වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මල්වර චාරිත්‍ර නිවැරැදිව සිදු කරමු
මල්වරය යනු ජීව විද්‍යාත්මකව බැලූ විට කාන්තාවකට දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රථමයෙන් ගර්භාෂයේ සූදානම් වීමක් ලෙස හැඳින්වේ. මෙය කාන්තාවකගේ පළමු ඔසප්වීම වේ. කල් වයස් පැමිණි කළ වෘක්ෂලතාදිය මල් පුබුදුවා ඵල හට ගැනීමට සැරසෙන්නා සේ හැදුණු වැඩුණු කුමරියන්ද ඔසප් වීමෙන් පසු දරුවන් උපදවාලීමේ මහා ආශ්චර්යජනක සිදුවීමට සුදුසුකම් ලබයි.
ස්ත්‍රී කේන්ද්‍රයේ අනුපචය ස්ථාන වූ 1,2,4,5,7,8,9,12 යන ස්ථානයකට චන්ද්‍රයා පැමිණි විට කුජ විසින් දකින ලද්දේද එකල සුදුසු වයසට පැමිණි කුමරියගේ ප්‍රථම මල්වරය සිදුවන බව ඡ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් වෙයි.
මෙසේ වූ විට ඡ්‍යොතිෂවේදියකු කරා පැමිණ ශුභාශුභ පල විමසීමට පුරාණයේ සිට පැවත එන සිරිතකි. ඡ්‍යොතිෂවේදියා මල්වරය තහවුරු කර ගැනීමෙන් පසුව වැඩිහිටියන්ට ඒ බව දන්වා මල්වර පලාපල ප්‍රකාශ කරයි. දැරිය නෑවිය යුතු දිනය, වේලාව, දැරියට ඇඳීමට සුදුසු ඇඳුම්වල වර්ණය, ස්නානයට අවශ්‍ය ඖෂධ කළය පිළියෙල කර ගැනීමේ උපදෙස් ආදිය පලාපල සමඟ ඉදිරිපත් කළ යුතුවේ.
මල්වර වූ දැරිය නිවෙසේ කාමරයක තවත් දැරියක හෝ කාන්තාවක සමඟ එහි රඳවා තබයි. දැරියට පිරිමින් දැකීම තහනම් වේ. තනිව කාමරයෙන් පිටවීම තහනම් අතර කාමරයෙන් පිටවීමේදී හිස,මුහුණ ආවරණය වන සේ රෙදි කඩකින් හිස වසාගෙන තවත් කාන්තාවක් සමඟ යා යුතු වේ. ඇය එළියට යන විට යකඩ කැබැල්ලක් අතේ තියාගෙන යා යුතු වන අතර එය ගෙට ආ විට තම කොට්ටය යට තබා ගනී. මෙයින් තනිකම් දෝෂ මඟහරවා ගත හැකි බවට මතයක් තිබේ. දියනෑම, අලුත් ඇඳුම් ඇදීම, සුවඳ විලවුල් ගැල්වීම, නිය කැපීම දැරියට තහනම් වේ. මල්වර වී මාස 3 ක් ගතවන තුරු තෙල්කෑම, බැඳුම් වර්ග, පුළුටු වර්ග කෑමට නොදිය යුතුය. දිය කිරට පිසින ලද එළවළු වර්ග සමඟ බත් කෑමට දීම සුදුසු වේ. නැකතට නාන තුරු කිරිබත් කෑමෙන් වැළකිය යුතු වේ.
සාමාන්‍යයෙන් මල්වරය සිදු වී දින 5 -7 අතර කාලය තුළ ස්නානය සඳහා නැකත් ලබා දේ. දිය නෑවීම සිදු කරන්නේ කිරි ගසක් යටය. දැරිය සුදු රෙද්දකින් ආවරණය කොට ස්නානය කරන තැනට ගෙන යයි. පසුව ඖෂධ කළය හිස වටා තුන්වරක් කරකවා මව විසින් ස්නානය කරවයි. මව හෝ දැරියට ආදරය, කරුණාව දක්වන ඥාතිවරියක විසින් දැරියව ස්නානය කරවයි. දැරිය දිය නෑවීමෙන් පසුව මල්වර කළය එම ස්ථානයේ බිඳ දමයි. එයින් සියලු දොස් දුරුවන බව පෙර සිට පැවත එන මතයකි. දැරිය දිය නෑමෙන් පසු පොල් ගෙඩියක් බිද ගෙට කැඳවාගෙන එයි. ඉන් අනතුරුව බිම පැදුරක් එළා ඒ මත සුදුරෙද්දක් අතුරා කිරිබත්, කෙසෙල් ගෙඩි, විවිධ රස කැවිලි, සහල්, පොල් ගෙඩියක්, පිච්ච මල් කිහිපයක් දැමූ දියර කොරහක් ආදී විවිධ දේවල් මෙහි තබයි. දැරිය නිවෙස තුළට පැමිණෙන්නේ සුදු රෙද්දකින් හිස වසාගෙනය. මෙම ස්ථානයට පැමිණි දැරිය හිස සිට ආවරණය වූ රෙදිකඩ ඉවත් කර පළමුවෙන්ම දිය කොරහ දෙස බලා තම මුහුණ බලයි. පසුව ඥාතිවරිය විසින් වස්දොස් යවයි. ඉන් පසු දෙමව්පියන්ට, වැඩිහිටියන්ට බුලත් හුරුලු දෙයි. ඥාතීන් විසින් වැඩිවිය පැමිණි දැරියට තෑගි භෝග ලබා දෙයි. අනතුරුව සියලු දෙනාම එකතුව තේ මේසයට වාඩි වී තේ පැන් සංග්‍රහය භුක්ති විඳියි. මෙම සිරිත් විරිත් පළාතෙන් පළාතට වෙනස් විය හැකිය. අද සමාජය තුළත් මෙම සිරිත් වෙනස් වී ඇති බව පෙනේ.
චතුරිකා දිල්හානි ගමආරිය