කෝණ මාසය ජුනි 15 ඇරැඹේ

රවි යෝගයෙන් කෝණදොස් දුරලමු
ජුනි 9, 2023

 

මිතුන කන්නි දුනු මින් යන මෙකී රැසා

හැඳින කෝණ මස් යයි දුරලව් එ දොසා

යැයි කී පරිද්දෙන් හිරු මිතුන, කන්‍යා, ධනු, මීන රාශිවලට ප්‍රවිෂ්ට වන කාලයේදී “කෝණ” දෝෂය නම් දෝෂයක් යෙදෙන බව ද එම කාලය තුළ සියලු මංගල ක්‍රියා සිදුකිරීම නුසුදුසු බව ද පිළිගැනීම වේ. මේ ජුනි මස 15 වනදා සවස 6.16ට සූර්යයා මිථුන රාශියට පිවිසෙන අතර, ජූලි මස 17 වනදා උදේ 5.06 දක්වා එම රාශියෙහි සිටී. මේ රාශි චාරය ඡ්‍යොතිෂ විෂය විශ්වාස කරන්නන් විශේෂ වනුයේ ඒ කෝණ මාසයක ඇරඹුම සනිටුහන් කරන බැවිනි. (ඈපා පංචාංග ලිතට අනුව ඉහත ප්‍රවේශ කාලය දක්වන ලද බව ද සිහිපත් කළ යුතුය.)

ඒ අනුව ආවාහ, විවාහ කටයුතු, නිවාස ඉදිකිරීම්, ගෙවැදීම්, නේත්‍ර මංගල්‍යයන්, ව්‍යාපාර ආරම්භය ආදී බොහෝ කටයුතු සඳහා සුබ නැකැත් සම්පාදනය එකල්හි නොකරනු ලැබේ. කෙසේ නමුත් සෑම න්‍යායක් ඇසුරෙහිම උපාංග සූත්‍ර දක්නට ලැබේ. මෙහිද උපාංග සූත්‍ර යටතේ “දරුවන්ට අකුරු කරවීම” සඳහා කෝණමාස පසස්නා ලැබේ.

මහ පොළොවට සාපේක්ෂව සූර්ය ගමන විමසන විට මහ පොළොවෙහි උඩ – යට, වම – දකුණ යන කොන් සතරට සූර්යයා පැමිණෙන කාලය කෝණ මාස යනුවෙන් සලකනු ලැබේ. මෙම කාල සීමාවන්වල විවිධ අතුරු අන්තරාදායක තත්ත්වයන් උදාවිය හැකි යැයි විශ්වාස කෙරෙන අතර, දවස තුළ උදේ 6.00 දවල් 12.00 සවස 6.00 රෑ 12.00 යන වේලාවන්ද කෝණ වශයෙන් සලකයි. “ජාම වේලාවන්” වශයෙන් ද එම කාල වේලාවල් නම් කරනු ලැබේ. මෙම කෝණ මාස සංකල්පය අතිශය ගැඹුරු වූවක් වන අතර, මෙකී කෝණ දෝෂ කාව්‍ය ශාස්ත්‍රයෙහි ද යෙදේ යැයි පැවසුවහොත් සමහරවිටක ඔබ පුදුම වනු ඇත. ‘යවහන්’ දෝෂය යනුවෙන් සූක්ෂමව යෙදෙනුයේ එයය. එසේම ‘කු, පු, දු, භූ” අක්ෂර නිතරම කෝණ අකුරු වශයෙන් සැලකෙනුයේ මිථුන, කන්‍යා, ධනු, මීන රාශි ආශ්‍රය කොටගෙන එම අක්ෂර පවත්නා බැවිනි.

හිරු යම් ඍජු ගමනක් යමින් නැවත ඔහුගේ අරමුණ දිශාව වෙනස් කරන ස්ථානය ‘කෝණය” කි. යම කාලය නැමැති ශාස්ත්‍රයෙහි ‘යමහිං, කාලහිං, වායුහිං, මෘතු හිං’ යනුවෙන් හඳුන්වනුයේ එයමය. මෙසේ විවිධ නම්වලින් විවිධ සංකල්ප ඇසුරු කරමින් සාකච්ඡා කෙරෙන කෝණය දෝෂ සහගත බව නම් කිව යුතුය. එහෙත් අතුරු ප්‍රශ්නයක් මතු කළ හැකිය. වර්ෂයෙහි මාස හතරක්ම කෝණ දෝෂ සේ හැරී කල්හි වර්ෂයකින් තුනෙන් පංගුවක්ම කාලය අපතේ නොයන්නේද යන්නයි. මීට තව නරක දින – නරක – මාස – කොට මාස ආදී සංකල්ප එකතු වන විටක ඡ්‍යොතිෂය කාලය කා දමන විෂයක් වශයෙන් ද යමෙකුට තර්ක කළ හැකිය.

කෙසේ නමුත් න්‍යාය ධර්ම විමසන විට ඒවා දළ , ස්ථූල, සූක්ෂම වශයෙන් විමසිය යුතුය. ඒ අනුව පොදුවේ කෝණය මාසයක කාල සීමාවක් පැවතුණේ නමුදු මෙවර ජුනි 22 සිට ජූලි මස 07 දක්වා පමණක් කෝණය විශේෂයෙන් යෙදේ. ඒ රවි ග්‍රහ තෙමේ අද නැකතෙහි ගත කරන දළ කාලයයි. මෙසේ සෙසු මාසවලද හත, පුවසල, උත්‍රපුටුප, නැකැත්වල සූර්ය ගමන් කරන කාලය පමණක් අසුබ වශයෙන් සැලකේ. තවදුරටත් කෝණ දෝෂය භංග වන නැතහොත් දුරුවන වෙනත් යෝග වේ. ‘රවි යෝගය’ විශේෂය. යම් කෝණ මාසයක් යෙදුණ විටදී පවා හිරු සිටි නැකතේ සිට සඳු ඉන් 4 -6 -9- 10-13- 20 නැකැත්වල ගමන් කරන්නේ නම් කෝණ දෝෂය සම්පූර්ණයෙන්ම දුරුවන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ.

මේ අනුව ප්‍රකට,පොදු න්‍යාය සංශෝධනය වන බව දත යුතුය. එහෙයින් ඒ පිළිබඳ අධ්‍යයනය කළ විෂය දත් ඔබේ දෛවඥයාගෙන් උපදෙස් ලබා කෝණ මාස තුළද සුබ කටයුතු සිදුකළ හැකිය. එසේම ඡ්‍යොතිෂයෙහි සූක්ෂම වූ සිංහල උමා ඡ්‍යොතිෂය ඇසුරු කරමින් ඕනෑම නපුරු නරක දිනයක පවා සුබ මොහොතක් සකස් කර ගැනීමට හැකියාව තිබේ. ඒ අනුව ඡ්‍යොතිෂය කාලය කා දමන විෂයක් සේ කිසිසේත් සැලකිය හැකි නොවේ. එය කාලය ජයග්‍රහණය කරා ගෙන යන විෂයකි.

සමහර විටක ඔබට අත්‍යාවශ්‍යයෙන්ම මේ මාසය තුළ සිදු කළ යුතු මංගල ක්‍රියා වේ නම් ඔබේ ගමේ ඔබේ ඡ්‍යොතිර්වේදියාට එය සිදුකිරීමේ හැකියාව ඇත. එම නිසා කෝණ කෙරෙහි බිය ඇති කරගත යුතු නැත. එහෙත් එය නිවැරැදිව ගත යුතුව ඇත.

 

කෝණ දෝෂ මඟහරවන සුබ දවස්

 

ජූනි 22 ගුරුදා සම්පූර්ණ දවස

ජූනි 24 ශනිදා පෙ.ව. 7.18න් පසු දවස

ජුනි 28 බුධදා සම්පූර්ණ දවස

ජුනි 29 ගුරුදා පෙ.ව. 6.00 සිට ප.ව. 4.29 දක්වා

ජුලි 02 රිවිදා පෙ.ව. 6.00 සිට ප.ව. 1.18 දක්වා

ජූලි 09 රිවිදා පෙ.ව. 6.00 සිට ප.ව. 7. 29 දක්වා

 

පොදුවේ රවි යෝගය යෙදෙන සුබ දවස් වේ.

යොදා ගන්නා කරුණ අනුව, සුබ නැකැත් සෑදීමේදී සැලකිය යුතු සෙසු කරුණු අනුගමනය කරමින් මේ දින සංශෝධනය කර යොදා ගත යුතුය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.