2023 කොහොමද බලමු

දෙසැම්බර් 30, 2022

2022 වසරේ ප්‍රතිඵල නොවෙයි 2023 හි තියෙන්නෙ. මේ ඔක්කොම ග්‍රහයෝ වෙනස් වෙනවා. ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම් මේ පලාඵල ග්‍රහ වෙනස් නොවී සිටීද? උදාහරණයක් වශයෙන් 2022 වසරේ රාහු, කේතු යහපත් වුණාට 2023 වෙනස්. ගෝචර ස්ථානයන් වෙනස්. ඉන්න තත්ත්වයන් වෙනස්.

ලංකා කේන්දරයේ ලග්නය කුම්භ වුණාට ඒක අයිති සෙනසුරාට. මේ වසරේ වැඩි බලතල නැහැ. ඒ නිසා සෙනසුරා නිසා මේ වසරේ 2023 සෙනසුරු ඒරාෂ්ටක නැහැ. ජන්මපත්‍රයක් අතට ගත්තොත් සෙනසුරු ඒරාශ්ඨකවලින්ම ජීවත්වන ඡ්‍යොතිර්වේදීන් ද සිටිනවා. එහෙම කියලා මුදල් කඩාගන්න හදන අයට 2023 රැවටෙන්න එපා.

මම කලිනුත් කිව්වා මකර, කුම්භ රාශිවල අධිපතියා සෙනසුරා කියලා. මොකද රාශි 12 ග්‍රහයින් 07 කට බෙදෙන නිසා අයිති රාශිවලට අයිතිකාරයා ආවාම හැසිරෙන්නේ පවුලේ තාත්තා වගේ. ලොකු කරදර කරන්නෙ නැහැ. මේවා සාමාන්‍ය කරුණු වුවත් ඡ්‍යෝතිෂ විෂය ධර්ම 2022 වසරට වඩා 2023 ගොඩක් වෙනස්කම් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔක්කොම වගේ 2022 වසර ආරම්භ කළේ ධනු රවියෙන් තමයි. ඒ වුණාට උදාවුණේ චන්ද්‍ර මාස 29 යෙන්. අව තිථිය ලත් ශනි දිනකින් නැකත ආරම්භ වුණේ. දෙට නැකතින් සිංහල පැය 32 තත්පර 48 කින්. අනික තමයි ධනු රාශියේ ඉතිරි වෙලා තිබුණේ පැය 02 විනාඩි 24 තත්පර 27 ක් පමණයි. මෙහෙම කරුණු විශ්ලේෂණය කළාම 2022 වසර ආරම්භ වුණේම අවතිථියකින්. අවතිථියකින් යමක් ආරම්භ වුණාම යහපත් ප්‍රතිඵල දෙන්නෙ නැහැ. ඒක ඔබ දන්නවා. එහෙනම් 2022 වර්ෂය තුළ සතුට නැතිවන්ට එය එක හේතුවක් තමයි.

ඒත් 2023 වසර එහෙම නැහැ. 2023 වසර ආරම්භ වන්නේම පුර තිථියකින්. එනම් සතුට පවතීවි. දැන් සමහර ඡ්‍යොතිර්වේදීන් මේ සටහන බලලා ටිකක් වෙනස් කරල ඔබේ සටහන හෝ ඔබ තීරණ ගන්න එපා. කරුණු කාරණා සනාථ කරලා මහජනයාට නැත්නම් ඡ්‍යෝතිෂ පාඨකයින්ට දන්වන එක හොඳයි.

සාමාන්‍යයෙන් 2023 ග්‍රහ පිහිටීම හා එය ඔබේ කේන්දරයට බලපාන හැටි ලියන්නම්. කරුණු හරි නම් ඔබේ කේන්දරයට ආදේශ කර ගන්න. 2022 වසර ආරම්භ කළේ සෙනසුරුගෙන් අව තිථියට නිසා සතුට නැති වුණා. කලබල ඇති වුණා. නමුත් 2023 වසර ධනු රවියෙන් උදාවන්නෙ ලංකා කේන්දරයේ 11 වැන්නෙන් නැත්නම් අයස්ථානයෙන්. බලාපොරොත්තු නැති දේවල් ඒ කිව්වේ සුබ දේවල් ලැබෙන තැන. විශේෂම දෙය තමයි පුර තිථියෙන් දුරුතු පුර තිථිය අයස්ථානය අයිති ගුරුට නැත්නම් බ්‍රහස්පතිට. එතැන රවි, බුධ, ගුරුට බලය තිබෙනවා. එහෙනම් බලයෙන්, බුද්ධියෙන්, ශිල්පයෙන් ආරම්භ වන වර්ෂයක් වනවා. රවිගෙන් තද පාලනයක් වන විට ටිකක් සතුට ද කැඩෙනවා. එනිසාමයි චන්ද්‍රයා මේෂ රාශියෙන් උදාවන්නේ. හැබැයි මේෂ රාශියෙන් උදා වුනාට ඊට පස්සේ වෘෂභයේ උච්ච ස්ථානයක් චන්ද්‍රයා ගන්නවා. සාමාන්‍යයෙන් රවි තද පාලනයක් ගැනීම නිසා සතුට කාලීනව වෙනස් වනවා. ජීවිතයේ හැම එකක්ම එහෙමයි. සාමාන්‍යයෙන් කිව්වොත් 2022 ට වඩා 2023 යහපත් වුණාට සැර පාලනයක් වනවා. අරගල සීමා වනවා. අරගලකරුවන්ට ටිකක් නරක්වනවා. මොකද අරගල කරන ශනි පාලනයට රජු රවි නෛසර්ගික හතුරො කියලයි ඡ්‍යොතිෂයේ කියන්නේ.

“අර්කඞ ශනේෂ්වරඞ, බුධඞ - චන්ද්‍රඞ, ගුරු ශුක්‍රෝ” “සදා වෛරඞ” කියල තමයි ඡ්‍යොතිෂයේ මූලික කරුණුවල කියන්නේ. 2022 වසරේ දිවයිනෙන් පිටට බොහෝ දෙනකුට යාමට අවසර තිබුණත් ඒක 2023 සීමා වනවා. 2023 මේ විධියට තරමක් සුබ වුණාට රවිගේ පාලනය නිසා උගතුන්ට ඒ කිව්වේ රටේ අධ්‍යාපනඥයන්ට නම් එච්චර සුබ වන්නෙ නැහැ. ඒ ග්‍රහචාරයම නිසා නොවේ. බ්‍රහස්පති මේ වසරේ වාසිදායක තත්ත්වයක් පෙන්වන්නෙ නැහැ. ඒ අයට මුලදි පෙන්වන දේ පසුකාලීනව සිදු නොවන නිසා මේ තත්ත්වය උදා වනවා. පෙබරවාරි මාසය දිනවලින් අඩු වුණාට විවාහ සිදුවීම් වැඩිවනවා. ඒක මැයි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස ගිය වසරට වඩා සීමා වනවා. නැවත දෙසැම්බර් අධික වනවා.

2023 කම්කරු දිනය සැමරීම යහපත් අයුරින් ආරම්භ කර අවසානය අයහපත් වනවා. ලේ ධාතුවට නරක කාලයක් වනවා. සෙනසුරුගේත් කරදර නැහැ. කෙටියෙන් කිව්වොත් 2023 වසර පසුගිය වසරවලට වඩා සුබ වනවා බොහෝ දුරට.

ජන්මියකුගේ ජන්ම පලාඵල ප්‍රකාශ කරන කොට දරුවාගේ හෝ ජන්මියාගේ නියම ග්‍රහ පිහිටීම් පෙන්වන, සඳහන් වන ජන්මපත්‍රයක් තිබෙන්න ඕනෑ. විශේෂයෙන් මේ විදියට ලියන්ට හිතුනේ පරිගණකයෙන් හදන ජන්මපත්‍ර සියයට සියයක් නිවැරදි නැහැ. පුරාණයේ සිට පැවතෙන පාරම්පරික ඡ්‍යොතිර්වේදීන් ජන්මපත්‍ර හදන කොට එම අය කැල්කියුලේටරය හෝ පරිගණකය පාවිච්චි කළේ නැහැ. අදට වඩා නිවැරැදිව ප්‍රතිඵල ද කිව්වා. මේ උපකරණ නරක ඒවා නොවේ.

පාවිච්චි කිරීමේ ක්‍රමය තමයි නරක. සමහර විෂයන්ට අති විශාල රුකුලක් දෙනවා මේ උපකරණ. නමුත් ඡ්‍යොතිෂයේදී ඒ සේවය ලබාගන්න බැහැ. ජන්මියෙකුගේ උපන් වෙලාවක් දුන් විගස පාරම්පරික ඡ්‍යොතිර්වේදියා ඒක ප්‍රථමයෙන් සුළු වශයෙන් ගණිතමය කරුණු ටිකක් සලකා බලා උපන් ජන්මියා ස්ත්‍රී ද පුරුෂ ද එහෙමත් නැතිනම් සත්වයෙක් ද තවද ජන්මියාගේ ආයු ප්‍රමාණය ද ප්‍රකාශ කර නමට අකුරු දීමක් කරනවා. මේ කරුණු සම්පූර්ණ කරන්නේ ලග්නය හදලා. ඒක 9 ට බෙදලා නවාංශකය හදලා චර, තිර, උභය ද පරීක්ෂා කිරීමෙන් පසුවයි. එහෙම වුනාට පරිගණකයෙන් ජන්ම පත්‍ර හදනවිට එච්චර විස්තර පවා අඩුම කරමින් ස්ත්‍රී ද, පුරුෂ ද කියලවත් කියන්නෙ නැහැ. කියන්න බැහැ. මොකද ඇතුළු කළ දත්තවලින් විතරයි ප්‍රතිඵල දෙන්නේ. කොටින්ම කිව්වොත් වමාරා කෑමක්. කොටින්ම කිවොත් දොස්තර මහතාගේ හෝ ප්‍රසූතිකාගාරයේ තිබෙන වේලාව වැරැදි නම් ඒ වෙලාවට තිබෙන කේන්ද්‍රය තමයි. ඉතින් පාරම්පරික ඡ්‍යොතිර්වේදියාට එහෙම කරල බැහැ. ඊට වඩා ගැඹුරින් බලන්න ඕනෑ. දවසින් දවසට සූර්ය උදාවේ වෙනසක් පවතිනවා. ඒක පළාතෙන් පළාතට අඩු වැඩිවෙනවා. සමහර කාලවලට දවසේ පැය ගණනක් අඩු වැඩි වනවා. උදාහරණයක් වශයෙන් කොළඹ උපන් ජන්මියකුගේ උපන් වේලාවෙන් මිනිත්තු 10 තත්පර 32 ක් අඩු කරල ජන්මපත්‍රය හදන්න ඕනෑ. එහෙම නූණොත් ජන්ම පත්‍රයේ නියම පලාඵල කියන්න බැහැ. දුර පළාත්වලින් පවා අප හමුවීමට මේ විදියට එන අය එන්නෙ නියම ජන්ම පත්‍රයක් හදාගන්නයි. ඒක වගකීමෙන් කියනවා. මොකද ජීවිතයටම හදන්නෙ එක ජන්ම පත්‍රයක් පමණයි. ඒක නිවැරැදිව නැත්නම් ඉවරට ඉවරයි ප්‍රතිඵල කීම.

කරුණු මෙහෙම වුණාට ලොකු දැන්වීම ප්‍රචාර කරල රූප පෙට්ටියේ විස්තර කරල බොහොම ප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදීන් පවා ඉතා ලෙහෙසියට කරන්නෙත් ඒකමයි. පලාඵල කියනකොට ශ්ලෝක, තන්ත්‍ර කිසිදා පාවිච්චි කරන්නෙ නැහැ. ශ්ලෝක කිව්වේ සෘෂිවරයන් වහන්සේලාගේ මතය, අපේ සමහර අය ඒකත් අමතක කරල ඊටත් උඩින් යනවා. නවාංශකයෙන් තමයි සූක්ෂම ගුණාගුණ කියන්න හැකිවන්නේ. ඔය රූප පෙට්ටියේ පලාඵල කියන හැමදෙනෙක් වගේ ඔබ උපන්දිනය කිව්වාම සඟවාගෙන ඇති. පරිගණකයෙන් ලග්නය හොයලා, ලග්නයට විතරක් පලාඵල කියනවා. වැඩි සූක්ෂම ප්‍රතිඵල දැන ගන්න හැකි වන්නේ ලග්නයෙන් ද ඒක 9 ට බෙදලා එන නවාංශකයෙන් ද කියලා ඔබම තීරණය කරන්න. ඔබේ ප්‍රදේශයේ පාරම්පරික ඡ්‍යොතිර්වේදියාගෙන් නියම ජන්ම පත්‍රයක් හදාගන්න කියලා ආදරයෙන් කියනවා. ඒ වගේම ලංකා කේන්දරය නියම වශයෙන් ඒ ඒ වසරට අනුව හදලා වෙනස් වූ ග්‍රහයන්ගේ ප්‍රතිඵල බලලා කියන්න ඕනෑ. බොහෝ අය ලංකා කේන්දරයවත් නොදැන ලංකාවේ තත්ත්වය පැහැදිලි කරනවා.

 

පාරම්පරික, ඡ්‍යෝතිර්වේදි ගුප්ත විද්‍යාධර මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.