පොරොන්දම් බලලා විවාහය ඇති කරනවා මිසක් කඩන්න එපා

අප්‍රේල් 21, 2023

විවාහයක් ඇති වන්නෙ පොරොන්දම් පරික්ෂාවකින්ම නොවේ. සංසාරයේ පතා ගෙන ආ විදියටත් විවාහ සිදුවනවා. ඛේමා, උත්පලවන්නා, පටාචාරාලාගේ විවාහයන් අයහපත් වුණාට ඉතාමත් යහපත් ශී‍්‍රයෙන් වූ පතාගෙන ආ විවාහයක් තමයි යසෝදරා සිද්ධාර්ථ. ඒ වගේ විවාහය ඉතා දුර්ලභයි. මේ එකකටවත් පොරොන්දම් බැලුවේ නැහැ. විවාහය නිසා මැරුම් කාපු අයත්, නොසිටියා නොවේ. පොරොන්දම් පරික්ෂාවක් කරන්නෙ සුදුසු ගැළපීමක් බොහෝ දුරට සොයා ගන්න.

පොරොන්දමක් සියයට සියයක් ගැළපුනත් අතරමගදි කැඩුණු විවාහ ගැන අහල ඇති නේ. විවාහයක් පොරොන්දමෙන් තීරණය කළ හැකිද? ඔන්න ඔබට ප්‍රශ්නයක් මතු වුණා. බැහැ. කොහෙත්ම බැහැ. විවාහයක් නිවැරැදිව හරියන්න පොරොන්දම් පරික්ෂාවට එහා ගිය කරුණුත් තිබෙනවා. පොරොන්දම් පරික්ෂාවට ලක්වන්නෙ ලග්නෙන් චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1,2,7,8 රාශි විතරයි. කිසියම් ජන්ම පත්‍රයක 6,8,12 දුර්වල වුණොත් ඉවරයිනේ. එනිසා ඒ රාශි ගැනත් ඒ ඒ රාශිවල අයිතිකාරයෝ ගැනත් බලන්න ඕනෑනේ. හොඳයි පොරොන්දම් ගැළපුනා කියමුකෝ. පිරිමියාගේ කේන්දරේ රාහු සෙනසුරු 9 හා 10 රාශිවල නීච හතුරු වුණොත් බිරිඳගේ මුදලෙනුත්, බිරිඳගේ මඟුල් මුද්දත් උගස් තියල මත්පැන් බොන කෙනෙක් ස්වාමියා කරගන්න වේවි. මත්පැන් බොනව නොවේ. මත්පැන් නාන කෙනෙක් වනවා. ස්ත්‍රියගේ කේන්දරයේ 7 වැන්න ශනි – කුජ ඉදල හත්වැන්නාධිපති ඉන් එකෙකුගේ රාශියේ වුණොත් රටේ ප්‍රසිද්ධ නරක ගැහැනියක් වනවා. ඔබ පුත්‍රයෝ බලන්නෙ පුත්‍ර ස්ථානයෙන් විතරනේ. පුත්‍ර ස්ථානය හොඳ වෙලා කාම ත්‍රිකෝණය 3,7,11 දුර්වල නම් දරු සම්පත් ඉතා දුර්වල වේ. එතකොට පොරොන්දම වැඩක් තියෙනවද. පොරොන්දම් කිව්වේ මූලික පරීක්ෂණයක් විතරයි. පොරොන්දම් බලනකොට ඔබ හිතනවට වඩා දුරට බලන්න ඕනෑ. ග්‍රහ පොරොන්දම් දස විසි අෂ්ඨනාධිය විතරක් මදි බලලා. ජන්මයෙන් ලැබුණු ග්‍රහ බලපෑම් බලන්නත් ඕනෑ. තව දීර්ඝ විස්තර ලියන්ට කලින් ඡ්‍යෝතිෂය කරන ආධුනික මහතුන්ට, නෝනලාට එකක් කියන්න කැමැතියි. ඔබ මෑතක සිට ඡ්‍යොතිෂ කරන අයෙක් නම් ඡ්‍යොතිෂය ගුණා ගුණ, පලා පල බලා කීයක් හරි ගත්තට කාරි නැහැ. නමුත් ඡ්‍යොතිෂ්‍ය ගැන පුහුණු දක්ෂතාවයක් නැත්නම් පොරොන්දම් නම් බලන්න පරික්ෂා කරන්න එපා. ඒක තවත් පරම්පරාවක් උදෙසා කරන මහා සටනක්. වැරදුනොත් ඉවරටම ඉවරයි. නැවත හදාන්න බැහැ.

ඡ්‍යෝතිෂය කරන ප්‍රසිද්ධ මහත්මයෙක් එක පොරොන්දමක් එයත් පරික්ෂා කරල වැඩි හොඳට මා වෙතට එව්වා. මමත් පරික්ෂා කරල කිව්වා පතාගෙන ආ කේන්දරයක් ධර්ම ස්ථානය හා කර්මස්ථානය හොඳයි. විවාහයට හොඳයි කියලා ඒ අයත් සතුටු වෙලා ගියා. අනිත් පාර්ශ්වයටත් මේක පරික්ෂා කරන්න ඕනෑ නිසා ඒ අයගේ කෙනෙකුටත් පරික්ෂාකර බලන්න කියල දීල තිබෙනවා. ඒක පරික්ෂා කළ ඡ්‍යොතිර්වේදියා කියල තිබෙනවා විවාහකස්ථානයේ පාපි දෙකක් සිටිනවා . එනිසා විවාහය කරන්න එපා කියලා. කොහොම හරි විවාහය කළේ නැහැ. මහත්මයා කලකිරිලා පිටරට ගියා. කලකට පස්සේ අර උදවිය වෙනත් කාරණයකට මා හමුවන්න ආවා. මම නිකමට වගේ ඇහැව්වා. කොහොමද අලුත් ජෝඩුව කියලා. එතකොට සිදු වූ සියල්ල කිව්වා. ඒ පාර්ශ්වය පැත්තෙන් පරික්ෂා කළ අයට දුරකතනයෙන් කතා කළා ඔවුන්ගේ අවසරය ඇතිව ඔවුන් ඉදිරියෙදීම. එතකොට ඔහු කිව්වා විවාහකස්ථානයේ පාපි ඉන්න නිසා එපා කිව්වා කියා. මම කවුද කියලා ඔහුට පැහැදිලි කරල මම ඇහැව්ව දෝස භංගවන අයුරු දන්නවද කියලා ඔහු නැහැ කිව්වා. මම පැහැදිලි කළා. ඊට පසු ඔහු සමාව ඉල්ලුවා. වූ වරදට. දැන් ඔහු සමාව ඉල්ලලා වැඩක් නැහැ. සිදුවීම සිදුවෙල ඉවරයි. එතකොට ප්‍රමාද වැඩියි. ඒක නිසා පින් අයිති වේවි. නොදන්නවා නම් දැනීම මදි නම් පොරොන්දම් විතරක් බලන්න එපා. වැරදුනොත් ප්‍රතිඵලය ලැබෙන කොට ලැබෙන්න හිටපු සුරංගනාවිය නොලැබී ගිහින් යකින්නක් ලැබේවි.

අපි පොරොන්දමක් බලන්න ඕනැ විවාහයක් සිදුවන අයුරු හිතේ තබාගෙන. වැරදි පැත්ත විතරක් බලන්න එපා. හොඳටම හොඳ මොනම කේන්දරයක් වත් මේ රටේ නැහැ. විවාහයක් වන මේ දෙදෙනාගේ මූල, ධාතු, හැඟීම්, සම-විෂම, තත්වයන් පරික්ෂා කිරීම තමයි පොරොන්දම් පරික්ෂාව කියන්නේ. පොරොන්දම් කියල කිව්වේ දෙමළ භාෂාවෙන්. සංස්කෘතයෙන් කියන්න නාඩි කූඨය. ලිංග කූඨය කියලා. පුරාණ ශාස්ත්‍ර ක්‍රමය අනුව විවාහ ක්‍රම අටක් තිබෙනවා. බ්‍රහ්ම, දේව, අසුර, ප්‍රජාපතිප, ගාන්ධර්ව, රාක්ෂ, ප්‍රේත හා මනුෂ්‍ය කියලා පොරොන්දම් සම සමව තිබුණත් දෙදෙනාගේ අන්‍යෝන්‍ය වැටහීම තිබෙනවා නම් විවාහ ජීවිතය සාර්ථක කරගත් තැන් නැතුව නොවේ. කේන්දර දෙකක් විනාඩි 10ක් තුළ බලලා හොඳ නරක තීරණය කරන්න බැහැ. පොරොන්දමට අවශ්‍ය කරුණු පරික්ෂා කරල ඊට අමතරව අරිටු යෝග, දරු සම්පත් අහිමි යෝග, ස්ත්‍රී පුරුෂ රෝග වගේ විස්තරත් බලන්න ඕනෑ. “කණකොක් සුද පෙනෙන්නේ ඉගිළි යන විටලු”. කිව්වා වගේ දෙදෙනාගේ දුර්වලකම් පෙනෙන්නේ විවාහයෙන් පසු ටික දිනකට පස්සේ. ඊට ඉස්සෙල්ලා ඒ විවාහපේක්ෂක දෙදෙනාගේ දුර්වලකම් ප්‍රායෝගිකව දැනගන්න අමාරුයි. ඕන කෙනෙක් විවාහයට ප්‍රථම සිල්ගත්ත අය වගෙයි. නවගුණ වැල විතරයි නැත්තේ විවාහයෙන් ටික දවසකට පස්සේ තමයි නාට්‍ය රඟදක්වන්නේ. එනිසා ඒවා ගැන විවාහයට කලින් හොඳ පරික්ෂාවෙන් බලන්න ඕනෑ. මේ දෙපාර්ශ්වයටමයි කියන්නේ. පසුව කලකිරෙන්න එපා. සමහර පිරිමි ඉන්නවා විවාහයට පසු මත්පැන් බෝතලේ බිරිඳට වඩා ලොකු වෙනවා. ඒ වගේම සමහර ගැහැනු ඉන්නවා තම ස්වාමියාට වඩා වෙනත් පිරිමියෙකුගේත් සතුට හොයනවා. එතකොට ඒ පවුල් ජීවිතය ගිණිගොඩක් වනවා.

ගොඩක් ඡ්‍යෝතිර්වේදින් පොරොන්දම් ගැළපීමට කේන්දර කොපි දුන්නම, ඒ දෙකහි නැකැත් පොරොන්දම් විපත් හෝ වද නම් ඒ කේන්දර පරික්ෂා කරන්නෙ නැහැ. එහෙම කරන්න එපා. තවත් සමහර අය ඉන්නවා සරාගි යෝග හෝ නටාංශක යෝග, කඩහන්දිය තිබෙනවා නම් ගන්නෙ නැහැ. එහෙම කරන්නත් එපා. ඒවාට පිළියම් තිබෙනවා. ඒ පිළියම් නොදන්න නිසා තමයි එහෙම කේන්දර ප්‍රතික්ෂේප කරන්නේ. රටේ සිටි ප්‍රසිද්ධ අයත් එහෙම කළා. පසුව හදා ගත්තා. එකකටවත් නොගැළපෙන කේන්දර මෙලොව උපදින්නෙ නැහැ. සමහර පොරොන්දම් ගැළපුනත් ශරීරවල තිබෙන දොස් නිසා විවාහ වුණත් කරදර ඇතිවනවා. බොහෝ අය කියන එකක් තමයි කේමධ්‍රැම යෝගය තිබුණොත් හිඟාකනවා කියන එක. ඒ කිව්වේ කේන්දරයක චන්ද්‍රයා දෙපස කිසිදු ග්‍රහයෙකු නොමැති වීමයි. පංච මහා පුරුෂ යෝගයක ඉපදුනත් ඉතිරි ග්‍රහයෛී නරක නම් ඉතින් ජීවිතයේ ඉදිරි කාලය අයහපත් වනවා.

බොහෝ අය 7 වැන්නෙ අඟහරුවා, සෙනසුරා, හිටි පළියට පාපි කේන්දර කියල අයින් කරනවා. එතකොට ඒ අය විවාහ වන්නෙ නැද්ද? එහෙනම් නිවැරැදිතාවය මොකක්ද කියල බලන්න ඕනෑ. කොතැනක හරි මොනම ග්‍රහයෙකු හොඳින් ඉන්නවා නම් යහපත ඇති කරනවා. ඒ ග්‍රහයම නරකට ඉන්නවා නම් අයහපත ඇති කරනවා.

මූලිකව දැනගත යුත්තේ එච්චරයි. ඔය නාමික වශයෙන් පාපි කිව්වෙ කුජ හා ශනි විතරක් නොවේ. ඇයි රවි – අව සඳු, රාහු කේතු, මෙවන් පාපි ග්‍රහයෝ තමයි. කුජ හා ශනි 7 වැන්නෙ හිටි පළියටම පාපි වන්නෙ නැහැ. ඒ රාශින්වල එහෙම ඉදලා හතුරු හෝ නීච වුණොත් විතරයි පාපි වන්නේ. එහෙම ඉඳලත් දීප්තිමත් චන්ද්‍රයා හෝ බ්‍රහස්පති දකිනවා නම් ඒ දෝෂය භංගවනවා. දෝෂ භංගවලින් එකක් තමයි ඔය. මේ න්‍යායන් ඉගෙන ගන්නෙ නැතුව නිකන් ග්‍රහයෝ හිටි පළියට එක එක නම් දමන්න එපා. බොහෝ අය කරන තවත් වැරැද්දක් තමයි කාල සර්ප යෝගය පිහිටියොත් ඒ කේන්දරත් ගන්න එපා කියනවා. මොකද කියල ඇහැව්වාම කාල සර්ප යෝගය පිහිටලාලු. මොකක්ද මේ කාල සර්ප යෝගය කියල ඇහැව්වාම උඩබිම බලනවා. ඕනෑම කේන්දරයක කාල සර්ප යෝගය 12 ආකාරයට පිහිටනවා. ඉන් එක පිහිටීමක් තමයි 3 වැනි රාශියෙන් පටන් අරන් 9 වැනි රාශියෙන් අවසන් කරනවා. අනිත් පිහිටීම තමයි 5 වැනි රාශියෙන් පටන් අරන් 11 වැනි රාශියෙන් ඉවර කරනවා. අනිත්වා බලවත් නැහැ.

 

සමහර අය ගොඩක් ආඩම්බර වනවා. තම පුතුට, දුවට පංච මහා පුරුෂ යෝගයක් පිහිටියාම. ඒක අඥානකමක්. ගුරු හංස යෝගය පිහිටියාම මාලවි යෝගයේ ඵල ඇතිවන්නෙ නැහැ. අනිත් යෝගත් එහෙමයි. උදාහරණයක් ගත්තොත් අපෙන් වෙන්වූ ලලිත් ඇතුලත්මුදලි මහත්මයා සස යෝගයෙන් උපන් කෙනෙක්. ඒ කේන්දරයේ 7 වැන්නෙ සෙනසුරු බලවත්ව ඉන්නවා. ඒ කිව්වේ කුම්භයේ, හොඳට ඉගෙන ගත්තා. බැරිස්ටර් වුණා. නමුත් හදිසියෙම අනුන්ට ගහපු බෝම්බයකින් මෙලොව හැර ගියා. ඒ කිව්වේ සස යෝගය පිහිටියත්. 11වැන්නෙ හතුරු අඟහරුවා හා නීච කේතා හිටපු නිසා ඒකත් පලදුන්නා. කෝ ඉතින් පංච මහ පුරුෂ යෝගය නිසා බේරුනාද? මේවා ගැන හොඳට හිතන්න ඕනෑ. හොඳට මුදල් තිබෙන අය ළමා කාලයේ මරණයට පත්වන්නෙ නැද්ද? ඒකනේ ඡ්‍යොතිෂය කිව්වේ මැණික් ගලක් වගේ කියලා. හැම පැත්තටම හරව හරවා බලන්න ඕනෑ. එතකොටයි නියම මැණික තෝරගන්න පුළුවන් වන්නේ. හරියටම පොරොන්දමක් පරික්ෂා කළොත් ඒ අයට ප්‍රශ්න කීපයක් මතුවනවා. එහෙම වන්නෙ නියම විදියට කරුණු අවබෝධ වුණාමයි. පොරොන්දම් බැලීමේදී චන්ද්‍රයා ඉතා වැදගත් කරුණු අනාවරණය කරනවා.

චන්ද්‍රයා කිව්වේ සතුටේ අධිපතියා. හරියට පවුලක අම්මා වගේ. හැබැයි පුර චන්ද්‍රයා හොඳේ. අව චන්ද්‍රයා වුණොත් ක්‍රෑර නැන්දම්මා වගේ තමයි. මේවා පිළිවෙළට තේරුම් ගන්න ඕනෑ. මම ඒකයි කිව්වේ පොරාන්දම්වල කරුණු දැනීම මේවා හරියට පළපුරුද්දෙන් අවබෝධය නැත්නම් දෙවරක් හිතන්න කියලා. මේ ලෝකේ හැම දෙයක්ම අපි දන්නෙ නැහැ. ඒකට ලජ්ජා වන්න ඕනත් නැහැ. අපි නොදන්න කොච්චර දේවල් තිබෙනවද? ඒක තමයි උගත්කම කිව්වේ. මම නොදන්නවා නම් දන්නෙ නැහැ කියල ඒක ඉගෙන ගන්නවා.

අපේ ඡ්‍යෝතිර්වේදින් කරන තවත් වැරැද්දක් තමයි ජන්ම පත්‍රයේ 1,4,7,10 යන රාශිවල ග්‍රහයෝ. නැත්නම් කේන්දරය පාළුයි කියනවා. ඒ කේන්දර සුදුසු මහණ කරන්නලු. නමුත් ඒක මහණ යෝගයකුත් නොවෙයිලු. යෝග නැත්නම් මහණ වෙන්නෙ කොහොමද? අපේ හාමුදුරුවන් වහන්සේලාගේ ගුරුවරයා. අපේත් ගුරුවරයා තමයි. බුදුහාමුදුරුවන්ගේ හතර කේන්දරය පාළුද? හතර කේන්දර රාශි හිමි ග්‍රහයෝ. එකෙක්වත් බලවත්ද නැද්ද? මේවා අපි හදාගත් මත. එක රාශියක කිසියම්ම ග්‍රහයෙක් හොඳට හෝ නරකට හිටියට ඒ ග්‍රහයා සම්පූර්ණයෙන් බලවත් හෝ දුර්වල නැහැ. ඒ ග්‍රහයා ඉන්නෙ ඒ රාශියෙ කොතැනද කියලා බලන්න ඕන නේ. මොකද එක රාශියක පරතරය අංශක 30යි. රාශියේ ආරම්භයෙම පිහිටියොත් කලින් රාශියටත් රාශියේ අවසානයට පිහිටියොත් පසු රාශියටත් ග්‍රහ රශ්මිය එනවා. එකමයි කිව්වේ ග්‍රහයකුට පියවර 3ක් කියලා. බොහෝ අය නොකළාට නවාංශකයෙන් ගුණා ගුණ කියනව නම් ලග්නෙට වඩා සූක්ෂමයි. නිවැරැදියි. නිවැරැදි නවාංශකය හදාගන්න කොට සමහර විට ලග්නයද වෙනස්වනවා. ඒක පරිගණකයේ නම් සිදුවන්නෙ නැහැ. මොකද පරිගණකයේ තිබෙන්නෙ අප ඇතුළු කළ දත්ත පද්ධතියක් විතර නිසා. නිවැරැදි ජන්ම පත්‍රයක් හදාගන්න අමාරුයි. අද ගොඩක් අය ඉන්නෙ බොත්තම් මිරිකන අයනේ. පුරුදු වුණ අයට වඩා පුරුදු කළ අයට තමා දොස් කියන්න වටින්නේ.

දසයද තුන්වනු ඉරු- සඳු, ශනි, දකිති - සෙනසුරු අටවනු

කුජ, බුධ දකිති - නවයද පස්වනු ගුරු කිවි දකිති සත්වනු පස්වනු මේ හැම දකිති.

මේ ග්‍රහ දෘෂ්ටි කොම්පියුටරවල නැහැ. මේ කවිය බලන ඕනෑම කෙනෙක් කේන්දරයක දෝස තිබුනට බොරු බය ගන්ට එපා. ඒවා නිදොස් කරන්න ශාන්ති කර්ම තිබෙනවා.

මම නැවත නැවතත් කියන්නෙ විවාහ දෝස විතරක් නොවේ මාරක දෝසත් මගහරව ගන්ට තරම් අපේ ගුප්ත ශාස්ත්‍රය පොහොසත්. හැබැයි නියම කෙනා තෝරා ගන්න. අපේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තමයි. විවාහ ප්‍රමාද වීම්. මේකට හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි පාපකර්ම විවාහ ප්‍රමාද කරන ග්‍රහ බලපෑම්. හා ඊට පිළියම් නොකිරීම, විවාහ පොරොන්දමේ මූලික කරුණක් තමයි දරුඵල. එහෙනම් පොරොන්දම් පරික්ෂාවෙදි. ලිංග පොරොන්දම, යෝනි පොරොන්දම, වෘක්ෂ පොරොන්දම හා සුබ චන්ද්‍රයා යහපත් නම් මූලික ලක්ෂණ හරි. ඔබ ලකුණු මට්ටම ගැන එච්චර උනන්දුවක් වන්න එපා. ලකුණු මට්ටම ටිකක් අඩුවෙලා කලින් කිවු කාරණා යහපත් නම් ඒක තෝරගන්න. මේ කරුණු නරක්වෙලා ඉහළ ගිය ලකුණු මට්ටම නිසා විවාහය තෝරා ගත්තොත් විවාහවෙලා අවුරුදු 2 හෝ 3කින් දෙන්නගෙන් කෙනෙක් දබර කරගෙන ගෙදර ඒවි. එතැනින් විවාහය කෙළවර වේවි.

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර /ඡ්‍යෝතිර්වේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.