එහෙත් ඉතාම වැදගත් කටයුතු සඳහා මැයි 21 සිට ජුනි 21 හෝ අගෝස්තු 21 සිට සැප්තැම්බර් 21 අතර කාලය තෝරාගන්න. වැදගත් වසර වන්නේ 5,14,23,32,41,50,59,68,77,86 යන වසරවේ. මිතුරන් ලෙස පෞද්ගලික අංක 5, පුද්ගලයන් ඉතාම සුදුසු වේ. නමුත් ඕනෑම පෞද්ගලික අංක හිමියෙක් මිතුරුකමට සුදුසු වේ. ජීවිතයේ සාර්ථකත්වය සඳහා ළා අළු පැහැය, සුදු, සහ දිලිසෙන ළා වර්ණයන් භාවිතා කරන්න. ඕනෑම වර්ණයක් ගැළපෙන නමුත් තද පැහැති ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුය. ඉහත වර්ණවලින් සැදුම් ලත් ඇඳුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිතා කරන්නේ නම් මැනවි. අංක 5 හි විකල්ප අංකයක් නැත. ඔවුන්ගේ වසනාවන්ත මැණික් වනුයේ දියමන්ති සහ දිලිසෙන ස්ඵටික වර්ගයන්ය. ආභරණ සදහා රීදි භාවිතා කරන්නේ නම් මැනවි. නැතහොත් ප්ලැටිනම් යොදා ගත හැකිය. දියමන්ති කැබැල්ලක් සමෙහි ගෑවෙන සේ ප්ලැටිනම් මුදුවකට සවිකර පැළඳීමෙන් මහඟු ප්‍රතිඵල අත්වේ.

ලබන සතියේ පෞද්ගලික අංක 6 හිමි අයගේ ජීවන තොරතුරු කථා කරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.